2024 ජුලි 20 වන සෙනසුරාදා

ලංකාවේදී ලද ආදරයට ස්තූතියි කියන්න මට වචන නෑ

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 128

ප්‍රවීණ ඉන්දියානු ගායනවේදී - සංගීතවේදී රාජේෂ් පංවාර් හදසරට කතා කරයි

 

රාජේෂ් පංවාර් දැවැන්ත ඉන්දීය සංගීත ක්ෂේත්‍රය තුළ ඔබේ නියෝජනය සහ ඔබේ භූමිකාව කුමක්ද?

ඔව්.. සංගීත ක්ෂේත්‍රයේ මගේ නියෝජනය ගත්තොත් මම මගේම නිර්මාණ බිහි කරලා තියෙනවා. 2015 දී ඒක් ටුකඩා ධූප් කා (Ek tukda dhoop ka) යන තැටිය නිකුත් කළේ මට ඇරයුම් කළ බෙංගාලි ගායිකාවක් සමඟයි. එහි ගීත අටක් නවයක් අඩංගු වුණා. වෙනත් ගායක ගායිකාවන් එළිදැක්වූ තැටිවලත් මා සමඟ ගැයූ යුග ගී සහ තනි ගීත තිබෙනවා. මම භක්ති ගීත (භජන්) ගයා තිබෙනවා. තවද කවිතා ක්‍රිෂ්ණමූර්ති සාධිනා සර්ගම් සහ යේසුදාස් ජී සමඟ ද මම ගීත ගායනා කර තිබෙනවා. 

පළමු වතාවට ලංකාවට පැමිණි ඔබට ලාංකික ප්‍රේක්ෂකාගාරය ඉදිරියේ ගී ගයද්දී  දැනුණේ සහ ඔබ වින්දේ කොහොම හැඟීමක්ද?

ලංකාවට පැමිණියාට පසු මට හරි සතුටක් දැනුණා. සංගීතය පැත්තෙන් ගත්තොත් මා නොදැන සිටි දෙයක් තමයි ලංකාවේ බොහෝ දෙනා ඉන්දීය සිනමාලෝලීන් බව. ඔවුන් පැරණි ගීතවලට ඉතා කැමතියි. එය මට පුදුමයට කාරණයක් වුණා. මට කොපමණ සුහද බවක් දැනුණාද කිවහොත් මට හැඟුණේ නැහැ මම ඉන්නේ ඉන්දියාවෙන් පිටස්තර රටක කියලා. මට හැඟුණේ මා ගයන්නේ මගේම රටේ ඉඳන් කියලා. මෙය මට අලුත්ම අත්දැකීමක්. මට නව සමාජයක් නව පිළිවෙත් සහ නව සංස්කෘතියක් මුණගැසුණා. මේ අයුරින් මා ලංකාවට පැමිණි බව මටම අදහගන්නත් බෑ වගේ. ඒ සියල්ලට ප්‍රශංසාව හිමිවිය යුත්තේ සුරංජිට. 

ලාංකික සංගීත ක්ෂේත්‍රය සහ ගීත කලාව ගැන ඔබට යම් අවබෝධයක් තියෙනවද?

ලංකාවේ සංගීත කලාව ගැන මට කිසි අවබෝධයක් තිබුණෙ නැහැ. බොලිවුඩ් වගේ සංගීතයක් ලංකාවෙ ඇතිද නැතිද යන බවට වැටහීමක්ද තිබුණෙ නැහැ. මා සිතා සිටියේ ලංකාවේ දමිළ භාෂාව ප්‍රචලිතව ඇති කියා. නමුත් එහෙම වුණේ නැහැ. මා පැමිණි පසු මට වැටහුණේ එහි සංගීතය හරිම රසවත් බවයි. 7 වැනිදා ප්‍රසංගයේ මා ගැයූ වේදිකාවේම ලංකාවේ ගායකයන් ඔවුන්ගේ මව් භාෂාවෙන් ඉදිරිපත් කළ ගායනාවල හරිම මිහිරියාවක් තිබුණා. මට එදින ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂතුමාව මුණගැසුණා. එයත් මා ලැබූ අනගි අවස්ථාවක්. 

