2024 ජුලි 27 වන සෙනසුරාදා

හුස්මක් දිදී රැකගත් දම් පාට ආදරයක හදගැස්ම මන්දාරා

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 80

විස්මයක් නොවේමැයි...
අහම්බයක් නොවේමැයි...
හමුවීම්...

එහෙයින්ම හුස්මක් දිදී රැකගත් හදගැස්මක් සදිසි ප්‍රේම පුරාණයන්හි මතක ශේෂ එක් භවයක සමාප්තියෙන් ශේෂ නොවී සපැමිණෙන සේ හැඟේ.. සපැමිණෙන සේ දැනේ... සංසාර වීදියෙන් විදීයට ජීවිතයේ පාර දිග.
අහන්න... සිනමාමය අස්නක් ලෙසින් මන්දාරා නමින් දිගහැරුණේත් එවන් ප්‍රේමණීය බැඳීම් සමුදායක ආත්මීය ආලවන්ත කතාන්දරයකි.

ජීවිතය යනු නිර්වචනයන් තුළ පසිඳිය නොහැකි අමුතුම චිත්‍රණයකි. එය මත පතිතව ඇති නිශ්චිත නිශ්චිතය මරණයේ කළු පාට සෙවණැල්ලයි. ගන්න හුස්මක් හුස්මක් ගාණේ මරණයේ කළුවන් ජායා මාත්‍ර රුඳී පවතී. එහෙත් ඒ කළු සෙවණැලි මඟහැර ජීවිතය මත වෛවර්ණ වර්ණ පදාස තවරමින් නැවත නැවතත් ජීවිතයම සිප ගනිමින්, වැරෙන් අල්ලා ගනිමින් ආලවන්ත හුස්මක් වෙනුවෙන් අපි ප්‍රේමණීය බැඳීම් සොයන්නෙමු. හමුවීම් ප්‍රාර්ථනා කරන්නෙමු. කිසිදු අත් භවයක මඟ නොහැරුණායැයි දැනෙන සිතෙන සංසාර ස්නේහයන් සේ හැඟෙන බැඳීම් හමුවේවායි ප්‍රාර්ථනා පහන් දල්වන්නෙමු. ඉඳින් කිසිවක් කිසිවිටෙකත් අහම්බකාරක නොවේයැයි දැනෙන සංසාර සුවිසැරිය සරා අපි විවිධ ස්වරෑපයන්ගෙන් ප්‍රේමණීය හමුවීම් විඳින්නෙමු. ඒ ප්‍රේමණීය හමුවීම් තුළ හිමි - අහිමි - වේදනාත්මක සම්මිශ්‍රණයන් උරුම සේ සොයන්නෙමු. 

මන්දාරා යනු ඒ සියල්ලෙහි අපූර්ව සිනමාමය තෙම්පරාදුවකි. ප්‍රේමය ප්‍රේමයෙන්ම අත්හරින්නට, ප්‍රේමය අතැර 
හුදෙකලාව තුළ සැනහෙන්නට, ප්‍රේමයේ මතක මාත්‍ර පපුවටම තුරුලු කරගෙන 

මතක අස නිවෙන්නට 
නිවි නිවී දැවෙන්නට
දැවි දැවී නිවෙන්නට

මන්දාරා සිනමාමය අක්ෂර ඔස්සේ කියා දෙයි.

ප්‍රියන්ත කොළඹගේ යනු ඉසියුම්ම මනෝභාවයන් මනෝරම්‍ය පෙරහන්කඩකින් පෙරා වත්කර දුක සතුට වේදනාව ආදී මනුෂ්‍ය සිතක උපදින සියලුම චිත්තවේගයන් සිනමාමය කැන්වසයක් මත සීරුවෙන් ඉවසිල්ලෙන් බිඳෙන් බිඳ අමුණාලන මා හඳුනාගත් විචිත්‍රවත්ම සිනමාවේදියෙකි. ප්‍රියන්තටම අනන්‍ය ඒ සිනමාමය නැලවිල්ල තුළ හැඟුම් ඕවිල්ලක ප්‍රේක්ෂකයා හඬවමින් නලවන, නලවමින් හඬවන වේදයක් සිනමාව ඔස්සේ තිරය මත හේ පතිත කරවයි. මන්දාරා යනු ඒ උදෙසා ආසන්නතම සාක්ෂියයි.

