2024 ජුලි 13 වන සෙනසුරාදා

සුගත්ටයි ධම්මිටයි තිබුණු ආදරේ අදටත් මට දැනෙනවා..

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

ජීවිතය කොතෙක් නම් මනරම්දැයි හිතෙන්නට තරම් ළයාන්විත ප්‍රේමණීය හමුවීම් වරෙක ජීවිතය උදෙසා දෛවයේ ප්‍රේමාන්විතම තිළිණයක් යැයි හිතෙන්නේ මට විතරමද? සුගත් මඟහැරී සුදාරකත් ධම්මි මඟහැරී අනෝමාත් ප්‍රේමයෙන් බැඳී ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ඔවුන්ගේම නමින් ලියන්නට ගත් සඳ සුදාරකටත් අනෝමාටත් එසේ සිතුණා යැයි මට සිතේ...

ගොළු හදවත නාට්‍යයේදී හමුවූ සුගත් සහ ධම්මි පෙම්වතුන්ගේ ප්‍රේමයෙන් බැඳී ජීවිතයේ කතාවක් එක්ව කියවන්නට පටන්ගත් අතීතයේ එදවසක පටන් අද දරු සුරතල්වලින් ඔබ්බට ජීවිතය දකින දරුවන් දෙස බලා ජීවිතය විඳින පරිණත මව්පියන්ය. ගොළු හදවත ටෙලිනාට්‍ය සේම සුගත් ධම්මිත් කිසිදා අමතක නොවන හෙයින් දැන් කොහොමදැයි අසන්නට සිත් වුණේ සුදාරකත් අනෝමාත් ඕස්ට්‍රේලියාව බලා ගිහින් එන්නට ලක ලෑස්ති වෙමින් සිටි කාර්යබහුලම මොහොතකය.

ගොළු හදවතේ මතක අතරේ හිතින් ඇවිදිද්දී කොහොම හැඟීමක්ද හිතට දැනෙන්නේ?

ඒ මතකත් හරි සුන්දරයි. පිළියන්දල ''Central'' එකේ තමයි ඒ රූගත කිරීම් කළේ. චන්න පෙරේරා, සංගීතා, රොෂාන් පිලපිටිය, මේ වගේ නළු නිළියන් එක්ක මමත් සුදාරකත් රංගනය තුළ අලුත්ම අත්දැකීමක් විඳිමින් හිටියේ. ඇත්තටම කලාව කියන්නේ කොයි තරම් සුන්දර, ඒ වගේම ගැඹුරු මාධ්‍යයක්ද කියන එක මමත් සුදාරකත් දෙන්නම ප්‍රායෝගිකවම අත්වින්දේ ගොළු හදවත නාට්‍ය ඔස්සේ තමයි.

ඇයි ගොළු හදවතින් පසු ගොළු වුණේ කියලා ඇහුවොත් මොකක්ද දෙන උත්තරය?

ඒ කාලයේම මමත් සුදාරකත් බැංකු ක්ෂේත්‍රයේ රැකියාවට ආවා. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කියන්නේ ඇත්තටම ඉතාමත් වගකීම් සහගත රැකියාවක්. ඉතින් ඒ රැකියාවත් සමඟ අපි දෙන්නම හුඟාක් කාර්යබහුල වුණා. කලාව කියන්නෙත් වගකීම් සහගත මාධ්‍යයක්. එය කැපවීමෙන් කළ යුතු දෙයක්. රැකියාවේ වගකීම් එක්ක එකදිගට නිවාඩු ගන්න අපහසු ප්‍රශ්න තිබුණා. කලාවෙන් එවැනි හේතු නිසා ඈත්වෙන්න සිදුවුණත් ඇත්තටම එදා වගේම අදත් කලාව ගැන විශාල ආදරයක් සහ ගෞරවයක් හිතේ තියෙනවා. 

එදා ධම්මිට සහ සුගත්ට තවමත් රසිකයන්ගේ ආදරය ආකර්ෂණය ලැබෙන අවස්ථා ජීවිතයේ හමුවෙනවද?

ඔව් දැනට අවුරුදු ගණනාවකට ඉස්සර රඟපෑව ධම්මි සුගත් තාම මතකද කියලා හිතෙද්දි පුදුමත් හිතෙනවා. අපි දෙන්නම අඳුරගෙන එදා ප්‍රේක්ෂකයන් කතා කරන අවස්ථා අදටත් තියෙනවා. එදා සුගත්ටයි ධම්මිටයි පුංචි හරි ඉඩක් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ වෙන් කරගන්න පුළුවන් වෙන්න ඇති නේද කියලා දැනෙද්දි ඉතින් එහෙම වෙලාවට පුදුම සතුටක් හිතට දැනෙනවා. ඒ සතුට නම් මෙච්චරක් කියලා ප්‍රමාණාත්මකව කියන්න බැරි තරම්. මට හිතෙනවා අදටත් ප්‍රේක්ෂකයන්ට එදා ගොළු හදවත නාට්‍යයේ හිටපු ධම්මිව මතක ඒ ධම්මි එයාලා ආදරේ කරපු චරිතයක් වූ නිසා වෙන්න ඇති නේද කියලා. මමත් හරි ආදරයෙන් සහ ගෞරවයෙන් තමයි ඒ ප්‍රේක්ෂක ආදරය සහ ගෞරවය පිළිගන්නේ.