සුරංජි ශ්‍යාමලී හා ගී ගයන්න ලංකාවට පැමිණෙන්න ඔබ වැනි දැවැන්තයෙක් කැමැත්ත ප්‍රකාශ කළේ කවර හේතු නිසාද?

ලංකාවට පැමිණීමට ලැබීම මට ඉමහත් සතුටක්. යම්කිසි රටක සංගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය වූ පමණින්, වෙනත් කලාවේදියකුගේ ඇරයුමක් පිළිගැනීම, ඔහු මුණගැසීම හෝ එක්ව වැඩ කිරීම පිටුදැකිය යුතු නොවේ. වෙනත් කලාවේදීන් හා එක්ව ලබන අත්දැකීම්වලින් පෝෂණය වෙන්නත්, පෙර නොදුටු දේශයක් දැකබලා ගන්නත් මා කැමතියි. සුරංජි මට කොළඹට ඒමට ඇරයුම් කළා. ඇය පිළිබඳව තැබූ විශ්වාසය මත වැඩිදුර නොසිතා මා එකඟ වුණේ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන්. ඇත්තටම සුරංජි මට මුලින්ම දුරකථන ඇමතුම දීපු වෙලාවෙ ඈ සමඟ මුලින්ම හින්දීයෙන් කළ සංවාදය අනුව මට හැඟුණෙ සුරංජි රැකියාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දියානු කාන්තාවක් කියලා. එහෙත් ඈ ශ්‍රී ලාංකික බව දැනගත් විට මම පුදුම වුණා. ඇගේ හින්දී භාෂා ඥානය සහ උච්චාරණය ඒ තරම් ඉහළයි. ඇගේ කටහඬ, ගායන විලාසය, ස්වර පරාසය, හින්දී ගීත පිළිබඳ දැනුම අවබෝධ කරගත් මම අතිශයින් තෘප්තිමත් වුණා. ඈ පිළිබඳ තැබූ විශ්වාසය මත වැඩිදුර නොසිතා මා ලංකාවට පැමිණීමට එකඟ වුණේ ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් ඈ සමඟ ගී ගයන්න. 

ඔබ දන්නවාද ඒ සුන්දර ඉන්දියානු විවිධත්වයන්ට, සිනමාවට, හින්දී භාෂාවට, සංගීතයට, සංස්කෘතියට ආදරය කරන විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ලංකාවෙ ඉන්නවා කියලා?

ලංකාවේ මෙපමණ පිරිසක් ඉන්දියානු සංගීතය ප්‍රිය කරනු ඇතැයි මා කිසිසේත්ම සිතා සිටියේ නැහැ. ලංකාවේ ආහාරත් මට ඉතා ප්‍රියයි. මා නිර්මාංශ ආහාර තමා ගන්නෙ. මින් ඉදිරියට ඉන්දියාවේ තිබෙන ලාංකික අවන්හල්වලින් රසවත් එළවළු ලබා ගන්නවා. මා මේ ආවේ බලාපොරොත්තු නොවූ ගමනක්. ලංකාවේ පිළිවෙත් සහ සංස්කෘතිය දෙස බලමින් ඉතා සොඳුරු දින කිහිපයක් මම ගත කළා. 

සප්ත සුරාගී ප්‍රසංගයේදී ඔබ හායි කොහොමද? කියලා සිංහලෙන් ප්‍රේක්ෂකාගාරය ඇමතුවා. සිංහල වචන දෙක තුනක් ලස්සනට කතා කළා. කොහොමද ඒ වචන දෙක තුන එච්චර ලස්සනට උච්චාරණය කරන්න ඉගෙන ගත්තෙ?

ලංකාවේ සිංහල භාෂාව ගැන මම දැන සිටියේ නැහැ. කොපමණ සුන්දර භාෂාවක්ද? මා සිතා සිටියේ දකුණු ඉන්දියාවේ මෙන් කණ්ණඩ හෝ දමිළ භාෂාව භාවිතයේ ඇතැයි කියා. සුරංජි මට සිංහල වචන කිහිපයක් කියා දුන්නා. එහෙත් සංගීත ක්ෂේත්‍රයේ සිටින අපට භාෂා වෙනසක් නැහැ. ඕනෑම භාෂාවකට තනුවක් යෙදූ විට ඉතා සුන්දර වෙනවා. මා නැවත පැමිණි විටක ලංකාවේ භාෂාව මීට වඩා හොඳින් ඉගෙන ගන්නවා. 

