2024 ජුලි 20 වන සෙනසුරාදා

මගේ ඊළඟ හීනය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයයි ලොවෙන් එකෙක් කෙටි චිත්‍රපටයේ ඇනට් ගුරුතුමී - Jacintha Perera

 2024 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

සම්මිශ්‍රණය සාරවත් වූ කල්හි ජීවිතය කොතෙක් නම් මනරම්දැයි කිවයුතු නොවේ තවත්.. දුරාතීතේ එදවසක පටන් පන්හිඳට බැඳි ප්‍රේමයෙන් ඇය සම්මානනීය ලේඛිකාවක් ලෙස විවරණ ලද්දාය. පන්හිඳට බැඳි ප්‍රේමය නොසිඳෙන උල්පතක් සේ වූයෙන් විවිධ තේමාවන් දිශානතින් ඔස්සේ පොත් විශාල සංඛ්‍යාවක් ලියූ ඈ ශ්‍රී ගරාජ් ටෙලිනාට්‍ය ඔස්සේ නාට්‍ය නිෂ්පාදන කර්තව්‍යයට එක් වූවාය. සරත් කොතලාවල, ගයාත්‍රි ඩයස්, නෙතලි නානායක්කාර වැනි රංගන ශිල්පීන්ගේ රංගනයෙන් වර්ණවත් වූ ශ්‍රී ගරාජ් නිෂ්පාදනය ඔස්සේ ටෙලිනාට්‍ය කලාවට බැඳී ප්‍රේමය විදාහල ඇයගේ නිෂ්පාදන දායකත්වයන්හි අක්මුල් කෙටි චිත්‍රපට ශානරය දක්වාම විහිද යයි.
ඇය කෙසේවත් ඔබට ආගන්තුක වෙන්නට හැටියක් නැත.

ඇය ඇනට් මාරි ජසින්තා පෙරේරා (Annette Marie Jacintha Perera) ය. ඇනට් මාරි ජසින්තා පෙරේරා සහ ඇගේ පෙම්බර ස්වාමියා වූ චමින්ද කේ. සමරකෝන් ලොවෙන් එකෙක් යන කෙටි චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය එක් කළා පමණක් නොව විරාජ් වර්ණකුලසූරිය පිටපත සහ අධ්‍යක්ෂණය ගැන වගකීම දැරෑ චන්දන ධර්මප්‍රිය කැමරාකරණයෙන් එක්වූ ඒ කෙටි චිත්‍රපටයට ඇය නිළියක ලෙස රංගන දායකත්වයද මුසු කළාය.

ඉතින් නිර්මාණශීලී ලේඛිකාවක් වගේම ඔබ නිළියක්... කතා කරමුද ලොවෙන් එකෙක් කෙටි චිත්‍රපටයේ රස මතක ගැන?

ඒ කෙටි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ජගත් චමිල. මම සචිතු ස්වරමිණ, රුක්ෂාණා වගේම මගේ දුව භක්ති ආලෝකා සමරකෝන් ඒ කෙටි චිත්‍රපටයේ රඟපෑවා. ඒ චිත්‍රපටයේ මම හිටියේ ඇනට් ගුරුතුමී කියන චරිතයට. දුව හිටියෙත් භක්ති කියන නමින්ම දියණියකගේ චරිතයට. තරගකාරී අධ්‍යාපන රටාව තුළ වරෙක වැඩිහිටියන් තේරුම් නොගන්න දරුවන්ගේ සෞන්දර්යාත්මක හීන සමුදායන් කේන්ද්‍ර කරගත් ලස්සන ප්‍රස්තුතයක් තමයි ඒ කෙටි චිත්‍රපටයේ තියෙන්නේ. 

හැබැයි ඔබේ ප්‍රථම ආලය යා වෙන්නේ ලේඛන කලාවත් එක්ක. ගැඹුරුම ආදරයකින් පන්හිඳ කෙරේ බැඳුණම ලෝකයම පේන මානයෙන් එහාට දකින්න, විඳින්න කෙනෙක්ට පුළුවන්. මම එහෙම හිතනවා. ඔබ?

අවුරුදු හත අට වෙද්දි තමයි මම ලියන්න ගත්තේ. ඉස්කෝලේ යන වයසෙදිම මම මොනිටර් පොතක කෙටි කතා 10ක් විතර ලියුවා. මට හොඳට චිත්‍ර අඳින්නත් පුළුවන්. ඒ කෙටිකතාවලට සරිලන චිත්‍ර ඇන්ඳෙත් මම. ඒ කෙටිකතා පොතට මම හංස විලක් කියලා නමකුත් තිබ්බා. සමාජයේ මම දැකපු අත්විඳපු දේවල්, සමාජ දරිද්‍රතාවය වගේ දේවල් තමයි මගේ කෙටිකතාවලට ප්‍රස්තුත වුණේ. 

සඳලංකාවෙන් කොළඹට පැමිණ ඈ පැමිණි ගමන් මඟේ මං සලකුණු බොහෝ වෙත්. සමනල සිහින අතර සරන යෞවනයට වඩාත් ප්‍රේමණීය ස්වරයකින් ආමන්ත්‍රණය කළ මල් සේ සුවඳ පත්තර කලාවක් තුළ එක් යුගයකදී අකුරු වියමන් ඔස්සේ ඇගේ අක්ෂර යාත්‍රාව දියත් වූ අතර වත්මනෙහි ජාතික කතෝලික ලේඛක සංවිධානයේ උප ලේකම් ධුරය දරන ඇය කුරුණෑගල ජන සන්නිවේදන පර්ෂදයේ ලේකම් ලෙස වසර ගණනාවක් තම අනගි දායකත්වය ලේඛන සහ මාධ්‍ය කලාව වෙනුවෙන් නොමසුරුව ලබා දුන්නාය.

