දශකාභිෂේක කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලට ඔබ ඇතුළු පිරිස සූදානම් වෙනවා. මෙවැනි උළෙලක් පවත්වන්න මුලින්ම අදහසක් ඇතිවුණේ කොහොමද?
2005 වසරේ සිට මට ජාත්‍යන්තර නාට්‍ය සම්මේලනවලට යන්න අවස්ථාව ලැබුණා. දෙදහස් අට වසරේදී ජර්මනියට මාස තුනක ශිෂ්‍යත්වයක් මට ලැබුණා. එහිදී ලෝකයේ විවිධ රටවල්වල නාට්‍ය උළෙලවල් කරන මිනිසුන් මුණගැසුණා. ඔවුන් තමන්ගේ රටවල්වල නාට්‍ය උළෙලවල්වල තොරතුරු අනිත් අය සමග බෙදා හදා ගත්තා. ඔය අතරේ, උඹලගේ රටේ නාට්‍ය උළෙලවල් කීයක් තියෙනවද? කියලා ඔවුන් මගෙන් ප්‍රශ්න කළා. ඒ වෙද්දී අපිට එකක්වත් තිබුණේ නැහැ. ඉන්දියාවේ මේ වෙද්දී ජාත්‍යන්තර නාට්‍ය උළෙලවල් අසූවක් පමණ තියෙනවා. පකිස්ථානයේ අටකුත් බංග්ලාදේශයේ හතරකුත්, නේපාලයේ දෙකකුත් තියෙනවා. ඒවායේ ප්‍රමිතියේ වෙනස්කම් වුණාට එවැනි නාට්‍ය උළෙලවල් පවත්වනවා. ඒ නිසා ඒ හැම වතාවකදීම, අපිටත් නාට්‍ය උළෙලක් තිබුණා නම් කියන සිතුවිල්ල මට ඇතිවුණා. ඒක මහා තකතීරු තීරණයක් කියලා මම දැනගෙන හිටියා. ජාත්‍යන්තර නාට්‍ය උළෙලක තියෙන බරපතළකම තේරුම් නොගෙනම මම 2012 දී මේ වැඩේ පටන් ගත්තා.
2012 වසරේදී ආරම්භ කළ ඒ රංග කලා උළෙල වසර නවයක් පැවැත්වුවා. මොකද හිතෙන්නේ?
ඒක තනි මිනිහෙකුට කරන්න හරි අමාරු දෙයක්. ඒකට මූලාශ්‍ර ගොඩක් එකතු වෙන්න ඕනෑ. ඕනෑම කෙනෙක් ජාත්‍යන්තර නාට්‍ය උළෙලක් සංවිධානය කරනවා නම් ඒකට පහසුකම් දෙන්න බොහෝ දෙනෙක් උදව් කළ යුතු වෙනවා. නමුත් අපිට එහෙම එකක් වුණේ නැහැ. 2012 කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලට සංස්කෘතික අමාත්‍යාංශයෙන් රුපියල් පනස් දහසක් දෙන්න තීරණය කළා. නමුත් අදටත් මට ඒ චෙක්පත ලැබුණේ නැහැ. පහු කාලයේදී යම් යම් වසරවල්වල හිටපු ලේකම්වරුන් එක්ක කතා කළාට පසුව ඔවුන් යම් යම් සුළු මට්ටමින් හෝ අනුග්‍රහය දැක්වුවා. ජාත්‍යන්තර නාට්‍ය උළෙලකට ගියාම ඒ රටවල්වල නාට්‍ය කණ්ඩායම් අපේ රටට එන්න කැමතියි. ලංකාවට හැම මොහොතකම සැඟවුණු ආශිර්වාදයක් තියෙනවා. අපි දූපතක ඉන්නේ. ලෝකයේ ලස්සනම රටවල් කිහිපයකින් මුල් තැන අපේ රටටත් හිමිවෙනවා. එවැනි රටකට වෙනත් නාට්‍ය කණ්ඩායමක් එන්න කැමතියි. නමුත් අවාසනාවකට මේ රටේ ඉහළ නිලධාරීන්ට මෙවැනි උළෙලක් පවත්වන්න වුවමනාවක් තිබුණේ නැහැ. මේ වගේ උළෙලක් සංවිධානය කරන්න මට අවුරුද්දකුත් මදි. ඒ නිසා රාජ්‍ය ආයතනයකට මේ වගේ දෙයක් සැලසුම් කරන්න හිතන්නවත් බැහැ. සමහර රාජ්‍ය ආයතනවල වමේ තියෙන ෆයිල් එක දකුණට යන්න ලොකු කාලයක් ගත වෙනවා. නාට්‍යවේදීන් හැටියට අපි ලෝකයට විවෘත වන විට අපේ රටේ නාට්‍ය කලාව ගැන කියන්න දෙයක් නැහැ. පසුගිය අවුරුදු දහය ඇතුළතදී රටවල් හැත්තෑවක පමණ නාට්‍යවේදීන් දාහකට වැඩි පිරිසක් මේ රටට ඇවිත් තියෙනවා. ඔවුන් මේ රටට දැනුම, අත්දැකීම් දීලා තියෙනවා.
