2024 ජුලි 27 වන සෙනසුරාදා

මම මාව අත්හරින්නෙ නෑ මට දැනෙන දෙයට තමයි මං ආදරය කරන්නේ

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:01 132

හම්දුම්මා නමින් හදවතේ ජීවත් වුණු ඔබ දැන් මන්දාරා නමින් ආයෙත් අලුත් විදිහකට හදවතේ ජීවත් වෙන්න අරන්. මම එහෙම ඔබට කියන්නෙ මමත් චුලක්ෂි රණතුංග කියන වෙනස්ම ලස්සනක් තියෙන රංගනය තුළ ඕනෑම චරිතයක් එක්ක ආත්මීය ආලයකින් හුස්මක් ගන්න නිළියගෙ ප්‍රේක්ෂකයෙක් විදිහට. මන්දාරා ඔබට දැනෙන්නෙ කොහොමද? 

ප්‍රියන්ත කොළඹගේ යන සිනමාවේදියා නිර්මාණය කළ මන්දාරා බලපු හුඟාක් අය ඇත්තටම හැමෝම වගේ මට හොඳ ප්‍රතිචාර දෙනවා. ඒත් ඇත්තම කතාව මම තාම මන්දාරා බැලුවෙ නෑ. (අප කතා කළ 24-07-22 වෙනතුරු ඇය මන්දාරා නරඹා නැතත් පුවත්පත ප්‍රකාශයට පත්වන විට ඇය. මන්දාරා නරඹා තිබෙන්නට පුළුවන.) ඇත්තටම චිත්‍රපටය බලනකම් මන්දාරා තුළ මම සාර්ථකද කියන එක මට දැනෙනකම් මගේ හිතේ යම් තිගැස්මක් තියෙනවා. විජයබා කොල්ලය චිත්‍රපටයේ හම්දුම්මා චරිතයට මිනිස්සු කොච්චර කැමති වුණාද කියනවා නම් මගේ ආදරණීය බොහෝ ප්‍රේක්ෂකයන් මට ඒ නමින් අදටත් කතා කරනවා. මම ඇත්තටම මම තෝරගන්න චිත්‍රපටයක චරිතය වෙනුවෙන් මට කළ හැකි උපරිම සාධාරණත්වය උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන නිළියක්. 

ඔබ හැමදාමත් වෙනස් නොවෙන විදිහකට ඔබේ සුන්දරත්වය සහ හැකියාව නඩත්තු කරන කෙනෙක් විදිහටයි මම දකින්නෙ. ඇත්තටම මේ සුන්දරත්වයේත් දක්ෂතාවයේත් සැඟවිච්ච රහස් මොනවද?

මම මාව නිවැරදි විදිහට නඩත්තු කරගන්න හුඟක් මහන්සිවෙන කෙනෙක්. කෙනෙක්ට පිටින් බලපුවාම පේන්නෙ නැති තරමට මම මාව හරි විදිහට නඩත්තු කරන්න පුදුම මහන්සියක් ගන්නවා. මම ව්‍යායාම ගැන වගේම සුන්දරත්වය ගැන හිතද්දි ශරීරයට ගුණ දේවල් හොය හොයා කන කෙනෙක්. කටට කිසිම රහක් නැතත් ඇඟට ගුණ නම් ඒ දේවල් මම හරි කැමැත්තෙන් කනවා. මට මාව කොතැනකදි හරි අත්හැරුණොත් මට හුඟාක් දේවල් අහිමි වෙන්න පුළුවන් කියන එක මම දන්නවා. පෞද්ගලික කඩා වැටීම් මගේ ජීවිතෙත් මට තිබුණා. ඒත් මම හැමතිස්සෙම හිතුවෙ මම මාව ගොඩනගා ගත්තෙ හුඟාක් මහන්සියෙන් නම් මම මාව පවත්වාගෙනත් යා යුතුයි කියන එක. ඕනෑම දෙයක් එක මොහොතින් විනාශ වෙන්න පුළුවන්. ඇත්තටම දෙයක් ගොඩනගා ගැනීමට වඩා අමාරු වෙන්නෙ ඒ දෙය නිවැරදිම විදිහට පවත්වාගෙන යන්නයි. මම මගේ ජීවිතයට මට සහ මගේ වෘත්තියට හරි ආදරෙයි. ජීවිතේ සමහර තැන්වලදි අදටත් up and down වෙන තැන් තියෙනවා. ඒත් කිසිම වෙලාවක මම මාව අත්හරින්න ලෑස්ති නෑ. 

