Cover Song නීතිය දන්නවාද - 2
සියලු කලාවන් සහ සාහිත්‍යාංග අතරින් ගීතය තරම් රසික හදවත් ස්පර්ශ කළ තවත් සාහිත්‍යාංගයක් නොමැති තරම්ය. නූතනයේ ගීත කලාව විෂයෙහි ලෝකයේ බිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ජනාදරයට පත්වූ කලා කෘති බවට පත්ව තිබේ. එහෙත් ගීතයක කර්තෘ හිමිකම් පිළිබඳ සහ එහි මූල්‍ය වටිනාකම බෙදී යන ආකාරය පිළිබඳව පවතින්නේ සුවිසල් විවාදයකි. ඉකුත් සතියේ ඒ හා සම්බන්ධ ශ්‍රී ලාංකික නීතිමය රාමුව පිළිබඳ අපි විමසා සිටියෙමු. මෙම සතියේ අප විමසා බැලීමට සූදානම් වන්නේ ගීතය අප වෙත රැගෙන එන ගායකයාගේ පාර්ශ්වයේ කතාවයි.
මේ සඳහා අප සම්බන්ධ කර ගත්තේ ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී විශාරද රොහාන් ද සිල්වාය. ගීතයක ගායකයා වෙත පවතින හිමිකම පිළිබඳ කතාබහකින් අපි සංවාදය ඇරඹුවෙමු.
“මේ හා සම්බන්ධ නීතිය ශ්‍රී ලංකාව තුළ සකස්වෙලා තියෙන්නේ, අපේ රටේ ගීත හැදෙන පසුබිම හා සංස්කෘතිය පිළිබඳ අවබෝධයකින් නෙවෙයි. පද රචකයාටයි සංගීතඥයාටයි ගීතයක අයිතිය තියෙන විදිහට තමයි නීතිය සකස් වෙලා තියෙන්නෙ. ඒත් අපේ රටේ ගීත නිර්මාණය වෙන්නේ ගායකයා මුල් වෙලා. ගීතයක් නිෂ්පාදනය කරන්න සියයට අනූ නමයක්ම වියදම් කරන්නේ ගායකයා. ගීතය ජනප්‍රිය කරගන්න උත්සාහ දරන්නෙත් ගායකයා. ඒත් ගීතයක් ජනප්‍රිය වුණාට පස්සේ ඒ ගීතයේ හිමිකම ඔහුට නැහැ.”
අප පසුගිය සතියේ සාකච්ඡා කළ ආකාරයට ගීතයක කර්තෘ හිමිකම් බුද්ධිමය දේපළ නීතියට අනුව හිමිවන්නේ ගී පද රචකයාට සහ සංගීතඥයාටය. ගායකයා එය මිනිසුන් අතරට රැගෙන යන තෙවැනි පාර්ශ්වයකි. එය නීතිය වීද ප්‍රායෝගික තලයේදී ගායකයා ගීතයක් විෂයෙහි දක්වන දායකත්වය සුළු කොට තැකිය නොහැක. කෙසේ වෙතත් අතීතයේදී මෙම හිමිකම් පිළිබඳ අවබෝධයක් කිසිවෙකු තුළ නොවූ අතර, කලාව ආදරයම පමණක් විෂය කොටගෙන තිබුණු නිසා ඒ ආදායම් ගණනය කිරීම් පිළිබඳ කිසිවෙකු වද වූයේ නැත.
“වර්තමානයේදී ඩිජිටල් ලෝකය ඇතුළේ ගීතවලට ආදායම් ලැබෙද්දි, පද රචකයෝ සහ සංගීතඥයෝ නීතිය තියෙන්නේ මෙහෙමයි කියලා විවිධ නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙලා තියෙනවා. මෙතැනදී රස්සාවක් විදියට ගීත ගායනා කරන ගායන ශිල්පියා සම්බන්ධ ද්වේශ සහගත ස්වභාවයක් මතුවෙලා තියෙනවා. ගීතය කියන දරුවා කොහොමටවත්ම බිහිවෙන්නේ නෑ ගායන ශිල්පියා ඒ සඳහා නිර්මාණාත්මක දායකත්වයක් ලබා නොදෙනවා නම්.”
රොහාන් ද සිල්වා පෙන්වා දෙන ආකාරයට කොතරම් ගායන හැකියාවන් ඇති පිරිස් ලෝකයේ ජීවත් වුවද ඒ අතරින් ගායන ශිල්පීන් බවට පත්වන්නේ අතළොස්සකි. ඒ සඳහා ඔහු සතුව මිහිරි කටහඬක්, සුවිශේෂී හැකියාවක් සහ ගීතයකට පණ ලබාදීමට සිය විඤ්ඤාණය භාවිත කිරීමේ සමත්කමක් ඔහු හෝ ඇය තුළ තිබිය යුතුය.
