2024 ජුලි 13 වන සෙනසුරාදා

ආහ්... මකුළුවෙක් කෙල්ල බයට වටේ නටයි...

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 70

ලංකාවට ආපු තාත්තයි දුවයි තමන්ගේ බයිසිකල් සවාරිය ඉවර කරපු හැටි ගැන කතාව තමා අද අපි අරගෙන එන්න සූදානම් වෙන්නෙ. පහුගිය දවසක අපි මේ තාත්තයි දුවයි දඹුලු ගිය හැටි කතා කළා. මේ දෙන්නා ලංකාවේ සංචාරය කළේ යතුරුපැදි දෙකකින්. ශ්‍රී ලාංකික මඟ පෙන්වන්නකුත් මේ අයට හිටියා.

ඔන්න සංචාරය අවසන් අදියරේදී මෙයාලා නුවර ඉඳන් කළුතරට එන්න තීරණය කළා.

“අපි සූදානම් වෙන්නේ පැය පහමාරක විතර ලොකු ගමනක් යන්න. මේක තමයි ශ්‍රී ලංකා සංචාරය ගැන අපි අරගෙන එන අන්තිම වීඩියෝව"
දුව එහෙම කියලා තමයි වැඩේ පටන් ගත්තේ. කොහොමටත් මේ ගමනේ වීඩියෝව මෙයාලා නම් කරලා තිබුණේ ලංකාවේ ගත කරපු ස්ට්‍රෙස් වැඩිම දවස කියලා. ඇත්තටම ඒක ඇත්තක්. ගමන පටන් අරගෙන පළවෙනි ගිමන් හරින තැනදීම ඒක ඔප්පු වුණා.

“නගර හරහා ධාවනය කරන එක විනෝදාත්මක වැඩක් නෙවෙයි. ඔන්න අපි පළවෙනි විරාමය ගත්තා. මහන්සියක් දැනෙනවා"
මේ දෙන්නට මෝටර් බයිසිකල් සංචාරයට මඟ පෙන්නුවේ රෝමා. ගමන පුරාවටම ඉදිරියෙන් ජීප් රථයකින් ඔහු මේ තාත්තයි දුවයි එක්ක ගමන් කළා. ඇත්තටම මේ අපේ සංචාරක මඟ පෙන්වන්නාගේ සේවය ගැන මේ තාත්තයි දුවයි හිටියේ බොහොම සතුටින්.

ඒත් මේ අවසාන ගමන, දුරත් එක්ක මේගොල්ලන්ට එකතු කළේ ලොකු මහන්සියක්. ඔන්න ඊළඟ ගිමන් හරින විරාමයේදී මේ වගේ කතාබහකුත් ඇතිවුණා.
“කොහොමද අපේ පාරවල්?”

එහෙම ප්‍රශ්නයක් ඇහුවේ අපේ ශ්‍රී ලාංකික මිත්‍රයා.

ඇත්තටම එයාලට පාරවල් ගැන ප්‍රශ්නයක් තිබුණෙ නෑ. හැබැයි නිතරම හම්බවෙන වංගු ගැන නම් ඒගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් තිබුණා. 
මේ විරාමයේදී මේ වෙහෙසකර ගමනේ දුෂ්කරතා කිහිපයක් පිළිබඳවම මෙයාලා කතා කළා.

“ආවේගශීලී රියැදුරන් හම්බවුණා. මේක හරිම මහන්සියි, ඒ වගේම ලොකු පීඩනයක් දැනෙන ගමනක්"

අපේ රියැදුරන්ගේ හදිසිය, ආවේගය නිසා මේගොල්ලන්ට මේ ගමන පිළිබඳ එතරම්ම හොඳ හැඟීමක් ඇතිවෙලා තිබුණෙ නැහැ. අපේ කට්ටිය එහෙන් මෙහෙන් දාලා හදිසියේ යන නිසා මෙයාලට නිදහසේ තමන්ගේ ගමන යන්න අපහසු වන බවක් තමා හැඟුණේ. කොහොම නමුත් මේක ඉතාම දීර්ඝ ගමනක්.