දුටු-නුදුටු ඕනෑම හමුවීමක් යම් දිනෙක බැඳීමක් ප්‍රේමයක් නොඑසේනම් ආදරයක් බවට පරිවර්තනය වීමේ සම්භාවිතාවක් පවතී. ඉතින් එවන් හමුවීමක් - ඒ හමුවීමෙන් ඉනික්බිති  ප්‍රේමණීය ප්‍රේමයක දලු ලෑමක්... අවසන දලු ලෑ පැලයක් මහ ගසක් බවට පත් වී දිනෙක ඇය ඔහු අස පාද පරිචාරිකාව යැයි නම් ලද සඳ ගලා ගිය ඒ ජීවනයන් තවත් සාර සුබාවට සරසවන්නට එක්වූ දෑ මනරම් සේම වේදනාත්මක ද විය. 

ජීවිතයේ කවුළු පියන්පත් හැර බලාපොරොත්තුව, සතුට, ආදරය සහ ප්‍රේමය පමණක් පැමිණෙතැයි සියක් දහසක් ප්‍රාර්ථනා පාරමී දරාගෙන බලාගෙන සිටියත් කවුළු දොරින් සපැමිණෙන්නේ ජීවිතය නිවා සනසන සෞන්දර්යාතාමක සිහිල් සුළං පමණක් නොවේ. නොහිතන, හීනෙකින් වුව නොපතන මහා මාරුත, චණ්ඩ සුළි සුළං අසෙනි මහ වැහි ජීවිතයේ ද්වාරයන් අනවසරයෙන් හැරගෙන පැමිණෙයි. අවසඟව යා නොහැකි නියතත්වය එයම වී නම් ජීවිතය යනු කිසිදු තත්ත්පරයක සාර සුබාවට මෝරන තල මල සේම සාර සුබාවෙන් සැරසෙන සුබ සිහිනයක් නොවේ. එහෙත් සොබාදහම තුළ නොපෙනෙන තැනක හිඳ බලා සිටින දෙවියන් වහන්සේ වරෙක ජීවිතය වෙනුවෙන් ප්‍රදානය කරන තීන්දු තීරණ මොන තරම් නම් දෛවෝපගත දැයි සිතේ. මන්දාරා යනු ප්‍රේමයේත් ජීවිතයේත් ඒ අනේක විධ දිශානතින් තුළ දිව යන ඉතා සංවේදී කතාන්දරයකි.

අම්මාගේත් තාත්තාගේත් ආදරය රැකවරණය අහිමිවන දරුවෙකුගේ හදවතක ඇතිවන හිස්තැන්, පාළුවේ දිගු කතන්දර, වචන නැති සල්ලාප ඔබ දන්නවාද? ජීවිතය අත් නොහැර අවැසි ජීවිතය සොයා යන්නට එවන් දරුවෙකු මහ පොළොවේ අනේක ගිරි දුර්ග පසු කරමින් වේදනාත්මක වේදනාවන් උසුලා දරා ගනිමින් යන රැදුරු ගමන් අවසන ජීවිතය දිනන තැන් උදෙසා ඇත්ත කතාන්දර මේ ලෝකයේ බොහෝ හමුවෙත්. එහෙත් ප්‍රේමය අවැසි තැන ප්‍රේමය මඟහැරෙද්දී... ළය ලෙය කිරට හරවන උණුසුමක හදගැස්ම හදවතින් දුරස් වෙද්දී

අවැසි වැසි නොවැසි සඳ
නොවැසි වැසි අවැසි සඳ

පපුවේ ගැඹුරටම දැනුණ රිදුම්, හිස්තැන් රෝස මලක නටුවක් මත රැඳුණු කටුවක් මෙන් රිදෙන්නම ඇනෙයි. ඇනි ඇනී හදවතෙහි සියුම් තැන් ඉසියුම්ම ලෙස පාරවයි. ප්‍රේමයේ මුල් සිඳී ගිය දවසක සංසාරය භවයෙන් භවය ගැටගසන සංසාර හුයක අක්මුල් සියල්ලද බිඳී යතැයි සිතේ. ප්‍රේමය යනු එවන් මහා බලගතු මන්ත්‍රයකි. ඒ මන්ත්‍රය ප්‍රේමයෙන් ජප කරන්නට ජප කරන්නට ජීවිතය ආශිර්වාදයෙන් බල ගැන්වෙයි. 

