2024 ජුලි 27 වන සෙනසුරාදා

ඔයා නේද කිරිනෝනි අහද්දි සතුටේ බෑ - SILINDU RANWALA

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 57

සිළිඳු... මේ දිනවල චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කරන "වියළි" ටෙලිනාට්‍ය ඔස්සේ බොහෝ දෙනා ඔබව හඳුනනවා. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද?

"වියළි" ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ චන්දන ඉරුගල්බණ්ඩාර අයියා තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ. ඒ වන විට මම රඟපෑ වේදිකා නාට්‍ය කිහිපයක්ම ඔහු නරඹලා තිබුණා. චන්දන අයියා බොහෝ වේදිකා නාට්‍ය නරඹපු කෙනෙක්. ඒ වගේම ඔහු චානුක අයියාගේත් හොඳ යාළුවෙක්. ඒ ඔස්සේ ඔහු මම දායක වෙන වේදිකා නාට්‍යයක් නරඹලා මට මේ අවස්ථාව ලබා දුන්නා.

"වියළි" ටෙලිනාට්‍යයේ සිළිඳු රඟපාන චරිතය සමාජයේ ජීවත් වන සාමාන්‍ය චරිතයක් වුණාට ඒක ටිකක් රඟපාන්න අභියෝගයක් වුණු චරිතයක් නේද?

ඔව්... වියළි නාට්‍යයේ මම හරියට සීරුවට මාරුවට කරන්න ඕනෑ චරිතයක් තමයි රඟපාන්නේ. චරිතයට අවස්ථාව ලැබිලා ඒක රඟපාන්න කලින් මම ඔටිසම් තත්ත්වයේ චරිත රඟපාන සිනමා නිර්මාණ බොහොමයක් නැරඹුවා. ඒ විදිහට මම ඒ චරිතය ගැන ලොකු අධ්‍යයනයක් කළා. හැබැයි රූගත කිරීම් ආරම්භ කළාට පස්සේ මම ගොඩක්ම ඔටිසම් තත්ත්වයේ තියෙන චරිතයක් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ චන්දන අයියාගේ මඟපෙන්වීමට අනුව සීරුවට මාරුවට ඒ චරිතය වෙනස් විදියට හදා ගත්තා. වියළි නාට්‍යයේ මම "කිරිනෝනි" ගේ චරිතය තමයි රඟපාන්නේ.

කිරිනෝනි කියලා කියන්නේ හරිම සංවේදී, තමන්ගේ සහෝදරයාට අසීමිතව ආදරේ කරන චරිතයක්. අපි ඒ ගැන කතා කළොත්?

ඔව්... ඒ සංවේදීකම මට තදින්ම දැනෙනවා. ඒකට හේතුව වෙන්නේත් සැබෑ ජීවිතයේ මට සහෝදර සහෝදරියන් නැතිකමයි. ඒ නිසාම මට ඒක කරගන්න පුළුවන් වෙයිද කියන චකිතයක් මුලින්ම තිබුණා. හැබැයි මගේ අයියා විදිහට අකලංක (අකලංක ප්‍රභාශ්වර) රඟපාපු එක මට ලොකු සහයෝගයක් වුණා. අපි දෙන්නම වේදිකාවේ එකට රඟපාපු අයයි. මම පළවෙනි පාරට කරපු වේදිකා නාට්‍යයේ ඉඳන් මම අකාව දන්නවා. ඒ නිසා "වියළි" ටෙලිනාට්‍යයෙත් අපි දෙන්නා අපි දෙන්නට සහයෝගය ලබා දුන්නා. ඒ නිසාම ටෙලිනාට්‍යයේ කිරිනෝනිගෙයි කළුගෙයි ඒ සහෝදර බැඳීම ගොඩක් දෙනෙකුට දැනිලා තිබුණා.

කිරිනෝනි නිසා අද ලැබෙන ප්‍රතිචාරය ගැන ඔබට මොකද හිතෙන්නේ?

අද වෙද්දී වියළි ටෙලිනාට්‍ය නිසා බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාර ගැන ඇත්තටම හරි සතුටුයි. සමහරු මාව දැකලා ටික වෙලාවක් බලාගෙන ඉඳලා "ඔයා නේද කිරිනෝනි" කියලා ළඟට ඇවිත් කතා කරපු අවස්ථා ගොඩක් තිබුණා.

වියළි රූගත කිරීම් කරන්නේ කොළඹින් දුර ප්‍රදේශයකයි. ඒ ලබපු අත්දැකීම් කොහොමද?