වයස අවුරුදු දාහතර පහළොව වයසේදී කතෝලික සභාව මගින් ප්‍රකාශයට පත් කළ භක්ති ප්‍රබෝධනය නම් ඉපැරණි සඟරාවෙහි පිටු අකුරින් සරසන්නට නිමල මරිය නිකායික පූජා ප්‍රසාදින් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ලත් විවරණය ඇයගේ ලේඛන දිවියේ තවත් සුවිශේෂී කඩඉමකි.

කලාවේ බොහෝ ශානරයන් වෙත ඇගේ කැමැත්ත සහ ආදරය තුළ ඇයගේ නවමු බලාපොරොත්තුව ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයයි.

'ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය පිළිබඳව මේ වෙද්දි ඇත්තටම මට ලොකු ඇල්මක් දැනිලා තියෙනවා. ලේඛිකාවක් විදිහට වසර ගණනාවක් පුරා මා ලද අත්දැකීම් සහ පන්නරය තුළින් මට හිතෙනවා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙන්න යෝග්‍ය ප්‍රවේශයක් නිර්මාණය කර ගැනීමේ අවකාශය මා සතුයි කියලා. ලේඛනය තුළින් අවධි වෙන විචාර බුද්ධිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වැනි ක්ෂේත්‍රයකට කදිම අඩිතාලමක් බව මම විශ්වාස කරනවා...'

මේරි ඇග්නස් පෙරේරා අම්මාට සහ ලූකස් පෙරේරා තාත්තාට දාව උපන් දරුවන් පස්දෙනකුගෙන් යුතු පවුලේ සිව්වැනියා ලෙස මෙලොවට නෙත් විවර කළ ඇනට් මාරි ජසින්තා පෙරේරා ජීවිතයේ තවත් ප්‍රේමණීය බන්ධනයක වෙළුණේ චමින්ද සමරකෝන් නම් ආදරවන්තයාගේ සදාදරණීය බිරිඳ ලෙසය.

'ඇත්තටම මම හුඟාක් වාසනාවන්ත වුණා එවන් ස්වාමියෙක් ලබන්න. එයා මාව දුටුවේ කාර්යක්ෂම හුරුබුහුටි අවංක සත්‍යවාදී යුවතියක් විදිහට. විවාහ වෙලා ටික කාලෙකින් අපි විදේශගත වුණා. මම පසුව ලංකාවට පැමිණියත් මගේ සැමියා මෑතක් වනතුරුම දිගටම සේවය කළේ විදේශගතව. එයා ඉතාමත් ආදරණීයයි. විවාහ වූ මුල් කාලයේ මගේ අතට බත් එක බෙදලා දෙන්න තරම් එයා කාරුණික සහ ආදරණීය වුණා. මට මගේ හැකියාවන් තුළින් ඉදිරියට යන්න මට එයාගෙන් ලැබුණෙත් අද ලැබෙන්නෙත් පුදුමාකාර ශක්තියක්. මට හොඳ ස්වාමියෙක් වගේම දුව භක්තිට එයා වටිනා තාත්තා කෙනෙක්...'

ජීවිතයට වචනයකින් හෝ ආශිර්වාද කළ දිරිගැන්වූ හදවතින්ම ස්තූති යැයි කියන්නට සිත්වෙන අය ඔබේ ජීවිතයේ ඉන්නවාදැයි ඇසුවොත් දෙන්න මට උත්තරයක්?

මම දෙවියන් වහන්සේ විශ්වාස කරන දෙවියන් වහන්සේ කෙරේ හුඟාක් භක්තිමත් කෙනෙක්. උන්වහන්සේගේ ධර්මය අනුව ස්වභාවධර්මය කෙරේ ආදරයෙන් මගේ හෘද සාක්ෂියට එකඟව ජීවත්වෙන කෙනෙක්. මගේ පළමු ස්තූතිය වටිනා ජීවිතයක් මට තිළිණ කළ මගේ දෙවියන් වහන්සේටයි. 

එක් නමක් හෝ මඟහැරුණොත්. ඒ නිසා නමක් නොකියා මට 'අ'යන්නේ සිට ශිල්පය ලබාදුන් මා ඇගයූ, මා ලේඛන කලාවට උනන්දු කළ මගේ ආදරණීය ගුරුවරුන්ට, මගේ මව්පියන්ට වගේම මට ආශිර්වාදය පිරිනමන දෙවියන් වහන්සේගේ සියලු අනුගාමිකයන් වහන්සේලාට මාධ්‍ය හා කලා ක්ෂේත්‍රය තුළ හමුවූ සියලු වටිනා හිතමිතුරන්ට, කල්‍යාණ මිත්‍රත්වයේ මහිමය කියා දුන් සියල්ලන්ට, මට වචනයකින් හෝ ආශිර්වාදය ධෛර්යය පිරිනැමූ සියලු දෙනාට මගේ ආදරය ගෞරවය ස්තූතිය පූද කරනවා.

• සංජීවිකා සමරතුංග