ජීවිතයේ ලැබිච්ච ඍණාත්මක අත්දැකීම් කොහොමද ඔබ ඔබ වෙනුවෙන් ධනාත්මක ජීවන පාඩම් බවට පත්කර ගත්තෙ?

පුංචි කාලෙ ඉඳන්ම සමාජයත් එක්ක ජීවත් වෙද්දි ඍණාත්මක අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒත් මම හැමතිස්සෙම මට අවශ්‍ය දේම කරන කෙනෙක්. ඒක කෙනෙක්ට හිතුවක්කාරකමක් විදිහට පේන්නත් පුළුවන්. ඒත් මම මගේ හෘද සාක්ෂියට එකඟව හැමවිටම මම මම වෙන්නම උත්සාහ කරපු කෙනෙක්. මානසික නිරෝගිතාවය කියන්නෙ හරිම වැදගත් දෙයක්. සුන්දරත්වය පවත්වා ගන්න වගේම කායිකව නිරෝගී වෙන්නත් හැමවිටම නිර්මාණශීලීව යමක් හිතන්නත් තමන්ට අවශ්‍ය ගමන සාර්ථකව යන්නත් මානසික නිරෝගී බව හරිම වැදගත්. 

ගැහැනියක් යම් වයස් සීමාවකදි විවාහ විය යුතුයි. බිරිඳක් විය යුතුයි, දරුවන් ලැබිය යුතුයි යන සාම්ප්‍රදායික සමාජ ආකල්පයට ඔබ දෙන උත්තරය කුමක්ද?

මම වයස ඉලක්කම්වලින් තීරණය කරන කෙනෙක් නෙවෙයි. මම වයස තීරණය කරන්නෙ මගේ හිතුවිලි අනුව. හිතුවිලි තරුණ නම් හැමදාම අපි තරුණයි. ඇත්තටම ඕනෑම මනුස්සයෙක් තමන්ට අවශ්‍ය තීරණය ගන්න ඕනෑ තමන්ගෙ බාහිර පරිසරයට අනුව නෙවෙයි. විවාහ වෙනවා නම් මවක් වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් කෙනෙක්ට ආදරය කරනවා නම් තමන් ඒ දේවල් තෝරාගත යුත්තේ තමන්ට දැනෙන දේ අනුව මිසක් තව කෙනෙක්ගෙ බලපෑමකට නෙවෙයි. මමත් මගේ හදවතට ඒ ජීවිතයක වුවමනාව දැනුණම ඒ දේවල් ගැන හිතයි. එහෙම නැතුව සම්ප්‍රදායකට අනුව ජීවිතේ තීරණ ගන්න කොහොමත් අවශ්‍ය නෑ. බැඳීම් ඇතිකර ගන්න ඕනෑ ආදරය කරන්න ඕනෑ හදවතට දැනෙන තැනකදි දැනෙන දේ අනුවයි. 

බැඳීම් ඇතිවෙන්න ඇතිවෙන්න ජීවිතේ රිදුම් වැඩි වෙනවා කියලා හිතෙන්නෙ නැද්ද?