ඔව්.. වියළි රූගත කිරීම් කරන්නේ තිස්සමහාරාම ප්‍රදේශයෙයි. වියළි ටෙලිනාට්‍යයේ මම වැඩිපුරම මාධනී මල්වත්ත අක්කා, සරත් කොතලාවල මාමා, අංජන ප්‍රේමරත්න අයියා සහ අකලංක එක්කයි රඟපාන්නේ. ඊට පස්සේ එස්. අයි. සමරක්කොඩි සහ තරින්දි අක්කා එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණා. කොළඹින් පිට වෙනත් පළාතකට ගිහින් කළාට රඟපාපු මුළු කණ්ඩායම වගේම නිෂ්පාදන අංශයෙනුත් අපිට උපරිම සහයෝගය සහ පහසුකම් ලබා දුන්නා. ඉතින් අපි රූගත කිරීම් කරද්දි රඟපාන දිහා බලන්න ඒ ගමේ මිනිස්සු ආවා. ඒ අය හරිම ආසාවෙන් අපි එක්ක කතා කළා. තිස්සමහාරාමයේ ඒ මිනිස්සු අපිට රූගත කිරීම්වලට අවශ්‍ය දේවල් බොහෝ කැමැත්තෙන් ලබා දුන්නා. එක වතාවක් රූගත කිරීම්වලට අවශ්‍ය වුණු කැවුම්, වැලිතලප, ඒ අය හදලා අපිට ගෙනත් දුන්නා. ඇත්තටම ඒ මිනිස්සු හරිම ආදරණීය මිනිස්සු.

කළුගෙ පැල ගිනි ගනිද්දි සිළිඳුත් ළඟ හිටියද?

ඇත්තම කිව්වොත් ඒ වෙලාවේ නම් අපි ළඟ හිටියේ නැහැ. ඒ කොටස රූගත කිරීම්වලට යෙදිලා තිබුණේ නැති නිසා අපි එතැන හිටියේ නැහැ. ඒ නිසා ඒ ගින්න අපිට දැකගන්න ලැබුණේ නැහැ. හැබැයි ඊළඟ දවසෙත් ඒ විදිහටම පැලක් හදලා තිබුණා. මේකේ මුල් කොටස් රූගත කිරීම් කළේ මීට වසර තුනකට පෙරයි. ඊට පස්සේ තමයි ආයෙත් ඉතිරි කොටස් රූගත කිරීම් කළේ.

වසර තුනකට පෙර "කිරිනෝනි" විදිහට රංගනයෙන් දායක වුණු ඒ කිරිනෝනිව අද පුංචි තිරයෙන් දකිද්දී සිළිඳුට මොකද හිතෙන්නේ?

අපි අවුරුදු තුනකට කලින් "වියළි" ටෙලිනාට්‍යයේ මුල් කොටස් රූගත කිරීම් කළා. ඒක විකාශනය වෙන අතරතුරේදී තමයි අපි ඊළඟ කොටස් නැවත රූගත කිරීම් කළේ. ඉතින් පරණ කොටස් දකිද්දී මගේ අඩුපාඩු, "මෙතැනදී මීට වඩා මට කරන්න තිබුණා" කියලා හිතෙන තැන් තිබුණා. ඒවා ගැන මම අකා එක්කත් කතා කළා. ඒ අවුරුදු තුන අතරතුරේදී මට වේදිකාවේ වගේම කෙටි චිත්‍රපට කිහිපයකටම දායක වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිසාම වියළි ඊළඟ කොටස් රූගත කිරීම් කරද්දී ඒ අඩුපාඩුකම් හදාගෙන මට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ නිසා "කිරිනෝනගේ චරිතය දෙවැනි අදියර පෙර අදියරට වඩා හොඳින් කරන්න අවස්ථාව ලැබුණා.

"වියළි"වලට අමතරව ඔබ දායක වෙන වෙනත් නිර්මාණ මොනවාද?

මේ දිනවල 2023 අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය විදියට සම්මාන ලැබූ චාලක රණසූරියගේ "සඳුදා වැටෙන්නේ සිකුරාදාට" වේදිකා නාට්‍යටත් "මාරක ළිඳේ සවාරියක්" වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. සචිනි අප්සරා නම් අධ්‍යක්ෂවරියගේ "හයිනා Town" වේදිකා නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම ජයප්‍රකාශ් සිවගුරුනාදන් මාමාගේ අලුත් ටෙලිනාට්‍යයකටත් සම්බන්ධ වුණා.

වෘත්තියෙන් සිළිඳු කවුද?

රංගනයට අමතරව මම වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා.

ප්‍රවීණ කලාවේදිනියක් වන වසන්ති රන්වල ඔබගේ මවයි. ඇගෙන් ඔබගේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?

අම්මගෙන් මට කලා කටයුතුවලට ලැබෙන ලොකුම සහයෝගය තමයි මට ලබා දෙන නිදහස. හොඳ කලා කටයුත්තක් මමම තෝරාගෙන ඒක මට ඕනෑ විදියට කරගෙන යන්න අම්මා ලොකු නිදහසක් දීලා තියෙනවා. හැබැයි මට ලිහාගන්න බැරි අමාරු චරිතයකදී අම්මා මට උදව් කරනවා.

• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