ධම්මි සුගත්ට තිරයෙන් එහා ඇත්ත ලෝකයේදී ආදරය කරන්න පටන් ගත්තා. ඒ ආදර කතාවත් හරි සුන්දරයි හිතෙනවා?

ඒ නාට්‍ය කරන දවස්වල අපි දෙන්නා එකට රඟපෑවා වගේම අපි දෙන්නා දර්ශන තලවලදී හිටියෙත් එකටමයි. අපි දෙන්නගෙම පළමුවැනි ටෙලිනාට්‍ය. ඒ නිසා අපි දෙන්නා හුඟාක් යාළු වුණා. ඒ මිත්‍රත්වය තුළ අපි දෙන්නට දෙන්නා හොඳ අවබෝධයෙන් එකිනෙකා තේරුම් ගත්තා. සුදාරක කියන්නේ හරිම ආදරණීය කෙනෙක් කියන එක මම හොඳින්ම තේරුම් ගත්තා. ඇත්තටම ඇත්ත ලෝකයේ අපි දෙන්නගේ ආදර කතාවත් හරිම සුන්දරයි.

සුදාරකගේ අම්මා තාත්තා කියන්නෙ විශාල ප්‍රේක්ෂක ප්‍රජාවකගේ ආදරය ගෞරවය දිනාගත් කලාවේදීන් දෙදෙනෙක්. ඒ දෙදෙනාගේ කලා ජීවිතය ඔබ දකින්නේ කොහොමද?

ඇත්තටම හරිම ආදර්ශමත් වෙලාවට පිළිවෙළට වැඩ කරපු චරිත දෙකක් ඒ අම්මා තාත්තා. හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන කීවම ශ්‍රී ලාංකික කලා ක්ෂේත්‍රයේ සිටි දැවැන්තම කලාවේදීන් දෙපළක්. කලාවේ බොහෝ ශානරයන් තුළ ඒ දෙදෙනාගේ විශිෂ්ටත්වය කොයි තරම් ප්‍රබලද කියනවනම් මම හිතන්නේ අදටත් ඒ දෙදෙනා කියන්නේ ඒ දෙදෙනා විතරමයි.

ඒ අම්මා තාත්තාගෙන් ඔබ ලද ආදරය ගැන සිහිපත් කිරීම මේ මොහොතේ ඔබේ හදවතට දනවන්නේ කොහොම හැඟීමක්ද?

ඒ අම්මා තාත්තා මට දුන්නේ නැන්දම්මා කෙනෙක්, මාමා කෙනෙක් ලේලියකට දෙන ආදරයක් නෙවෙයි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දුවකට දෙන ආදරය. මගෙත් සුදාරකගෙත් විවාහ මංගල්‍ය තියෙද්දි මම වෙනුවෙන් කළ යුතු සියල්ල කළේත් සුදාරකගේ අම්මා. ඒ දවස්වල ඒ අම්මා කීවේ මගේ පුතාගෙයි දුවගෙයි වෙඩින් එකනෙ මම මේ කරන්න හදන්නෙ කියලා. තමන්ගේම දුවක් වෙනුවෙන් දරන මහන්සිය තමයි ඒ අම්මා එදා මම වෙනුවෙන් දැරුවේ. මමත් සුදාරකත් දරු දෙදෙනෙක්ගේ අම්මා තාත්තා වෙලා රුකියා කටයුතු සියල්ල අතරේ කාර්යබහුල වෙද්දි මගේ මව්පියන්ගෙන් වගේම සුදාරකගේ අම්මා තාත්තා දෙන්නගෙනුත් ලැබුණු සහයෝගය වචනවලින් කියන්න බෑ. මගේ පුතාලා දෙන්නට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා ඔවුන්ව ඉහළ තැනකට රැගෙන එන්න වගේම අපේ ජීවිතය සමබර ලෙස කරගෙන යන්න දෙමව්පියන්ගෙන් ලැබුණු සහයෝගය වචනවලින් කියන්න බෑ. ඇත්තටම මේ මොහොතේත් මව්පියන්ගේ ඒ ගුණ සුවඳ දෙපා නැමද ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් මම සිහිපත් කරනවා.

• සංජීවිකා සමරතුංග