2024 වසරේදී දශකාභිෂේක කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙලට රාජ්‍ය ආයතනවලින් සහයෝගය ලබා දෙන්න සූදානමක් තියෙනවද? සෆීර්ට ඒ සම්බන්ධයෙන් සෑහීමට පත්වෙන්න පුළුවන්ද?
සංස්කෘතික අමාත්‍යාංශය ගියවර මෙන්ම මෙවරත් උදව් කරනවා කියලා තියෙනවා. පසුගිය අවුරුදු නවයක් තිස්සේම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙයට රාජ්‍ය නැටුම් කණ්ඩායම සහ ඩීසල් අප ගැසීමේ පදනම මත බස් රථයක් ලබා දුන්නා. මේ වසරේදී ඒකත් දෙන්න බැහැ කියලා මේ වෙද්දී වාචිකව දැනුම් දීලා තියෙනවා. ඒ සඳහා මම ලිඛිතව මාර්තු මාසයේදී ඔවුන්ගෙන් ඒ ඉල්ලීම කළා. මැයි මාසයේදී මම කතා කරලා අහපු වෙලාවෙදි ඒ අයට ඒක මෙවර දෙන්න බැහැ කියලා කිව්වා. මම ඒ ගැන පුදුම වුණේ නැහැ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ගිය වසරේදිත් අපිත් එක්ක හිටියා. මේ වසරේදිත් සහයෝගය දක්වන බව කියලා තියෙනවා. මේ හැම රාජ්‍ය ආයතනයක්ම ලංකාවේ බදු සල්ලිවලින් තමයි දුවන්නේ. ඒ බදු ගෙවන්නේ මේ රටේ ජනතාවයි. ඒ ගෙවන බද්දට පෙරළා යහපත් දෙයක් අපි ලබා දිය යුතු වෙනවා. මේක ජාත්‍යන්තරව පිළිගත් උළෙලක්. මේක දියුණු කිරීම ඔස්සේ රටට යහපතක් වෙනවා. ඒක ඔය නිලධාරීන්ට තේරෙන්නේ නැහැ. මේ එක නාට්‍යවේදියෙක් මේ රටේදී මුදල් වියදම් කරනවා. ඒ මුදල මේ රටටයි. ඒ ආදායම ගන්න මේ නිලධාරීන්ට තේරෙන්නේ නැහැ. ඒ අය මේක වෙන පාට කණ්ණාඩියකින් තමයි බලන්නේ. ඒ අය හිතන්නේ මේක සෆීර්ගේ වැඩක් කියලයි. එහෙම හිතන තාක් කල් අපිට රටක් විදිහට ඉදිරියට යන්න බැහැ.
පසුගිය කාලයේදී සෆීර්ට කොරියානු සංචාරයකට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ලබපු අත්දැකීම් කොහොමද?
කොරියාවේ ජාතික නාට්‍ය ආයතනයක් තියෙනවා. කොරියාවේ හැම ප්‍රාන්තයකම තියෙන ශාඛා එකතුවකින් තමයි ඒ නාට්‍ය ආයතනය හැදිලා තියෙන්නේ. ඒ සියලු දෙනා තමන්ගේ ප්‍රාන්තයේ නාට්‍ය දියුණු කරන්න කැපවෙලා ඉන්නවා. ඒ නාට්‍ය උළෙල එක ප්‍රාන්තයකට අවුරුදු 15කට පමණ පසුවයි ලැබෙන්නේ. ඔවුන් තමන්ගේ ප්‍රාන්තයට නාට්‍ය උළෙල ආවට පස්සේ ඉතා හොඳින් නාට්‍ය උළෙල පවත්වන්න උත්සාහ ගන්නවා. ඒකට ඒ පළාතේ තියෙන රාජ්‍ය ආයතන ඇතුළු සියල්ලෝම එකතු වෙනවා. ඒ ඔස්සේ ඔවුන් අති සාර්ථක උළෙලක් පවත්වනවා. මේ පාර කොරියානු නාට්‍ය උළෙල යොන්ජින් නගරයේ පැවැත්වුණා. එය දැනට ලෝකෙ ව්‍යාපාරික ආයතන කිහිපයක්ම තියෙන නගරයක්. මේ ප්‍රාන්තය ලෝකයේ නාට්‍යවේදීන් එකොළොස් දෙනෙකුට එන්න කියලා ඒ කොරියානු නාට්‍ය පෙන්නලා, මේ නාට්‍යවලින් ඔයාලගේ රටවල්වල පැවැත්වෙන නාට්‍ය උළෙලවල්වලට ගැලපෙන නාට්‍යයක් තියෙනවා නම් කියන්න, අපි කැමතියි ඇවිත් ඒ නාට්‍ය පෙන්නන්න කියලා කිව්වා. ඒක තමයි සැබෑ වැඩපිළිවෙල වෙන්න ඕනෑ. ඒ අය අපිව ඒ රටට ගෙන්නලා අපිට ඒ නාට්‍ය පෙන්නුවේ ඒ අයගේ නාට්‍ය කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන්.
