2024 ජුලි 13 වන සෙනසුරාදා

අමුතු-අමුතු පුදුම අරගෙන එන්නම්... - Amandya Uthpalie

 2024 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

අමන්ද්‍යා... මේ දවස්වල හරි කාර්යබහුලයි. ඒ කාර්යබහුල වීමට ලොකු හේතුවකුත් තියෙනවා. ඉතින් අපි ඒ ගැන මුලින්ම කතා කරමු?

ඔව්... ඇත්තම කිව්වොත් හෙමිහිට කරපු වැඩ ටිකක තවත් ප්‍රතිඵලයක් ළං වෙමින් පවතිනවා. ඔය අතරේ හෙමිහිට කරපු වැඩ ටිකක් කලබලයට වෛරල් වෙලා තියෙනවා. මගේ "රූප සුන්දරී" ගීතය ගැන මේ වෙද්දි බොහෝ දෙනා කතා කරනවා. ඒක මේ දිනවල වෛරල් වෙමින් තියෙනවා. ඒ වගේම "රැජිනට ඇන්දා" ප්‍රසංගය දෙවැනි වතාවටත් කරන්න සූදානමින් ඉන්නවා. "රැජිනට ඇන්දා" මුල්ම ප්‍රසංගය මම මේ වසරේ පෙබරවාරි මාසයේදී බත්තරමුල්ල Waters edge හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුවා. "රැජිනට ඇන්දා" දෙවැනි ප්‍රසංගය ජූලි මාසේ ඒ කියන්නේ මේ මාසේ පවත්වන්න සූදානම් වෙනවා.

නන්දා හරහා අමන්ද්‍යාට ආදරය කරපු පිරිසට ඒ ප්‍රසංගය බලන්නට අවස්ථාවක් ලැබෙයිද?

ඔව්... අනිවාර් යෙන්ම. මම සියලු දෙනාට ප්‍රසංගය නරඹන්න ආරාධනා කරනවා. පළමු ප්‍රසංගය හවුස්ෆුල් වීමත් එක්ක බොහෝ දෙනා දෙවැනි ප්‍රසංගයක් කරන්න මගෙන් ඉල්ලීම් කළා. ඒ සමහරැන්ට අවසාන මොහොතේදී ප්‍රවේශ පත්‍ර ගැනීමට අවස්ථාවක් නොලැබුණු නිසයි. ඒ නිසා අන්තිම මොහොත වෙනතුරැ නොසිට ඉක්මනට තමන්ගේ ප්‍රවේශ පත්‍ර වෙන්කර ගන්න කියලා මම කියනවා. ජූලි මස 19 වැනිදා සවස 7ට බොරැල්ල The Taprobane හීදී ප්‍රසංගය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.

“රැජිනට ඇන්දා" පළමු ප්‍රසංගයේදී ඔබ ලොකු වෙනසක් කළා. දෙවැනි ප්‍රසංගයේදීත් එවැනි වෙනසක් දකින්න ලැබෙයිද?

ඔව්... වෙනසක් වෙනවා. ගීත කිහිපයක්ම වෙනස් වෙලා තියෙනවා. අලුත් ගීත එකතු වෙලා තියෙනවා. ඒ වගේම මේක මෙහෙයවන විදිහත් වෙනස් වෙලා තියෙනවා. කලින් ප්‍රසංගයේදී බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීමක් කළා. ඒ තමයි ප්‍රේක්ෂකයන්ට මාත් එක්ක ගීත ගයන්න ලබාදෙන අවස්ථාව තව වැඩි කරන්න කියලා. ඉතින් ඒ වගේ අමුතු අමුතු වැඩ ටිකක් මේ පාරත් තියෙනවා. නාට්‍යමය රංගනය, ගීත, බෙර වාදන, නැටුම්, නාට්‍ය ගීත, ග්‍රැමෆ්‍රොන් යුගයේ ගීත ආදී එකී මෙකි නොකී බොහෝ ගීත එක්ක මේ ප්‍රසංගය වෙනස් වෙනවා.

සාමාන්‍ය ප්‍රසංගයකට වඩා වෙනස් විදියේ ප්‍රසංගයක් කරන මේ ආකල්පය ඇතිවුණේ කාගේ හිතේද?

ඇත්තටම ඒ අදහස කිහිප දෙනෙක්ගේ එකතුවක් කිව්වොත් නිවැරදියි. ඒ මගේ තාත්තා (ගිරිරාජ් කෞෂල්‍ය), සහන් රන්වල සර් සහ මගේ සැමියා වන සාරංගගේ අදහස්වල එකතුවක් කිව්වොත් නිවැරදියි. ඒ තුන්දෙනා සහ මම එකතුවෙලා මේ ප්‍රසංගය මොන වගේ ප්‍රසංගයක් විය යුතුද කියන දේ ගැන බොහෝ කතාබහ කළා. සාමාන්‍යයෙන් අමන්ද්‍යා උත්පලී කියන ශිල්පිනිය ගායනය හා රංගනය යන ක්ෂේත්‍ර දෙකටම අදාළ වෙනවා. ඒ අමන්ද්‍යාගෙන් ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අපි හැමවෙලේම කතාබහ කළා. මම ජන කවි කියනවා අහන්න මිනිස්සු ආසා කළා. මම සාමාන්‍යයෙන් ගීතයක් ගායනා කරනවාට වඩා රංගනයත් සමඟින් ගීතය ගායනා කරනවා දකින්න මිනිස්සු ආසා කළා. ඒ දේවල් ගැන හිතලා තමයි අපි පළමු ප්‍රසංගය සංවිධානය කළේ. අනික මේක පවුලේ සැමට එකට හිඳ බලන්න හැකි ප්‍රසංගයක්. ඕනෑම වයස් කාණ්ඩයක කෙනෙක්ට පැමිණ රස විඳින්න පුළුවන් වගේම නරඹන්නට පුළුවන්.