දැනෙන ආදරය සහ අවැසි ආදරය සොයන දරුවකුගේ කතාන්දරයත්.. ආදරය ආදරය වෙසින් නොහඳුනන මෘග මිනිසෙකුගේ සෙවණැල්ලක භයංකාරත්වයත්... පාදඩ මනෝභාවයන් ආදරයේ ශ්වේත ඇතිරිලි මත කළු තිත් අතුරාලන සම්ප්‍රදායන්හි හැඩරුවත් විවිධ ස්වරූපයන්ගෙන් මන්දාරා තුළ විහිද පවතී.

මන්දාරා සිනමා වියමන ගෙත්තම් කරද්දී නොබිඳෙන සිනමාත්මක හුයක් රෑප රාමුවෙන් රූප රාමුවට දවටන්නට ප්‍රියන්ත කොළඹගේ සමත් වූයෙන් ඒකාත්මික රිද්මයක් කුතුහලය හා සම්මිශ්‍රණය වී සිනමා කාව්‍ය පුරාම ගලා යන සෙයක් දිස් වේ. විශ්ව සහ මන්දාරාගේ ආදර කතන්දරය, ඒ ආදරයේ සොඳුරුතම ඵලය යශෝරා... වෙන්වීම්, අතරමං වීම්, නැවත හමුවීම් අතරෙහි විවිධ ජීවන සංසිද්ධීන් ඔස්සේ ජීවන ගඟ ගලා යද්දී ගං දෑල ශේෂිත මතක මහ සමුදා මැද ගලා යන මන්දාරා කාව්‍යාත්මක සිනමා සිත්තම රංගනයෙන් වර්ණ ගන්වන්නට චාන්දනී සෙෙනවිරත්න, ලක්ෂ්මන් මෙන්ඩිස්, බිමල් ජයකොඩි, චුලක්ෂි රණතුංග, මේඝ සූරියආරච්චි, සහේලි සිදත්මා සතරසිංහ, දිනක්ෂි ප්‍රියසාද්, සේමිණී ඉද්දමල්ගොඩ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ප්‍රියංකර රත්නායක ආදී නළු නිළි කැළක්ම පේවී සිටියහ. කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කොස්තා, සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත ආදී ශිල්පීන් රුසක් මන්දාරා තිරය පිටුපස මෙහෙවරෙහි සිටියත් ඒ නම් සමුදාය මාගලක් සේ දිගු වන හෙයින් නමින් නම නොලියා මන්දාරා සරසන්නට තේ කෝප්පය සෑදූ පුද්ගලයාගේ සිට සැම දෙනාටම හදවතින්ම ස්තූතියි කියමු.

විප්‍ර​යෝගය සඳහා හෝරාව පැමිණෙන තෙක්ම ප්‍රේමය ස්වකීය බන්ධනයේ ගැඹුර නොහඳුනන්නේය. ඛලීල් ජිබ්රාන් එසේ පැවසුවේය.

සැබවින්ම....
ප්‍රේමය ප්‍රේමණීය වන තරමටම දිව්‍යමය දිශානතියකට සේන්දු වෙයි. එහෙයින්ම එය ශ්‍රේෂ්ඨ වෙයි... 

චමත්කාරයේ ළදළු නැටවෙන ජීවිතයේ සුබ උදෑසනකට පෙරනිමිති වගුරුවන මතක වැස්සක් වෙසින් ප්‍රේමය ජීවිතය මත ඇද හැලෙද්දී ලෞකිකත්වය තුළ නිර්වාණය නිසැකයෙන්ම මුණගැසේ. සියලු යස ඉසුරු රැඳුණු නවාතැන් ජීවිතයේ හමුවන්නේ එවන් ප්‍රේමණීය සඳළුතල ඉස්මත්තේය.

මන්දාරා එවන් ඉසව්වකට අප කැටුව යයි.. එහෙයින්ම ඒ සිනමාමය රසාස්වාදය ඔබ මන්දාරා අස නැවතී විඳිය යුතුම යැයි මට සිතේ.

• සංජීවිකා සමරතුංග