2024 අගෝස්තු 03 වන සෙනසුරාදා

තාත්තාගේ ගීත ගයන්න මම කැමති නෑ… මට යන්න ඕනෑ මගේම ගමනක්! - Madhawa Peiris

 2024 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 02:01 121

මලක් වුණේ ඇයි නුඹ මට...
ඔව්... මලක් වුණේ ඇයි නුඹ මට

සිය දහස් දස දහස් සුවහසක් වාරයක් ඒ අමයුරු, ඒ සුමියුරු සුගීතවත් ගී ඕවිල්ලේ මම නැවතුණ තත්ත්පර අනන්තයක් වග ඔබට මා නොකියා කෙලෙසද? නොසිතූ ක්ෂණයක ඒ හඬ යළි සවන් වැකෙද්දී ඒ හඬ අමරසිරි පීරිස් සුගායනීය සුගීතවත් ස්වරයෙන්ම පපු පතුලටම දැනෙද්දී ඒ ගයන්නේ කවුරුන්දැයි මම සෙවීමි. මාධව මා හඳුනා ගන්නේ ඒ සොයා යාමේදීය.

ඉතින් මාධව ඔබේ ශ්‍රාවකයන් වෙනුවෙන් ඔබත් මමත් කතා කරමු.

මාධව පීරිස් ගායකයෙක් ලෙස අබිසෙස් ලබන්න මෙච්චර ප්‍රමාද වුණේ ඇයි?

ඇත්තටම මගේ ප්‍රමාදයට හේතු හුඟක් තියෙනවා. ගීතයට සංගීතයට මගේ ආදරය තිබුණෙ පුංචි දවස්වල ඉඳන්මයි. දැනට බොහෝ කාලෙකට උඩදි ඉතාලියේ පදිංචියට ගියත් ඒ ආදරය නැතිවුණේ නැහැ. ඒත් ගායකයෙක් වෙන්න ඕනෑ කියන උනන්දුවක් මෑතක් වනතුරුම මගේ හිතේ තිබුණෙ නැහැ. අනෙත් එක තාත්තා කවදාවත් අපිට මේ ක්ෂේත්‍රයට එන්න කියලවත් අපිට මේ ක්ෂේත්‍රයේ තැනක් හදලා දෙන්නවත් හිතුවෙවත් මහන්සි වුණේවත් නැහැ. තාත්තා කීවෙ මටත් නංගි ජනනි ඉන්දිරා පීරිස්ටත් ඔයාලා මේ ක්ෂේත්‍රයට ආදරෙයි නම් ඔයාලට ඇත්තටම හැකියාවක් තියෙනවනම් ඔයාලට ඔයාලගෙ ශෛලියක් හදාගන්න පුළුවන් නම් විතරක් මේ ක්ෂේත්‍රයට එන්න. තාත්තා ගායකයෙක් නිසා මේ ක්ෂේත්‍රයට එනවා කියලා නම් මේ ක්ෂේත්‍රයට එන්න එපා. මගේ අතේ එල්ලිලා එන්න හදන්නත් එපා. එහෙම එන අයට තමන්ගෙම කියලා පැවැත්මක් හදාගන්නත් බෑ කියලා. මගේ තාත්තා ඒ තරම් ප්‍රතිපත්තිගරුක අවංක කෙනෙක් වීමෙන් මට දැනුණෙ මම ගායකයෙක් වීමටත් වඩා සතුටක්. ඔය හැම හේතුවක් නිසාම තමයි මම ක්ෂේත්‍රයට එන්න මෙච්චර ප්‍රමාද වුණේ.

මම අහන්නෙ එතකොට ඒ ප්‍රමාදයට තිත තියන්න හිතුණෙ ඇයි?

ඒ ගෞරවය මගේ බිරිඳට අයිති වෙන්න ඕනෑ. මගේ ආදරණීය බිරිඳ සුභාෂිණී පල්ලෙවත්ත නොසිටින්න ඇත්තටම මම ගායකයෙක් නොවෙන්න තිබුණා. ඔයාට සින්දු කියන්න පුළුවන්, ඔයාට සංගීතය ගැන දැනුමක් තියෙනවා කියමින් මාව උනන්දු කරලා මගේ තාත්තගෙ ආශිර්වාදයත් මට හිමිවන තැනට මාව ගමනක් රැගෙන ගියේ මගේ බිරිඳ සුභා.

