ජූලි 30 වැනිදා පැවැත්වූ ඩබ්ලිව්. ජයසිරි උපහාර උළෙලට මල් මිටක්!
නිර්මාණ කාර්යයෙහිලා තමා නොවන වෙනත් මිනිසෙකුට උපත ලබාදී ඇසිල්ලක හෝ ඔහුට ජීවිතය ද ලබාදීමට හැක්කේ රංගධරයකුට පමණි. ලෝකය සහ ලෝකයා දෙස සියුම්ව බලා කියවා රංගධරයන් විසින් ප්‍රතිනිර්මාණය කරන චරිත කොතරම් ප්‍රබල වීද යත්, ඇතැම් තැනකදී රංගධරයන්ගේ සැබෑ චරිත ද එම කඩතුරාවෙන් වැසී යයි.
අප තිරය ඈත් මෑත්කොට එබී බැලීමට සූදානම් වන්නේ ශ්‍රී ලාංකික චලන රූපණ කලාවේ සුවිශේෂී රංග පෞරුෂයක් පිළිබඳවය. ඔහු නමින් ජ්‍යෙෂ්ඨ රංගධර ඩව්ලිව්. ජයසිරිය. ශ්‍රී ලාංකික කලාවේ පෙරළිකාර චරිතයක් වූ ඩව්ලිව්. ජයසිරි නම් රංගධරයා පිළිබඳ සංවාදයට උචිත මොහොතක් එළැඹ ඇතැයි අපට හැඟෙන්නේ සහේතුකවය. මේ දන්නා මිනිසෙකුගේ නොදන්නා කතාවයි.
තිරයෙන් එපිටට සහ මෙපිටට ඇවිද යමින් මෙම සටහන ලියා තැබිය යුතුය. 1965 වසරේ දිනක පුවත්පතක ගාල්ල දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් අතරේ ඩබ්ලිව්. ජයසිරි නාමය සටහන්ව තිබුණි. ජයසිරි තරුණයා හනික දිව ගියේ උදෑසන රැකියාව බලා පිටත්ව ගිය සිය පියාට මෙම පුවත දන්වා සිටිනු රිසියෙනි. තමා විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වූ බව සිය පියාට දන්වා සිටි ඩව්ලිව්. ජයසිරිට ලැබුණේ අපූරු ප්‍රතිචාරයකි.
“ඉතින් මට මොනවද කියන්නේ?”
එම ප්‍රතිචාරය ලැබුණේ පියාගෙනි. 60 දශකයේ ඇඳුම් මසන්නෙකුව දිවි සරිකරගත් ඩබ්ලිව්. ජයසිරිගේ පියා තුළ පවා මේ අපූරු ගෝලාකාර බෝලාකාර මිනිසා පිළිබඳ අවබෝධයක් නොවීය. එහෙත් ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් සරසවි ප්‍රවේශය සමත් වූ ජයසිරි තරුණයාගේ ගමනාන්තය ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපය විය.
දේශපාලනය ඇසුරේ පවුල් ආභාෂයෙන් දක්ෂිණාංශික අදහස් තිබුණද, කොලොම්පුරය බලා පැමිණි ජයසිරි තරුණයා ලැගුම්ගත්තේ දේශපාලනික වශයෙන් වම් ඉවුරේය.. ශ්‍රී ලාංකික කලාවේ යුගකාරක මිනිසුන් වූ සුගතපාල ද සිල්වා, ධර්මසිරි පතිරාජ වැනි චරිත ජයසිරි තරුණයාට ඇසුරු කරන්නට ලැබුණේ කොළඹ ගමනේ ප්‍රතිඵලයක් ලෙසිනි.
විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ජයසිරි හට සුගතපාල ද සිල්වා හමුවූයේ ඩබ්ලිව් ජයසිරි සංගමයේ කටයුතු අතරේය. පළමු හමුවීමම මධුවිත සාදයකින් කෙළවර වී ළබැඳි බිතුදමක් සුගතපාල ද සිල්වා සමඟ ඇතිකර ගැනීමට ජයසිරි සමත් විය. එය කොතරම් කුළුපග මිතුදමක් වීද යත්, හරිම බඩු හයක් නම් සලකුණුගත වේදිකා නාට්‍ය නිර්මාණයේ දෙවැනි නිෂ්පාදනයේ චරිතයක් සඳහා පණ පොවන්නට ඩබ්ලිව් ජයසිරි සමත් වූයේය.
විශ්වවිද්‍යාලයේ කෙළවරක කුඩා පෙට්ටි කඩයක දුම්වැටියක් දල්වන අතරේ ජයසිරි හට හමුවුණු මිතුරා ධර්මසේන පතිරාජ විය. පතීගේ මිතුදම ජයසිරි නම් රංගධරයා හා බිහිවීම විෂයේ බලපෑම් සහගත විය. ධර්මසිරි පතිරාජ නම් සිනමාධරයා බිහිවීමට ඉක්බිති ජයසිරි සහ ඔහු ළබැඳි මිතුරෝ වූහ. මරදානේ නවාතැනක එක්ව විසූ මේ අපූරු මිතුරු හවුලේ තවත් කිහිප දෙනෙකු වූ අතර, ශ්‍රී ලාංකික ඉතිහාසයේ සලකුණුගත කලාවේදියෙකු වන සයිමන් නවගත්තේගම ද මෙම රසවතුන්ගේ හවුලේම සාමාජිකයෙකු වීම මවිතය දනවන කරුණකි.
ඩව්ලිව්. ජයසිරි නම් අපූරු මිනිසාගේ චරිතය එකම ධාරාවක ගලා යාමට ඉඩ දීම යුක්තියුක්ත නොවේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවයට එක්වීම ඔහුගේ ජීවිතයේ තවත් එක් සුවිශේෂී පරිච්ඡේදයක් සටහන් කළේය. කලක තමන්ගේ ගුරුවරයා වූ මහාචාර්ය ගම්ලත් ඇතුළු කොට තිලක් සුධර්මන් ද සිල්වා, එඩ්වින් ආරියදාස ආදී මහා පෞරුෂයක් සමීපව ඇසුරු කිරීමට ජයසිරිට අවස්ථාව උදා වූයේ ගුවන්විදුලිය හේතු කොටගෙනය. ගුවන්විදුලියේ රූපණ, එකල ජනාදරයට පත්වූ වැඩසටහන තුළ ද පිටපත් ඇතුළු කොට රූපණ කාර්යය පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයකට ජයසිරි හට අවකාශය උදා වූයේය.
සුගතපාල ද සිල්වාගේ නාට්‍ය නිර්මාණවල නළුවෙකු බවට පත්වෙමින් කරළියට පැමිණි ජයසිරි තරුණයා ධර්මසේන පතිරාජගේ සිනමාවතරණයේ සමීපතමයෙකුගේ භූමිකාවක් රඟ දැක්වීය. ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව නිර්මාණය සඳහා තිරයෙන් මෙපිට දායකත්වයක් සැපයූ ජයසිරි, එයා දැන් ලොකු ළමයෙක්, නිර්මාණය සඳහා දායකත්වය එකතු කළේ රංගධරයකු ලෙසිනි. බඹරු ඇවිත් සිනමා නිර්මාණය සඳහා ගී පද රචකයෙකු ලෙසින් දායකත්වය සැපයීමටද ඩබ්ලිව්. ජයසිරි නම් සොඳුරු මිනිසා වාසනා වරම් ලද්දේ ධර්මසේන පතිරාජගේ ඇසුරේය.
