මේ දවස්වල තාක්ෂණික ලෝකයත් එක්ක ඉන්න සුදාලගේ ලොකුම Y Trend එක තමා ''AI'' කියලා කියන්නේ. AI කියන අකුරු දෙකේ තේරුම නොදන්න කෙනෙක් දැන් නෑ. Artificial Intelligent, සිංහලෙන් කියනවා නම් කෘත්‍රිම බුද්ධිය. පරිගණක තාක්ෂණයේ සීඝ්‍ර දියුණුවත් එක්ක මිනිස්සු කරන සමහර වැඩ දවසක කෘත්‍රිම බුද්ධිය හරහා කර ගන්න පුළුවන් වෙයි කියලා මීට කාලෙක ඉඳන්ම මිනිස්සු විශ්වාස කළා. ඔන්න මචෝ පහුගිය දවස්වල ඒක වේගයෙන් සැබෑ වෙන්න පටන් අරගෙන තියෙනවා.
කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ තාක්ෂණයට මේ වෙනකොට මුළු Young Generation එකම පිස්සු වැටිලා ඉන්නෙ. ආතල්ම කෑල්ල තමයි මචෝ එහෙම බුද්ධියෙන් වැඩ රොබෝලා යන්ත්‍ර සූත්‍ර විතරක් නෙවෙයි, ඉස්සර විද්‍යා ප්‍රබන්ධ කතාවල තිබෙන කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණ බිහි කරන සංගීතඥයෝ වගේම චිත්‍ර ශිල්පීන් වගේ අයත් ලෝකෙ බිහිවෙමින් ඉන්නවා. ඒ කියන්නේ මචෝ මෙයාලා මිනිස්සු නෙවෙයි පරිගණක වැඩසටහන්. ඒ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ කෘතිම බුද්ධිය හරහා.
ඉතින් මචෝ අපි හිතුවා අද කලා ලෝකේ කළඹන පිස්සු හැදෙන AI ටිකක් ගැන කතා කරන්න. විශේෂයෙන්ම අපිට ටිකක් සමීප, ඕනෑ නම් භාවිත කරන්න පුළුවන් මට්ටමේ සීන් කෝන් ටිකක් ගැන තමා මේ කතාව. ඒ අතර කෘත්‍රිම බුද්ධි ඉතිහාසය සහ තව ආතල් කතන්දර ටිකකුත් ඔයාලත් එක්ක බෙදාගන්න අපි කල්පනා කළා.
ලංකාවේ මේ දවස්වල ටිකක් ජනප්‍රිය ආතල් AI එකක් තමයි Suno කියන්නෙ. ඇත්තම කියනවනම් මචෝ මේක නොමිලේ ගීත හදාගන්න පුළුවන් සීන් කෝන් එකක්. සරලව කිව්වොත් ඔයාට මොකක් හරි දෙයක් ගැන ගීතයක් හදාගන්න ඕනෑ නම් අදාළ දේ සඳහන් කරලා, මොන වගේ සංගීතයක්ද ඕනෑ කියලා පොඩි සටහනක් තිබුණම Suno AI එක හරහා ඔයාට ගීතයක් හදලා දෙනවා. එකපාර ඇහුවම ටිකක් ඔළුව මඤ්ඤං වෙනවා වුණාට කැමති අයට ගිහිල්ලා උත්සාහ කරලා බලන්න පුළුවන්.
ඒ වගේම ඔයා ලස්සනට ගී පද ලියන්න පුළුවන් කෙනෙක් නම් මේකෙ ආතල් එක තවත් වැඩියි. ඔයාට කරන්න තියෙන්නේ ඔයා ලියපු ගී පද ටික මේ පරිගණක වැඩසටහනට ඇතුළු කරන එක විතරයි. ඔයාට ඕනෑ පෙරදිග සංගීතයක්ද බටහිර සංගීතයක්ද, එකේ මොන වගේ වාද්‍ය භාණ්ඩද තියෙන්න ඕනෑ, මොන වගේ රසයක්ද දැනෙන්න ඕනෑ කියලා පොඩි වාක්‍යයක් දෙකක් ටයිප් කරන්න ඕනෑ යටින්. ඊට පස්සේ ඔන්න පොඩි බොත්තමක් ක්ලික් කරලා බලාගෙන ඉන්න තියෙන්නෙ. මෙන්න සින්දුව හැදිලා ඔයාගේ අතටම එනවා.
