2024 ජුලි 13 වන සෙනසුරාදා

මරණයට පුළුවන්ද ආදරය මරන්නට

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

ජූලි 8 වැනිදාට යෙදී තිබුණු ජැක්සන් ඇන්තනී රංගධරයාගේ උපන් දිනය වෙනුවෙනි...

මරණය යනු ජීවිතයේ අවසානයේ හමුවන්නක් වග මම විශ්වාස නොකරමි. හුස්ම ගැනීම ආරම්භ වන්නේ යම් මොහොතක ද ඒ මොහොතේ පටන් මරණයේ සමාරම්භය ද ඇරඹෙන වග මම විශ්වාස කරමි. ඉතින් කවර හෝ මොහොතක අවසඟව යා නොහැකි ඒ නිශ්චිතයට ඔබත් මමත් අවනත විය යුතුමය. කාලයේ මිටියාවත් අතර ඇවිද යන ජීවිතයේ කවර හෝ තත්ත්පරයකදී මරණයේ නිහඬ නිම්නය ළඟ නැවතී නැවත ජීවිතයක ඇරඹුම, පළමු හුස්මක් හා සොයා යා යුතුය. ඉතින් ආවොතින් යා යුතු සේම නොගොසින් යළි එන්නටද නොහැකි යථාර්ථය අස බොහෝ උන් සේම ඔහු ද නික්ම ගියේය.

එහෙත්
මරණයට පුළුවන්ද ආදරය මරන්නට...
එහෙයින්ම නිබඳවම ඔබ අප හා සැරිසරයි. ඔබේ හදගැස්ම යළි යළිඳු දැනෙන සේ හැඟෙන තත්ත්පර සපැමිණේ. ඔබේ ළතෙත් මතක සුවඳ තවරාලූ නිමැවුම් යළි යළිත් දෑස් අස දිස්වන සෙයක් හැඟේ. 
ඉතින් ඔබට පුළුවන්ද අප හැර යන්න...
ගියේ ඇයිදැයි නොඅසමි...
යන්නට වුණේ ඇයිදැයි නොඅසමි...
දොසක් කිවයුතු තැන් බොහෝ වෙතත් ඒ සියල්ල නිහඬවම ඉවසා දරාගත යුතු හෙයින් මේ තත්ත්පරයේ ඔබ ගියේ ඇයිදැයි මම ඔබෙන් නොඅසමි. ඔබට යන්නට වුණේ ඇයිදැයි නොඅසමි. ඔබ ගිය ඉනික්බිති ඒ හිස්තැන රුදුරු වග පමණක් ස්නේහයෙන් ලියා තබමි. 

ගමන හමාර නැත. ආ දුර කොතෙක්ද යා යුතු දුර කොතෙක්ද නොදන්න සංසාර සුවිසැරිය සරා භවයෙන් භවය ප්‍රේමය හා ගැටගැසෙමින් ප්‍රේමණීය මිනිසාණෙනි, තවත් සංසාරයේ බොහෝ දුර ගමන් අප යා යුතු වග දනිමි. එහෙයින් ගමන මෙතෙකින් නිම නොවේ. එහෙත් ඔබ ජැක්සන් ඇන්තනී ලෙස අපට මුණගැසුණු මේ භවය මෙතෙකින් නිම වග දනිමි. ඔබ දන්නවාද? එසේ ඇසුවත් ඔබ නොදන්නා වග මම ඉඳුරාම දනිමි. එහෙත් ඔබට නෑසුණත් මට කියන්න ඉඩ දෙන්න. ඔබේ මරණය මට ජීවිතය, මිනිසුන් සහ මරණය ගැන බොහෝ දේ ඉගැන්වූ අපූරු සහ වේදනාත්මක පාඩමකි. ඔබ දන්නවාද ඔබේ මරණය ආදරය, ප්‍රේමය සහ ස්නේහයත්, ඒ සියල්ල තුළින් අවසන උපදින වේදනාවත් පිළිබඳ බොහෝ දේ මට ඉගැන්නුවේය. 
ආදරය අර්ථකථනය කළ හැකි වුවත් බොහෝ වූ සුන්දර ස්වරූපයන්ගෙන්...
ආදරය ප්‍රතිනිර්මාණය කළ හැකි වුවත් අප්‍රමාණ දිශානතීන්ගෙන්...

වදන් මත අතුරා තිළිණ කළ හැකි වුවත් ළයාන්විතම වර්ණවත් මල් කළඹක් සෙයින්...

ඇත්තටම ආදරය එසේදැයි විචක්ෂණයෙන් විචාරන්නට ඔබේ මරණය මට මඟ කියා දුන්නේය. 
ඇත්තටම ඔබට ආදරය කළේ කවුරුන්දැයි මේ මොහොතේත් මම නිහඬව පසෙකට වී බලා හිඳිමි. ආදරය යැයි කියූ බොහෝ දෙනා ඇත්තටම ඔබට ආදරය වී දැයි මම තවමත් සිතමින් ඉඳිමි. ආදරය යනු ආදරයම මිස අන් කිසිත් නොවන වග, ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කිසිත් නොවන වග, හදගැස්මකට හදගැස්මක් යා වෙන තැන ආදරයත් ප්‍රේමයත් මුණගැසෙන වග තේරුම් ගත නොහැකි සිත්වලින් ආදරය හෝ ප්‍රේමය උදෙසා නිරුක්ති ඉල්ලා හිඳ පලක් නැති වගද මම තේරුම් ගනිමින් සිටිමි.
මොහොතක් හෝ අපට නොදී සමුගන්න සමුගත්තේ ඇයිදැයි නොවිමසමි. 