ඔබේ පියා මුළු ලෝකයක්ම දන්න ආදරණීය ගායකයා අමරසිරි පීරිස් ගායනවේදියාණන් ගයන ගී අතුරින් ඔබේ පළමු කැමැත්ත කුමන ගීතයටද?

පුංචි කාලෙ ඉඳන්ම මම ආසාම මගේ තාත්තා ගැයූ ළඳුනේ ගීතයට.

ඒ ඇයි?

අධි නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ගී පද රචකයාණන් ලියූ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ ඒ ගීතයේ ප්‍රස්තුතයට මම හරි ආසයි. සමාජයක ගැරහුමට පාත්‍ර වන වෙසඟන යැයි නම් ලද ගැහැනියක් දිහා සානුකම්පිත, මානුෂවාදී මුහුණුවරකින් බලන්න සමාජයකට බල කරන අර්ථයක් තමයි ඒ ගීතයේ තියෙන්නෙ. ගීතය වැනි මාධ්‍යයකින් එහෙම සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් නම් කොච්චර වටිනවද හිතෙනවා. ඒ ගීතයේ පද එකතුවට, ගැඹුරු සංගීතයට වගේම තාත්තා පපුවටම දැනෙන්න ඒ ගීතය ගයන ආකාරයට මම හරි ආසයි. 

ඔබේ තාත්තගෙ ජීවිතයම සංගීතයටත් ගායනයටත් කැප වෙද්දි තවත් විදිහකට කිව්වොත් දිය වෙද්දි දරුවන් පස් දෙනෙකුගේ ජීවිත එළිය කරන්න ළඟ හිටිය ඔබේ අම්මා කියන්නෙ මට හමුවූ සුන්දරම අම්මා කෙනෙක්. ඒ අම්මා ඔබට දැනෙන්නෙ කොහොමද?

මම මගේ අම්මා ගැන ඇත්තටම ඔබ කියූ විදිහටම කතා කරන්නෙ පුදුම ගෞරවයකින්. ඇය ගාව තියෙන්නෙ පුදුමාකාර මව්වත් ගුණ සමුදායක්. ඒ වගේම ශක්තියක්. අපි පවුලෙ පස්දෙනෙක් බලාගන්න, පරිස්සම් කරන්න කැපවුණේ අම්මා. අම්මත් තාත්තා වගේම ශාස්ත්‍රීය මට්ටමින් සංගීතය ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් අම්මා ඒ ඉගෙනුම, එයාගෙ බලාපොරොත්තු සියල්ල තාත්තාගේ ආදරයට සහ අපේ ආදරයට කැප කළා. අම්මා දුන්න සහයෝගය නැත්නම් අම්මා කළ කැපකිරීම නැත්නම් අමරසිරි පීරිස් කියන ගායකයා  බිහි නොවෙන්නත් තිබුණා. තාත්තා ගෙදර හැම වගකීමකින්ම නිදහස් කරලා අම්මා දෙවුර දරාගත්තෙ වගකීම් සමුදායක්.

අප දකින ගායකයා සහ ඔබ දකින තාත්තා අතර වෙනස අපට දැනෙන හැටියට ඔබ කියන්න?

අපි පුංචි කාලෙ මට මතකයි තාත්තා සංගීතය සපයන්න, සින්දු කියන්න ගියාම ආයෙ ගෙදර එන්නෙ සමහරවිට සති ගාණකට පස්සෙ. තාත්තා අපි ළඟ නොහිටියත් තාත්තා කියන්නෙ ලොකු වෘක්ෂයක් කියන එක  අපිට දැනුණා. අම්මා එහෙම දැනෙන්න දුන්නා. සංගීතය ගැන දැනුම, තාත්තගෙ අත්දැකීම් ඇත්තටම විශ්වවිද්‍යාලයක් වගේ. තාත්තා වෙලාවකට නිහඬ, ඒත් හරිම ආදරණීය, හරි මනුස්සකම් පිරුණු හදවතක් තියෙන කෙනෙක්. ඒත් තාත්තා ඉන්න විදිහට මම දන්නවා සමහර අය හිතනවා තාත්තා හරි ආඩම්බරකාර මනුස්සයෙක් කියලා. ඒත් මගේ තාත්තා හරිම නිහතමානී මනුස්සයෙක්.