මේ සීන් කෝන් එක ඇතුළෙ සිංහලෙන් සින්දු හදාගන්න පුළුවන් එකත් මාරම ආතල් එකක් තමා මචෝ. ඒ නිසාම දැන් දැන් ලංකාවේ වැඩේ Trend වෙන ගමන් තියෙන්නෙ. මීට කාලෙකට කලින් අපි Y Trend එකේ කතා කළානේ එහෙම වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබුණු රොබෝටික් මියුසික් ගැන. ඒ වගේම කෘත්‍රිම බුද්ධියෙන් දවසක ලොකු වැඩක් කරයි කියලත් අපි ඒ කාලේ කිව්වා. එහෙ බලලා මෙහෙ බලද්දි අපේ එළිපත්තටත් ඒ වැඩ කෑලි ටික ඇවිල්ලා. සිරාවටම උත්සාහ කරලා බලන්න.. ආසා හිතෙයි.
සුදාලා '80 - '90 දශකවල ළමා කාලය ගත කළා නම් ඒ කාලේ ඉංග්‍රීසි කාටූන්වල, චිත්‍රපටවල, ළමා කතාවල දැකලා ඇති කතා කරන මනුස්සයෙකුට වගේ හිතන්න පතන්න පුළුවන් පරිගණක ගැන කතා. ඒ තමා අපි මුලින්ම දැකපු කෘත්‍රිම බුද්ධිය ගැන එක එක කතන්දර. ඔන්න මචෝ ඒ දේවල් හෙමිහිට ඇත්ත වෙන තැනට Technology එක Develop වෙලා. මේ මොහොතේ ලෝකයේ තාක්ෂණය ලොකු පිම්මක් පනින්න ඉන්නේ.
මචෝ සංගීතයට කෘත්‍රිම බුද්ධියේ බලපෑම හරිම වේගයෙන් වැඩිවෙමින් තියෙනවා කියලා තමයි පරීක්ෂකයෝ කියන්නේ. Suno කියන්නේ සුදාලට මේක අත්දකින්න පුළුවන් තැනක්. ඇත්තටම මේ වගේ Platforms තව සෑහෙන්න ප්‍රමාණයක් ලෝකෙ පුරා තියෙනවා. මීට වඩා සංකීර්ණ විදියට ඉතාම දියුණු නිර්මාණ බිහි කරන්න ඒ පරිගණක වැඩසටහන්වලට පුළුවන්.
ඔයා කැමති නම් ඔයාට පුළුවන් ඔයා ලියපු වචන ටිකක් මයිකල් ජැක්සන්ගේ කටහඬින් කියවන්න. පහුගිය දවස්වල සුදාලා දකින්න ඇති අලුත් සින්දුවක වචන ජෝතිපාල මහත්මයාගේ කටහඬින් කියවලා තිබුණා. ඒ වැඩේ කරලා තිබුණෙත් මේ අපි කතා කරන කෘත්‍රිම බුද්ධි වැඩසටහන් භාවිත කරලා. ඇත්තටම මචෝ දැන් ලෝකෙ ඉන්න ඕනෑම ගායකයෙක්ගෙ කටහඬින් තමන් කැමති පද පෙළක් ගායනා කරවන්න පුළුවන්කම මේ තාක්ෂණය නිසා නිර්මාණය වෙලා තියෙනවා.
පට්ට ආතල් සුපිරි ගිනි ගින්දර කියලා සුදාලට හිතෙන්න පුළුවන්. ඒත් මචෝ මේ හරහා නිර්මාණය වෙලා තියෙන ගැටලුත් මෙච්චරයි අච්චරයි කියලා කියන්න බෑ. නිර්මාණවල අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු ගොඩක් දවසින් දවස නිර්මාණය වෙමින් තියෙනවා. මේ වගේ නිර්මාණවලට කොපි රයිට් ක්ලේම් කරගන්නේ කොහොමද කියන එකත් දැන් ලොකු ප්‍රශ්නයක්.