ඔන්න මෙතැනදි දුවට අවශ්‍ය වුණා වැසිකිළියක් සොයා ගන්න. එතැනත් මතු වුණේ ලොකු ප්‍රශ්නයක්. ඒක මෙයාලා නැවතුණු කඩේ පිටිපස්සේ තිබුණු ඉතාම අඩු පහසුකම් සහිත තැනක්. 
“නගරයෙන් දුර තැනකදී ගමනක් අතරමඟ මේ වගේ තැනක් හමුවීම ගැටලුවක් නෙවෙයි"

එහෙම අදහසක් එක්ක මෙතැනට ගියත් ඇත්තටම වුණේ අලකලංචියක්.
“ඕ අන්න බලන්න අතන ලොකු මකුළුවෙක් ඉන්නවා" 

කැමරාව සූම් කරලා මෙයා ඇතුළේ හිටපු මකුළුවෙක් පෙන්නුවා. ඇත්තමට ඒකට මේ ගෑනු ළමයා ගොඩක් බය වුණා. 
“අපෝ මට නම් මෙතැනට යන්න බැහැ"

මෙයාගේ මේ බයවීම නිසාමද කොහෙද මකුළුවෙක් එතැනින් ඉස්සරහට පැන්නා. ඉතින් මේක බලලා පුදුම වෙලා, මේ තැනත් හොඳට කරලා මේ ළමයා එතැනින් ආවා. අපේ අයට මෙහෙම දේවල් හරිම පුංචි දේවල් වුණත් මෙයාලට මේක ලොකු දෙයක්.

කොහොම නමුත් පැය පහමාරක විතර ගමන යන්න තාත්තා සහ දුව නැවත පිටත් වුණා. දැඩි හිරු රශ්මිය, දුහුවිල්ල වගේම වෙහෙසත් නිසා මේ ගමන මේ දෙන්නට එච්චර පහසු වුණේ නැහැ.
“ඕනෑවට වඩා ඩ්‍රයිව් කළා. බොහොම මහන්සියි. මුහුණත් හොඳටම අපිරිසිදු වෙලා" 

වෙහෙසට පත්වුණු දුවයි තාත්තයි දෙන්නම අවසානයේදී ජීප් එකට ගොඩ වුණා. ගතවුණු දවස්වලින් වෙහෙසට පත්වුණු, විඩාවට පත්වුණු ලොකුම දවස මේක කියලා තමා දුව කිව්වේ. කොහොම නමුත් ලබපු අත්දැකීම් ගැන මේගොල්ලෝ හරිම සතුටින් කතා කළා. ඊට පස්සේ මේ දෙන්නා කළුතර හෝටලයට ආවේ ජීප් එකේමයි.

“අපි හරිම සතුටුදායක දවස් පහක කාලයක් ගත කළා. ගොඩක් ලස්සන අත්දැකීම් ලැබුවා. රොමා අපිට සෑහෙන උදව් කළා. දැන් අපි ඔහුට සමුදෙන්න හදන්නේ"
කළුතර හෝටලේට ආපු ගමන්ම ජීප් එකෙන් බැහැලා මේගොල්ලෝ තමන්ගේ ශ්‍රී ලාංකික මිත්‍රයාට සමු දුන්නා. ඇත්තටම මෙයාලා බොහොම ප්‍රසාදයටත් සතුටටත් පත්වෙලා හිටපු බව මේගොල්ලෝ කියපු කරපු දේවල්වලින් බොහොම පැහැදිලි වුණා.
ඇතුළට ගියාම දෙන්නම තමන්ගේ මුහුණ පිහිදාලා පෙන්නුවා කොච්චර ලොකු දුහුවිලි තට්ටුවක් මුහුණෙ තියෙනවද කියලා. ඇත්තටම නුවර ඉඳන් කළුතරට බයිසිකලයකින් ගමන පහසු නෑ. වෙනස් අත්දැකීම් සොයන තාත්තෙක් සහ දුවෙක් විදිහට මේගොල්ලන්ගේ උත්සාහය අගය කළ යුතුමයි. 

“නිවාඩුව හරි අපූරු එකක්. හරිම ලස්සන අත්දැකීම් ගොඩක් හම්බවුණා මේ දවස් පහ ඇතුළත. අපේ ගමන අවසන් වෙනවා. තවත් ගමනාන්තයකදී හමුවෙමු"
ඉතින් ඔන්න ඔහොම තමයි මේ තාත්තගෙයි දුවගෙයි ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත්වුණේ. ශ්‍රී ලංකාවේ දින පහක් ගත කරපු මේ දෙන්නගේ ඊළඟ ගමනාන්තය වුණේ මාලදිවයින. මාලදිවයිනෙත් දවස් පහක් ඉන්න තමා මේගොල්ලෝ අදහස් කරලා තිබුණේ.

• නිසල්