ගායකයෙක් ලෙස, සංගීතඥයෙක් ලෙස මෙච්චර දුර ගමනක් එද්දි ඔබේ පියා විඳි වෙහෙසකර අත්දැකීම් ඔබ දන්නවද?

ඔව්. තාත්තා ඒ අත්දැකීම් ගැන දැන් හුඟක් කතා කරනවා. තාත්තා කියනවා ඒ කාලෙ හරියට කැරකෙන විදුලි පංකාවක්වත් නැති තැන්වල ඉඳගෙන දාඩිය දරාගන්න බැරිම තැන කමිසය ගලවලා තියලා බැනියම පිටින් සින්දුවලට වයලීනය ගැහුවා කියලා. එක තැනක් වැරදුණොත් කාට හරි ආයෙ මුල ඉඳන් ගීත පටිගත කරන්න වෙනවලු. තාත්තගෙ ඒ අත්දැකීම් අද වගේ යුගයක මට කවදාවත් විඳින්න බැරි වෙයි. තාත්තගෙ දැනුම් සම්භාරයට මට ළං වෙන්නවත් බැරි වෙයි. මගේ හිතට දැනෙන මිහිරිම හැඟීම මම එයාගෙ දරුවෙක් වෙන්න තරම් වාසනාවන්ත වුණා කියන එක.

තාත්තා එක්ක මලක් වුණේ ඇයි නුඹ මට පසු ගැයුමක් ගැයූ ඔබට දැනුණු ප්‍රතිචාර සිහිපත් කරන්න?

තාත්තගේ ගී අතුරින් මම ගැයූ පළමු ගීතය එයයි. ඒ ගීතය ගැයුවෙත් තාත්තා එක්කමයි. හිතාගන්න බැරි තරම් ධනාත්මක ප්‍රතිචාර මට ඒ ගීතයට ලැබුණා. ඇත්තටම ඒ ප්‍රතිචාර මාව පුදුමයට පත් කළා. ඒ ගීතය නිර්මාණය කළ සියලු දෙනාටම මම මේ මොහොතේ ස්තූතියි කියනවා.

කැමැත්තක් තියෙනවද දිගටම තාත්තගෙ ගී ගයන්න?

නෑ කොහොමත් නෑ. මම කැමති නෑ තාත්තගෙ ගීත ගයන්න. මම කැමති මගේම නිර්මාණ කරන්න. මම තාත්තගෙ ගීතවලට අප්‍රමාණ ආදරෙයි. ඒත් මට මගේ ගමන යන්න ඕනෑ මගේම ශෛලියකින්.

ස්නේහයේ නගරයයි ඔබ ගැයූ ඔබේ පියාගේ තවත් ගීයක්. මාධව පීරිස් විශාල ශ්‍රාවක සමුදායකට හඳුන්වලා දෙන්න මම හිතන්නෙ ඒ පසු ගැයුමට හැකි වුණා. ඔබ විශ්වාස කරනවද එහෙම?

ඒ ගීතය ගැයූ පසු ඇත්තටම මටත් හිතාගන්න බැරි ප්‍රතිචාර ලැබුණා. අද වෙද්දි ලක්ෂ ගණනක් ශ්‍රාවකයන් ඒ ගීතය විඳලා තියෙනවා. ඒ ගීතය ලියූ, සංගීවත් කළ, ඒ වගේම ඒ ගීතය තාත්තා සමඟ ගැයූ මුල් ගායිකාවට මගේ ස්තූතිය පුද කරන්න මේ මොහොත අවස්ථාවක් කර ගන්නවා. ඇත්තටම ඒ ගීතය තවත් හේතුවක් නිසා මාව පුදුමයට පත් කළා.

මොකක්ද ඒ හේතුව?

මම ඒ ගීතයේ මගේ කොටස ගායනා කළේ එංගලන්තයේදි. සංගීතවත් කළේ සුරේෂ් මාලියද්ද ලංකාවෙදි. එහි ගායිකාවගේ කොටස ගයන්න නම් කිහිපයක් යෝජනා වුණා. ඒත් ඇත්තටම මගේත් සුභාගේත් 18 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් මාව පුදුම කිරීමේ තෑග්ගක් විදිහට ඒ ගීතයේ ගායිකාවගේ කොටස සමිතා එරන්දතී මුදුන්කොටුව ප්‍රවීණ ගායිකාවට කියලා ගායනා කරවලා සම්පූර්ණ ගීතය මට අහන්න එවනකම් මම ඒ ගැන දැනන් හිටියෙ නෑ. මගේ බිරිඳ සුභා, සුරේෂ් සහ සුරේෂ්ගෙ බිරිඳ ශානිකා තමයි මට ඒ ලස්සන තෑග්ග ඒ විදිහට දුන්නෙ.