භාවනාමය ශක්තියක්, දෙවියන් කෙරේ ඔබ තබා ඇති විශ්වාසය පදනම් වූ අතිශය ප්‍රසන්න බවක් ඔබේ ප්‍රතිරෑපය තුළින් අපට දිස්වෙනවා. භාවනාව සහ දෙවියන් පිළිබඳ විශ්වාසය සංගීතයට ගීතයට සහ කලාවට එක් කරන්නෙ සෞන්දර්යාත්මක වටිනාකමක්. ඔබ කොහොමද ඒ ගැන විශ්වාස කරන්නෙ සහ ප්‍රායෝගිකව එය පුහුණු කරන්නෙ?

සංගීතයත් භාවනාවක්. යෝගා ප්‍රගුණ කරන විටත් භාවනානුයෝගී ඉරියව්වක් තියෙනවා. සංගීතයේත් සංගීත් සාධ්නා යනු භාවනාවක් තමයි. එයින් තමාගේ සිත, හදවත සහ ආත්මය සන්සුන් වෙනවා. එවිට තමාගේ සිරුරේ සහ හැසිරීම් රටාවේද වෙනසක් ඇති වෙනවා. 

විශ්ව භාෂාවක් වූ සංගීතය සහ ගීතය ගැන ඔබේ නිර්වචනය කුමක්ද?

භාෂාව සහ සංගීතය ගත්තොත් සංගීතයට භාෂාවක් නෑ. සංගීතය විශ්වයටම පොදුයි. ඔබ නොදන්නා වචනයකට සංගීතය යෙදූ විට එහි ස්වර ඔස්සේ ඔබ ඒ වචන හඳුනා ගැනීමට පටන් ගන්නවා. සංගීතයට භාෂාව කුමක්ද යන්න අදාළ නැහැ. දෙවනුව ඔබට ඕනෑම භාෂාවක් තේරුම් ගන්නට අවශ්‍ය නම් එය ගීතයක් බවට පත් කරගත් විට ඉතා ඉක්මනින් එම භාෂාවේ ගුණාත්මකභාවය ග්‍රහණය කරගත හැකියි. 

සප්ත සුරාගී ප්‍රසංගයේදී ලාංකික ප්‍රේක්ෂකාගාරය ඔබට දැක්වූ ආදරය සහ ආකර්ෂණය ඔබට දැනුණේ සහ මේ මොහොතේ ඒ ආදරයට ඔබ දක්වන ප්‍රතිචාරය කුමක්ද?

සප්ත සුරාගී ප්‍රසංගයේ නියමුවා සුරංජි ශ්‍යාමලී. විශේෂයෙන් ස්තූති පූර්වකව සඳහන් කළ යුතුයි මෙහෙයවීම් කටයුතු සඳහා කැපවීමෙන් ක්‍රියා කළ ඇගේ සැමියා වන රෝහණ තෙන්නකෝන්ගේ දායකත්වය. දැන් මට අවශ්‍යයි ලංකාවාසී ජනතාවට මගේ ස්තූතිය පුද කරන්නට, ඔවුන් මට දැක්වූ ආදර ගෞරවයට සරිලන වචන මට නැහැ. මා බලාපොරොත්තු වෙනවා ඒ ආදරය නොසිඳී පවතී කියලා.

ලාංකික ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් ගී ගයන්න ඇරියුමක් ලැබුණොත් ඔබ නැවත ලංකාවට එනවද?

අවස්ථාවක් ලැබුණු විට ලංකාවට නැවත නැවත පැමිණෙමින් ගීතලෝලීන් රසවින්දනයට පත් කරන්න මම හරි ආසයි. ඉදිරියේදී සුරංජි සමඟ නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

• සංජීවිකා සමරතුංග
• දයාන් විතාරණ