පළමු ප්‍රසංගයේදී ගායනා කළ උමා අසේනී රචනා කළ "තාත්තා" ගීතය වගේම "කතරගම කන්නලව්ව" අද වෙද්දි ජනප්‍රිය ගීත දෙකක්. මෙවරත් අලුත් ගීතයක් කලඑළි දකීද?

අපි ඒක බලමු. මේ සැරේ මම අලුත් ගීත නිර්මාණය කරලා නැහැ. නමුත් පළමු ප්‍රසංගයට නිර්මාණය කරපු අලුත් ගීතයක් තියෙනවා. ඒක තාම ප්‍රේක්ෂකයන්ට එළි දක්වලා නැහැ. මේ ගීතය වෙනස් මුහුණුවරකින් මේ ප්‍රසංගයේදී දකින්නට ලැබේවි.

“රැජිනට ඇන්දා" පළමු ප්‍රසංගයේදී අතුරැ සිදුරැ නැතුව ප්‍රේක්ෂකාගාරය පිරැණා. ප්‍රේක්ෂකයන් බලන්න පැමිණියා. මුලින්ම අමන්ද්‍යා වේදිකාවට ගොඩවෙද්දී, ඒ පිරිස දකින්නට ලැබුණාම මොකද හිතුණේ? එවැනි ප්‍රතිචාරයක් අමන්ද්‍යා බලාපොරොත්තු වුණාද?

ඇත්තටම ඒ වගේ මුළු ශාලාවම පිරිලා තියේවි කියලා කවදාවත් මම හිතුවේ නැහැ. ඒක මගේ ප්‍රසංගය වැඩේ වගේම ඒ  වෙද්දි මගේ ජනප්‍රිය වෙලා තිබුණෙත් එක ගීතයයි. ඉතින් ඒ ගීතය නිසා මගේ ප්‍රේක්ෂකයන් මාව විශ්වාස කරලා ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ප්‍රසංගය බලන්න පැමිණීමත් මට පුදුමයක්. නමුත් ඒ පුදුමය මට දැනුණා. ඒක මගේ වාසනාව වගේම එදා ආපු සියලු දෙනාට මගේ ගෞරවය ස්තූතිය පුද කරනවා. මුලින්ම වේදිකාවට නැගලා ඒ පිරිස දකිද්දිම මට පුදුමාකාර ශක්තියක් දැනුණා. "මිනිස්සු මාව විශ්වාස කරලා ඇවිල්ලා" කියන සිතුවිල්ල ඔළුවට ගියාම ඒක පුදුමාකාර ශක්තියක්. ඒ ශක්තිය තාමත් මගේ ඇඟේ තියෙනවා.

නන්දා ඊළඟට කොහේදී රැජිනට අඳීවිද?

ආරාධනා කිහිපයක්ම තියෙනවා. අනිවාර් යෙන්ම ලංකාව වටේ යන්න බලාපොරොත්තුවක් වගේම ලෝකෙ වටේ මේ ප්‍රසංගය අරගෙන යන්නත් ලොකු වුවමනාවක් තියෙනවා.

නන්දා නිසා අමන්ද්‍යා කියන රංගන ශිල්පිනිය ඈත්වෙලා ගිහින්ද?

නැහැ. ඉදිරියේදී චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම අලුතින් පටන් ගත්ත නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක ඉදිරියේදී විකාශනය වේවි. හැබැයි ගායන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න තියෙන ඉඩකඩ ටිකක් වැඩිවෙලා තියෙනවා.

පොඩි කාලයකදී නන්දා ඔයාව රැජනක් කළා. අද වෙද්දි මොකද හිතෙන්නෙ?

ඒක වචනවලින් කියාගන්න බැරි හැඟීමක්. පොඩි කාලේ ඉඳන් අවුරැදු ගාණක් මම ඉගෙන ගත්තේ, මහන්සි වුණේ මේ දේ ළඟා කර ගන්නයි. මේක මගේ ආරම්භය කියලයි මම හිතන්නේ. මම හෙමින් ගමනක් ආපු කෙනෙක්. තාත්තා රංගන ශිල්පියෙක් වුණා කියලා මම ඉක්මනට මේ ක්ෂේත්‍රයට එකතු වුණේ නැහැ. අධ්‍යාපනය අවසන් කරලා පෞද්ගලික ආයතනවල රැකියා කරලා තමයි පූර්ණ කාලීනව කලා කටයුතුවලට සම්බන්ධ වුණේ. ඒ හෙමින් ආපු ගමන නිසාම තමයි මට මේ විදිහට බරට අඩියක් තියන්න පුළුවන් වුණේ. ඒ විදියට හෙමින් ඉදිරියට යන්න ආසාවෙන් ඉන්නවා.

• දිශානි
•  සුමුදු හේවාපතිරණ