ඇත්තටම බැඳීම් වැඩි වෙන්න වැඩි වෙන්න ඒක එක්තරා මානසික ආතතියක් තමයි. ඒ නිසා ජීවිතේ අවශ්‍යම දෙයක් තමයි හරි විදිහට බැඳීම් කළමනාකරණය කරන එක. ඕනෑම දෙයක් ඕනෑම මොහොතක වෙනස් වෙන්න පුළුවන් කියන යථාර්ථය හඳුනගෙන අත්හරින්න වෙන වෙලාවක අත්හරින්න මනස සූදානම් කරගෙන බැඳීම් ඇති කරගන්න එක තමයි හොඳම දේ. 

රංගන ශිල්පියෙකුට, නැත්නම් ඕනෑම කලාවේදියෙකුට කලාව තුළ කවදාවත් අවසන් වශයෙන් තෘප්තිමත් වෙන්න පුළුවන්ද?

ඇත්තටම බෑ. මනුෂ්‍යයන් විදිහට ගත්තත් මිනිස්සුන්ගෙ තෘප්තිමත් වීමේ කෙළවරක් නෑ. නිළියක් විදිහට මොන තරම් චරිත කළත් තව තව බලාපොරොත්තු හිතේ ඇතිවෙනවා, ආසාව හිතේ ඇතිවෙනවා, මේ - මේ වගේ චරිත කරන්න තිබුණා නම් කියලා හිතෙනවා. මම ආදරවන්තියගෙ, බිරිඳගෙ, මවගෙ, මේ ආදී චරිත කරලා තිබුණට තවම හාස්‍ය උපද්දන චිත්‍රපටයක වැඩ කරලා නෑ. ඉතින් මම ඒකටත් ආසයි. ඇත්තටම කවදාවත් කලාව තුළ දැන් මම තෘප්තිමත් කියලා අවසානෙකට නම් ළඟා වෙන්න බෑ.

චුලක්ෂිට ඇයි මේ තරම් මිනිස්සු ආදරේ? ඇත්තටම ඒ විදිහට ඒ තරමට ප්‍රේක්ෂකයන් ඔබට ආදරෙයි කියන එක ඔබට දැනිලා තියෙනවද?

ඔව් ඒ ආදරය මට දැනෙනවා. මම සැබැවින්ම මගේ ප්‍රේක්ෂකයන්ට ආදරය කරන කෙනෙක්. මොකද අවංකවම කියනවා නම් ඒ ආදරයත් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න අපිට පුදුමාකාර ආශිර්වාදයක්. කලාකරුවෙක් කියන්නෙ තරුවක් කියලා හිතාගෙන මිනිස්සුන්ට සමීප නොවී වෙනම තලයක ඉන්න කොහොමත් හොඳ නෑ. කලාකරුවෙක් කියන්නෙ තරුවක් තමයි. ඒත් ඒ තරු ගුණය ඇතුළෙ ආදරණීයත්වය, කෘතවේදීත්වය හැමදේම තියෙන්න ඕනෑ. ඉන්දියාව වැනි කලාව දැවැන්ත කර්මාන්තයක් වුණු රටක කලාකරුවන්ට ඒ විදිහට ප්‍රේක්ෂකයන්ට ළං වෙන එක ප්‍රායෝගිකව අසීරු වෙන්න පුළුවන්. ඒත් ලංකාවෙ තත්ත්වය ඊට වෙනස්. මටත් පෞද්ගලිකත්වයක් තියෙනවා. ඒ පෞද්ගලිකත්වය රැකගෙන ඕනෑ කෙනෙක් එක්ක කතා කරන්න, පින්තූරයක් ගන්න කතා කළොත් පින්තූරයක් ගන්න යන්න මම හරි ආසයි. අපට ආදරය කරන දේට අපිත් ආදරය කළොත් තමා ඒ ආදරය හැමදාමත් ආශිර්වාදයක් විදිහට අපට ලැබෙන්නෙ.

• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ

Hair & Makeup I
Asanka Weerasekara
Aweera Hair & Beauty