ඔබ හැර ගිය සඳ හුස්ම ශේෂ වූ මතක පමණක් සිඹිමින් සිටිමි. ඒ මතක මොන තරම් නම් සොඳුරුදැයි නිහඬවම ඔබට කියමින් හිඳිමි. 
හිතවතාණෙනි, මගේ අපමණක් ප්‍රේමය ඔබ හා යා වෙන්නේ සීමාවන් සොඳුරු ලෙස අතික්‍රමණය කළ ඔබේ නළු භූමිකාවේ අසමාන වෛවර්ණ දිශානතීන් ඔස්සේය. 
ඔහ්... ඔබ දන්නවාද ක්ෂීර සාගරය කැළඹිණ මා කැළඹූ තරමක්. ඔබ රුවට, ඔබ හඬට රංගධරයාණෙනි, ඔබ මැවූ සමස්තයටම වශී වී ගිය කලෙක මෙන් මම ඔබේ රුඟුම් විලස විඳිමින් උන්නෙමි. 
ආහ්... ළය ලෙය පසාරු කරලන ප්‍රකම්පනයකින් ඔබ ආත්මීය ආලයකින් වෙලී චරිත හා හුස්ම ගන්නට බැඳෙන අරුමය මම විඳිමින් උන්නෙමි. ක්ෂීර සාගරය කැළඹිණ හිඳ ඉන් එහාත් ඉන් මෙහාත් බොහෝ තැන්හීදීත් සුලවතාණෙනි, රංග සක්මන පුරා ඔබ මා පුදුම කළ හැටියක්!

ඉඳින් ඔබ නම් ඔබමය...

එහෙයින් තවත් තැනක මම ඔබ නොසොයමි...
ඔබ යනු අන් කිසිත් නොව අන් කිසිවෙකුත් නොව... 
ඔබ යනු ඔබමය යැයි මුද්‍රාව තබා ඔබ නික්ම ගිය කල්හි... 
ඒ ඔබ මම සිඹිමින් හිඳිමි...

කතාවක, කවියක, ටෙලියක, චිත්‍රපටයක, තව තව බොහෝ තැන්හි ආලවන්ත හුස්මක් රුගෙන නැවතුණ, කල්පයක් රුඳෙන මතක තත්ත්පරයකදී ශේෂ කළ, අනවසරයෙන්ම ඉසියුම් ප්‍රතිභාත්මක මුද්‍රා රුගෙන හද අගුළු ඇරගෙන හද මඬලාවට පිවිසුණු, ඕනෑම රළු අන්ධකාරයක තරුවක්ව දැල්වුණු
ඔබ
මට පුදුමයක්!

ඕනෑම ශුෂ්ක බිමක් වුව ඔබ සාරසුබාවට අස්වැද්දූ අරුමය... සිය දහස් ගව් ගෙවා සපැමිණ නිල් එළිය නිවී ගිය මොහොතකත් ඉඳුවරෙන් පෙරාගත් වෛවර්ණ මතක සමුදාය ඔබ නැවත ඇස් ඇරිය යුතුම යැයි සිතෙන සුබ උදෑසනකට මට අඬගසයි.
&හීන දහසක සොයමි ඔබ යළි
ළතෙත් උර මඬලක් හිමි
අහෝ කොයි නුඹ
හමුවේද සකි

තවත් දිනකට ඇහැරෙමි'
එහෙත් යළිත් සංවාද විසංවාද නගන්නට, අසංවාදී හදවතින් කවි ගී සල්ලාප මවන්නට, විසූක දස්සන සිනමා සිත්තම් මත රඟන්නට තවත්  නම් ඔබ නැත. එහෙත් හිස්තැන හිස්තැනක් දැයි නොදැනෙන්නට තරම් මතක කන්දරාවක් ඔබ ශේෂ කර තබා ඇත. කිසිදා මිහිදන් නොවන මතක සරාගයක ඉඳින් ඔබ නැතුව ඔබ එක්ක අදත් අපි සරන්නෙමු.
හමුවීම් සුන්දර වූ තරමටම සමුගැනීම් වෙන්වීම් සහ හැරයාම් වේදනාත්මක වූ කල්හි... 


පපුවටම දැනෙන්නට ඉතිරි කර ගිය මතක වඩාත් සොඳුරු වූ කල්හි... 

සංවේදී වූ කල්හි...
හැඟුම්බර වූ කල්හි...

සමුගැනීම සහ හැරයාම තරම් වේදනාවක් තවත් ලොව නොපවතිනු ඇත...
ඉතින් ඔබ සොහොන් කුරුස පලකය පාමුල නොව ඔබේ මතක මංජරිය අස ස්නේහයේ රෝස මලක් තබමි මේ මොහොතෙහි...!
හිතවතාණෙනි...

ඔබට දෙවියන් මුණගැසේවා!

සංජීවිකා සමරතුංග