ධාරා... සෙවූ විමුක්තිය සැබෑ විමුක්තියකින් ඇහැරවනු වස් හමුවීද දෙදෙනෙක්...
එදවසක... එක් තත්ත්පරයක - මහ වනයක් මැද...
අරණකට පෙම් බැඳ විමුක්තිය සොයා යන නිර්වාණයකට ප්‍රේමයේ අංශුමාත්‍රික අංශුමාත්රයත් විදාහල සැබෑ විමුක්තිකාමියකුට
හමුවීද ධාරා...
ලෙයට ලෙය ඉල්ලන රළු පරළු සන්නද්ධ අරගලයකින් සැබෑ විමුක්තිය මඟහැරුණු මානවිකාවක්!
ඇයට හමුවිය අල්ලා ගැනීම තුළ නොව අත්හැරීම තුළ විමුක්තිය සොයා යන සැබෑ විමුක්තිකාමියෙක්.
ඒ හමුවීම තෙක් එහාටත්
ඒ හමුවීම තෙක් මෙහාටත්
සිනමාමය ප්‍රස්තුතයක් කේන්ද්‍ර කරගත් සිනමාමය කවි සරණියයි!
ධාරා!
ධාරා අබිමුව පැතුමක් ඇහැරෙයි!
ඉඳින් නොකියා කෙලෙස
රජ කතා, මැර කතා, හිස් කතා, හෙළු කතා අතර සල්ලි විතරක්ම ඔව් විතරක්ම උපයන සිනමාවකින් එහාට සෞන්දර්යාත්මක විඥානයේ රස නහර අවුස්සන සිනමාමය වසත් සුළඟකට කවුළු පියන් පත් ඇරලනු පිණිස පපුවටම දැනෙන සිනමාවක් වියළි පොළොවකට අවැසි වී තිබේ. තෙතබරිත වස්සානයක් උදා කරලනු පිණිස එවන් සිනමාවක් අවැසි වී තිබේ.
ඔව්..
නොවැසි වැසි අවැසි සඳ
අවැසි වැසි නොවැසි සඳ...
එවන් ප්‍රාර්ථනාවක් අස
ධාරා යනු නොපැමිණි තත්ත්පරයක සපැමිණෙන සිනමාමය සුර දූතිකාවකැයි දැනෙනු පිණිස අනුරුද්ධ ජයසිංහ, Chris Joys ගේ සිට සුන්දර වස්තුව උමා අසේනි, විසල් දෑසින් සිනමාමය නිද්‍රාවකට ප්‍රේක්ෂකයා කැටුව යන්නට තරම් ප්‍රබල රංග විලාසයක් දෙවුර දරාගත් තුමිඳු දොඩන්තැන්න, ආත්මීය ආලයකින් ඕනෑම රංග භූමිකාවක් හා හුස්මක් ගන්නා ප්‍රියන්ත සිරිකුමාර ඇතුළු ධාරා ජීවයෙන් පුරවන හැමදෙනාටම මහා වගකීමක් ඇති වග ධාරා ඇරඹුමටත් පෙර මම ඔබ වෙත ස්නේහයෙන් ලියා තබමි.
ධාරා සුබ නැකත හා සතුට විඳගන්නට සපැමිණියේද එහෙයින්මය. ධාරා යනු සිංහල සිනමාවට චමත්කාරවත් චමත්කාරයක් තවරාණ වඩින දේවතාවියක් යැයි ඔබ නොකීවත් දැනුණු නිසාමය. ඉඳින් ඒ දැනීම දැනෙන්නට ඉඩ හැරීම, විඳින්නට ඉඩ හැරීම ඔබේ යුතුකමකි. ඒ යුතුකම සිනමාව වේදයක් ලෙස හදාරමින් සිනමාවේ සෞන්දර්යාත්මක අක්මුල් බොහෝ සේ සිඹ බැලූ අනුරුද්ධ ඔබ අතින් ගිලිහෙන්නට මගේ විශ්වාසයේ හැටියට හැටියක් නැත.
තාක්ෂණික ධනවාදයේ (Technological capitalism) රාමු ස්පර්ශයෙන් ඔබ්බට සීමාන්තික සීමා අතික්‍රමණය කරමින් සිනමාව නම් රූපකාරකය මහ පොළොවේත් මානව සංහතියේත් සියලු මුදුන් මුල් ස්පර්ශයෙන් එහාට ළය ලෙයට දැනෙන්නටම පපුවෙන්ම සිඹිය යුතුය. චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය පෙරාගත් තෝතැන්නයි. මානව සංහතියේ ඒ චමත්කාරවත් ඥානයට සිනමාව නම් ඉසියුම්ම ප්‍රවේශය ප්‍රබල ආමන්ත්‍රණයක් විය යුතුමය. මේ වියළි පොළොවේ නොවන්නේද එයමය. විශ්ව සිනමාවේ සිනමා අක්ෂරයන් අස අප නැවතෙන්නටත් පෙම් බඳින්නටත් හේතුවත් එයමය. මානව චිත්තවේගයන්ට, මානව මනෝභාවයන්ට, මානව ප්රකෘතියන්ට සහ විකෘතියන්ට හේතුවාදී ක්රමවේදයක සිට ආමන්ත්‍රණය කරන සිනමාවක් යනු එක් අතකින් චින්තන විප්ලවයකට මග කියන නියමුවෙකි. ඔබ වී.අයි. ලෙනින් හඳුනන්නේ නම් ලෙනින් සදිසි නියමුවෙකි. සිනමාව යනු අප්‍රමාණ ගැඹුරකින් සහ සෞන්දර්යකින් සංයුක්ත මානවීය මාධ්‍යයක් බවට වග වෙන්නට තවත් සාක්ෂි ඉතින් කුමකට!
කැමරාව යනු හුදු රූප මවාලන තාක්ෂණික උපකරණයක් පමණක් නොවේ. ඉන් එහා සීමාවක කැමරාවක වගකීම් මානව යුතුකම් සමුදායක් තුළ සංකේන්ද්‍රණය වන අතර ඡායාරූප ශිල්පියා තුළ හුස්ම ගන්නා නිර්මාණවේදියා අපූර්ව වෙසෙකින් සිනමාව තුළ හුස්මක් ගත යුතුමය. ශුද්ධ ප්‍රකෘතියක් තුළ නිද්‍රාගත විය යුතුමය.
Chris Joys - ධාරා අපට සොඳුරු ලෙස කියවනු පිණිස ඒ වගකීම ඔබ සොඳුරු වෙහෙසකින් දෙවුර දරාගත යුතුමය.
අල්ලා ගැනීම තුළ... මහ පොළොවේ සීමාවන් සලකුණු කරගන්නා අයිතියේ මුද්‍රාව තුළ විමුක්තියක් කිසිදා කිසිවෙකුට කවරදා හෝ හමුවීද...
නැත...
හමුවී නම් එය විමුක්තිය යැයි නම් ලද විමුක්තියක් පමණි. ඔබට සියල්ල හමුවන්නේ සියල්ල අත්හරින මොහොතේය. අත්හැරීම ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ අත්හැරීම තුළ සියල්ල හමුවන මොහොතේය. ඒ හමුවන ක්ෂණයට මම විමුක්තිය යැයි නම් තබමි.
විමුක්තියේ කුසුම සංසාර මන්දිර සුණු විසුණු කරමින් පිපෙන මුව දොර එතැනය. එහෙයින් සිනමාමය සබුද්ධික සිතියම්කරණයක් තුළ ධාරා නවමු මුද්‍රාවක් තබන තුරු ඉතින් මම බලා සිටිමි.
• සංජීවිකා සමරතුංග