2024 ජුලි 13 වන සෙනසුරාදා

ප්‍රේමයේ මාත්‍රයක් ඇති නේද හිත නිවන...

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

නිල් දෑස මත ඉසින
පිනි කඳුළ සෙමින් සිඹ
මගේ සකි නිවෙන්නම්
හිස තබා පපුව මැද...

මගෙ සිහින ඔලොගුවේ
කටු ගැවසී නටුව මත
අනේ නුඹ පිපෙපු මැන
කහ රෝස මලක් වී
ඒ රෝස පෙති මතම
ප්‍රේමයට කවි ලියන
හීනයක් මටත් ඇත...

ඉඳුවරෙහි පැහැසර අරන්
නුඹ අඳින මෝස්තර
කියා දෙනවද ඉතින් දැන්වත්
දම් පාට අහස ගැන
මගේ සකි දන්නවද
මම ආසා දම් පාට
දුටුවේම ඔයා ළඟ

යටගියාවක අඳුරැතම
රැයකදී දැල්වෙච්ච
එකම එක එළිය විය
නිල් ඇහේ දිලිසිල්ල...
නීරසම පිටු අතර
ලියනු වස් පෙරවදන
ප්‍රේමයේ මාත්‍රයක්
ඇති නේද හිත නිවන...

• සංජු