මෙවර රටවල් කීයකින් නාට්‍යවේදීන් ලංකාවට එනවද?
මෙවර රටවල් දහයක නාට්‍ය දහසයක් ලංකාවට එනවා. ඒ රුමේනියාවේ “නිජෙන්ස්කි”, ඉතාලියේ “අ ස්ටෝරි ෆෝ ඉයුරිඩයිස්”, ඉරානයේ “අලා”, ඉන්දියාවේ “ගිගොලෝ”, “මෙරා මුනියා”, “ෆෝගොටන් ස්ටෝරි”, “සල්මා දිවානි”, පෝලන්තයේ “කතබසා”, ඊශ්‍රාලයේ “මයි මද්ර්ස් ඩයරි”, ක්‍රෝඒෂියාවේ “පවුලින්කෝස් වයිෆ්”, බංග්ලදේශයේ, ආමර් ආමි, ඇමෙරිකාවේ “එම් ටී රශ්මෝ”, ශ්‍රී ලංකාවේ “වවුලා”, “ඇය නිරුවතින්” වැනි නාට්‍යයි. මේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පටන් ගත්ත කාලේ ඉඳන්ම මෙය කොළඹට විතරක් සීමා නොකොට පිට පළාත්වලටත් මෙය වේදිකාගත කරන්න මට ඕනෑ වුණා. ඒ සඳහා මම අවස්ථා ගණනාවකම උත්සාහ කළා. ඇමෙරිකාවෙන් එන නාට්‍ය කණ්ඩායම අද එල්ෆිස්ටන් එකේ පෙන්නලා, හෙට ගාලු නගර සභාවේ පෙන්නලා, අනිද්දාට නුවර පෙන්නලා රට වටේ වේදිකාගත කරන්න මම ආසා කළා. ඒ අත්දැකීම් හැමෝටම විඳින්න සලස්වන්න මම ආසා කළා. අපේ උළෙල කොයිතරම් සාර්ථක වුණාද කියනවනම් මෙවර ඉන්දියාවෙන් අපිට කතා කරලා අපේ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට සමගාමීව ඒ අය ඉන්දියාවේ නාට්‍ය උළෙලක් සංවිධානය කරන්න කැමති වුණා.
දශකාභිෂේක කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල පවත්වන්නේ කවදාද?
මෙවර ජාත්‍යන්තර රංග කලා උළෙල අගෝස්තු 24 සිට 30 දක්වා පැවැත්වෙනවා. මරදාන එල්ෆිස්ටන් රඟහලේදී නාට්‍ය වේදිකාගත වෙනවා. 25 සිට 29 දක්වා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ නාට්‍ය වැඩමුළු පවත්වනවා. 27-28-29 දිනවලදී ලංකාවට එන නාට්‍ය අධ්‍යක්ෂවරුන් එකතුවෙලා ඒ ඒ රටවල නාට්‍ය කලාවේ තත්ත්වයන්, අත්දැකීම් එකිනෙකා හුවමාරු කර ගන්නවා.
සෑම වසරකදීම වගේ මෙවරත් ප්‍රධාන ආරාධිත අමුත්තා විශේෂයි නේද?
ඔව්... මේ වසරේදී අපේ විදේශීය ආරාධිත අමුත්තා වන්නේ ග්‍රීසියේ ඇතැන්ස් හි කලා හා මානව ඉතිහාස දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නාට්‍ය අධ්‍යක්ෂ හා පරිවර්තක ආචාර්ය සිසි පපතානාසියු මහත්මියයි. ඇයත් ලංකාවට එනවා. ඒ වගේම හැම වසරකදීම අපේ දේශීය කෙනෙක්වත් ඇගයීම් කරනවා. මෙවර අපේ ගෞරවය අභිනන්දනය හිමිවන්නේ ජයලත් එස්. ගෝමස් මහතාටයි. ඔහු නාට්‍යවේදියෙක් නොවෙයි. නමුත් 2012 සිට 2021 දක්වා කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල පවත්වාගෙන යන්න රුපියලක් හෝ මුදලක් අය නොකර ස්වේච්ඡාවෙන්ම වැඩ කරපු ලේකම්වරයා ඔහුයි. අද එතුමා ජීවතුන් අතර නැහැ. නමුත් ඔහු මෙවර ගෞරව අභිනන්දනයෙන් පිදුම් ලබනවා. පෝලන්තයේ, ඇමෙරිකාවේ, ඉන්දියාවේ නාට්‍යයක් මරදානට ආවට පස්සේ ඒක නොබලනවා නම් ඇත්තටම ඒක හරි අවාසනාවක්. ඒ නිසා ඒ අවස්ථාව මෙවර මඟහැර ගන්න එපා.
• දිශානි ජයමාලි
• සේයාරූ - සුමුදු හේවාපතිරණ