මධුවිත සාදය පමා කොට කාමරයකට දමා දොර වසා, ගීතය ලියා නිමවනතුරු එයින් නික්මෙන්නට අවසර නොදුන්නේ පතී බව ජයසිරි නොයෙක් වර පවසා තිබිණි. පතී සමඟින් ඓතිහාසික නිර්මාණ කිහිපයක් සඳහාම දායකත්වය සැපයීමට ඩබ්ලිව්. ජයසිරි වාසනා වරම් ලද්දේය. සොල්දාදු උන්නැහේ, පාර දිගේ ඒ අතරින් මෙහි සලකුණු කොට තැබිය යුතු නිර්මාණයි. ජයසිරිගේ කඳුළු කවරක් වෙතත් මෙම නිර්මාණ සමඟ ඔහුගේ දහඩිය මහන්සිය ජීවිතයේ තදින් බැඳී ඇති බව මෙහිලා ලියා තැබිය යුතුමය. එදා ප්‍රේක්ෂක අවධානය ප්‍රමාණවත් පරිදි නොලැබුණත් අද ද සිනමා විචාරකයන් කතාබහ කරන සොල්දාදු උන්නැහේ ඒ අතරින් කැපීපෙනෙන නිර්මාණයකි.
එය නිර්මාණය කිරීම සඳහා එකල වූ සිනමාව සම්බන්ධ ණය යෝජනා ක්‍රමයකින් මුදල් ලැබුණද එය ප්‍රමාණවත් නොවූ බැවින් රසකාමී මිතුරන් ඒ වෙනුවෙන් මුදල් වැය කොට තිබිණි. අප කතානායක ඩබ්ලිව්. ජයසිරි ද ඒ අතරින් කෙනෙක් විය. එහෙත් මෙම ආයෝජනයේ ඔහුගේ ඉරණම බවට පත්වූයේ සියල්ල හැර දමා වසර කිහිපයක් අරාබිකරයේ රැකියාවක් සොයා නික්ම යාමයි. එයද මේ අපූරු මිනිසාගේ ජීවිතයේ සුවිශේෂී පරිච්ඡේදයකි.
ජයසිරිගේ ගුවන්විදුලි පරිච්ඡේදය ද දන්නා මිනිසෙකුගේ නොදන්නා කතාව සොයා යන ගමනේ දී මඟහැර යා නොහැකිය. වර්තමානිකයන්ගේ කලා ලෝකය විසින් පුරාවෘත්ත කොටගත් නිර්මාණවේදීන් රැසක් සමීපව ඇසුරු කරන්නට ජයසිරි හට අවකාශයේ උදාවූයේ ගුවන්විදුලිය සෙවණේය. වාම දේශපාලනය සඳහා ඔහුගේ තිබුණු ළැදියාව 71 කැරැල්ලත් සමඟ ජයසිරිගේ ගුවන්විදුලි පරිච්ඡේදය නිමා කිරීමට හේතු වූ බව පෙනී යයි.
හුදු රංග පෞරුෂයක් පමණක් දරා සිටින්නෙකු නොවන යුග කාරක මේ මිනිසාගේ සාහිත්‍ය ලෝකයද අපූරු එකක් බව කිව යුතුය. ඩබ්ලිව්. ජයසිරිගේ සාහිත්‍ය ලෝකයේ නිර්මාණ අතර කෙටිකතා සංග්‍රහ වන අතර, සිරිසේන තෙපානිස් සමඟ වැඩිහිටියන්ගේ කතා සහ දේශද්‍රෝහී බල්ලා මඟ හැර යා නොහැකි නිර්මාණය. කෙසේ වෙතත් මෑත කාලීනව වේදිකාව සිනමාව සමඟින් පුංචි තිරයද සම සේ අධික්‍රමණය කරන මේ අපූරු මිනිසා පිළිබඳව ප්‍රමාණවත් කියවීමක් ප්‍රේක්ෂකයන් සතු වී දැයි අපි නොදනිමු. ඒ පිළිබඳ උපන් සැකයෙන්ම මේ අල්පමාත්‍රික යුතුකම මෙහිලා ඉටුකර කර තබමු.
• චමිඳු නිසල් ද සිල්වා