“මේක හුදු හැකියාවට විතරක් ලඝු කරන්න බෑ. ගායකයා විසින් බුද්ධියෙන් මෙහෙයවන සංඥාවෙන් තමයි ස්වරාලය කම්පනය කරන්නෙ. ගීතයකට අවශ්‍ය හැඟීම දෙන්නෙ ඒ හරහා. ගීතයක් ගායනා කරන ආකාරය සහ ඒ සඳහා ස්වර අතර හැඩතල තීරණය වෙන්නෙ ගයකයා මත. ඒ නිසා ගායකයෙකුට බුද්ධිමය දේපළ හිමිකමක් නැහැ කියලා කියන්න බැහැ.”
ගායක ගායිකාවන් විසින් ගීතයක සිය කර්තෘ හිමිකම ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය යටතේය. වර්තමානයේදී ගායකයා නිෂ්පාදකයා ලෙස කටයුතු කරන අවස්ථාවල ගිවිසුම් ගතවීමේ හැකියාව පවතී. හිමිකම් කල් ඇතිව බෙදා වෙන්කොට නිර්මාණය ජනගත කිරීමේ අවස්ථාව ද ඇත. එහෙත් අතීතයේ නිර්මාණය කළ අතිශය ජනාදරයට පත් නිර්මාණවල තත්ත්වය ඊට ඉඳුරා වෙනස්ය.
“නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නෙවෙයි කිව්වට, අතීතයේ හිටපු ගායකයන් දැනගෙන හිටියේ නෑ මේ නීති පිළිබඳව. අපි ගිහිල්ලා වියදම් කරලා සින්දු හැදුවා. මිනිස්සු පිළිගත්තොත් ගායකයෙක් වුණා. නැත්නම් මේ සල්ලි වතුරේ ගියා. ඒත් අද ඒ ගායකයන්ට ගායිකාවන්ට ඒ ගීත අයිති නෑ. සමහරක් වෙලාවට තමන්ගේ දරුවෙකුටවත් ඒ ගීතය කියන්න බැරි විදියේ නීතියක් තමයි මේ තියෙන්නෙ.”
මේ මොහොතේ නීතිමය කටයුතු රැසක් පැරණි ගායක ගායිකාවන් අරභයා සිදුවෙමින් පවතින බව නොරහසකි. අතිශය ජනාදරයට පත් ගීත ඇතැම් තැනක ඒ ගායකයන්ට ගායනය තහනම් වී තිබේ. එක්තරා ආකාරයකට එය රසිකයන්ටද සිදුවන අසාධාරණයකි. අනික් පසින් කර්තෘ හිමිකම් ඇතැයි කියන ගී පද රචකයන්ට සහ ගායන ශිල්පීන්ටද සාධාරණයක් නොවන තැන් ඕනෑ තරම් දක්නට ලැබේ. ඔවුන්ටද කර්තෘ භාග නොගෙවා ගීත භාවිත කරන මාධ්‍ය සහ පුද්ගලයෝ ඕනෑ තරම් සිටිති. මෙම කටයුත්ත විසඳාගත යුත්තේ පැහැදිලි නීතිමය පදනමක් තුළය. ගැටලුව ඇත්තේ ඒ සඳහා ප්‍රමාණවත් නීති පවතීද යන්නයි.
ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී විශාරද රොහාන් ද සිල්වා පවතින නීතිය වෙනස්කොට ගායන ශිල්පීන්ට ශිල්පිනියන්ට ද සාධාරණයක් වන ලෙස නැවත සකස් කිරීමෙහි ඇත්තේ සුවිසල් අවශ්‍යතාවයකි. තමන් සභාපතිවරයා ලෙස රජයේ වගකිව යුතු බලධාරීන් සහ අධිකරණ අමාත්‍යවරුන් සමඟ තිස් වතාවක් පමණ මේ හා සම්බන්ධ සාකච්ඡා සිදුකර ඇතත් නිසි ප්‍රතිඵල නොලැබුණු බව ඔහු කියා සිටියි.
මෙම සංවාදය ශානරයන් රැසක පැතිර යන්නකි. ගායන ශිල්පීන් තම හිමිකම් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරනු ලබන තර්කද අවතක්සේරු කළ නොහැකිය. විශාලතම අසාධාරණය සිදුව ඇත්තේ තමන්ට බව ඔවුහු කියා සිටිති. එසේම අනික් පසින් තමන්ගේ හිමිකම් ඉල්ලා සිටිමින් ගී පද රචකයන් සහ සංගීතඥයෝද ඉදිරිපත් වෙමින් සිටිති. මෙම සංවාදය තවත් පියවර කිහිපයක් ඉදිරියට යා යුතු බව අපගේ හැඟීමයි. කෙසේ වෙතත් අවසානයේ මෙය කා හටත් සාධාරණයක් වන තැනකින් නිමා විය යුතුය.
• චමිඳු නිසල් ද සිල්වා