ඒ වගේම ඕනෑම පරිගණක වැඩසටහනකදී වගේම මේකෙදිත් හොරෙන් ලාබ උපයන්න බලාගෙන පිරිසක් ඉන්නවා. එයාලා නිර්මාණ හොරකම් කරන්නත් මේ තාක්ෂණය භාවිත කරන්න සූදානම්.
තව පැත්තකින් මචෝ ලෝකෙ පුරා ගායක ගායිකාවෝ සංගීතඥයෝ ශිල්පීන් හැමදෙනා තුළම පොඩි බයක් නිර්මාණය වෙලා තියෙනවා, AI තාක්ෂණයෙන් දවසක තමන්ගේ රුකියාව උදුරා ගනියි කියලා. සිරාවටම විද්වතුන් කියන විදිහට ඒක යම් ප්‍රමාණයකින් සිද්ධ වෙන්න පුළුවන්. අනාගතයේදී බොහෝ වෘත්තීන්වල හොඳම අය සීමාසහිතව ඉතුරු වෙලා සාමාන්‍ය මට්ටමේ හැකියා තියෙන අයට රුකියා අවස්ථා නැතිවීමේ අවදානමක් කෘත්‍රිම බුද්ධිය නිසා උදාවෙන්න පුළුවන් බවට අනාවැකි පළ වෙලා තියෙනවා.
වස්තුලට කියන්න ගීත විතරක් නෙවෙයි, වීඩියෝ පට, ග්‍රුෆික් නිර්මාණ, සිතුවම් ආදී තවත් කලාවට සම්බන්ධ ක්ෂේත්‍ර රුසකටම AI මේ වෙනකොට බලපෑම් කරමින් ඉන්නවා. ඇත්තටම අපිට පේන තරම් තත්ත්වය සරල නැහැ. සමස්තයක් විදිහට කෘත්‍රිම බුද්ධිය කියන දේ ගැන විද්‍යාත්මකව හා තාක්ෂණිකවත්, දාර්ශනික හා සමාජීය වශයෙනුත් පැහැදිලි කරන එක අමාරු වැඩක් මචෝ. ඒත් සරලව කිව්වොත් මිනිසෙකුට සිය චින්තනය උපයෝගී කරගෙන කළ හැකි දේ කරන්නට පුළුවන් පද්ධතියක් නිර්මාණය කිරීම කෘත්‍රිම බුද්ධිය සොයා යාම විදිහට හඳුන්වන්න පුළුවන්.
මේ ගැන ලොකු නිර්වචන පැහැදිලි කිරීම් ගොඩක් තියෙනවා. ඒ හැම නිර්වචනයක් ඇතුළෙම සියුම් බයකුත් අපිට ඇතිවෙනවා. ඒ වගේම වැඩ පහසු වෙලා ලෝකය තවත් සුව පහසු වෙයි කියලා සතුටකුත් ඇතිවෙනවා. කොහොම නමුත් ලෝකයත් එක්ක යාවත්කාලීන වෙන්න, වෙනස් වෙන්න, ලෝකයට අනුව අනුවර්තනය වෙන්නත් මිනිස්සු විදිහට අපිට පුළුවන් වෙන්න ඕනෑ. නැත්නම් අපිට සිද්ධ වෙන්නේ ඩ්‍රයිනෝසරයින් වගේ වඳ වෙලා යන්න. ඒත් හානිකර විනාශකාරී දේවල්වලින් ලෝකය මුදාගන්න එකත් අපේ වගකීමක්. ඒකත් අමතක කරන්න එපා. කොහොම හරි හිත අවුල් ගන්න එපා. AI සින්දුවක් උත්සාහ කරලා බලන්න. ආසා හිතෙයි.
• චමිඳු නිසල් ද සිල්වා