ඔබ ගැයූ ඔබේම පළමු ගීතයේ සිට ඔබේම නිර්මාණ කීයක් විතර මේ වෙද්දි නිර්මාණය කර තියෙනවද?

ගීතයක් ගයන්න කියලා 2016 දි මගේම මුල්ම ගීතය මම ලියවා ගත්තෙ කැළුම් ශ්‍රීමාල්ට කියලා. ඒ සඳ මදිරා ඇදහැලිලා කියන ගීතයයි. ඒ ගීතයේ සංගීතය නිර්මාණය කළේ සුරේෂ් මාලියද්ද. තනුව කසුන් කල්හාරගේ. ඒත් ඒ ගීතය තවම එළිදක්වන්න බැරි වුණා. මා ගැයූ පළමු ගීතය ලීවෙ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ මහත්මියයි. ඒ ගීතය සංගීවත් කළේ අරුණ ගුණවර්ධන විසින්. ඉන්පසු වසන්ත කුමාර කොබවක ලියූ සුරේෂ් මාලියද්ද සංගීතවත් කළ ගිනි සැරක් වගේ ගීතය, බන්දුල නානායක්කාරවසම් ලියූ සුරේෂ් මාලියද්ද සංගීතවත් කළ ඔබට පිදූ ආදරේ ගීතය, නිශාන්ත ප්‍රදීප් ලියූ නිරා වළාකුළු රහසේ සහ අම්මා බලන්න ගමට වරෙල්ලා කියන ගීත මම ගායනා කළා. ඒ ගීත දෙකේම සංගීතය නිර්මාණය කළේ නවරත්න ගමගේ සංගීතවේදියායි.

ඔබේ දියණිය සාරා තත්සරණි ගායිකාවක්. ඒ ගායිකාව ඇගේ තාත්තට දැනෙන්නෙ කොහොමද?

මගේ දුවට දැන් අවුරුදු පහළොවක්. ඒ වගේ දරුවෙක් මට ඉන්නවා නේද කියන සතුට පුදුම විදිහට විඳින තාත්තා කෙනෙක් මම. උදේ ඇහැරුණු වෙලාවේ ඉඳන් දුවගෙ මුළු ජීවිතයම සංගීතයත් එක්ක බැඳිලා තියෙන්නෙ. එයා ඉගෙන ගන්නෙත් ගීයක් මුමුණමින්. දුව ලැබෙන්න ඉද්දි මගේ බිරිඳ හරියට සංගීතයට සවන් දුන්නා. මම හිතන්නෙ එයත් ධනාත්මක බලපෑමක් වෙන්න ඇති. එයා චූටි කාලෙ මම ගිටාර් ගහද්දි, සින්දු කියද්දි එයා අහගෙන ඉන්නවා. ගීත මුමුණනවා. එයා දැන් උසස් පෙළට ලතින්, ස්පාඤ්ඤ, ඉංග්‍රීසි වැනි භාෂා හදාරනවා. එයා භාෂා හදාරන්නෙ සංගීතයට තියෙන ආශාව නිසාමයි. ඉතාලි භාෂාවට දුව දක්වන දක්ෂතාවය නිසා එයාගෙ ගුරුතුමිය එයාට කියන්නෙ බෝම්බයක් කියලා.

සිංහල ගී ගයන්නත් සාරා හපනියක්. ඇගේ ආච්චිඅම්මා ඇය ගැන කියන්නෙ එහෙම නේද?

ඔව් දුව හරිම ආසයි සිංහල ගීත ගයන්න. එයා ආසයි රුක්මණී දේවියගේ ගී වලට. රුක්මණී දේවියගේ ආදරය නිසා කියන ගීතයට දුව හරි ආසයි. මගේ අම්මා දුව ඒ සින්දුව ගයද්දි අහන් ඉන්නෙ හරි ආසාවෙන්. සිංහල භාෂාව කතා කරන්න ඒ තරම් නොහැකි වුවත් අපෙන් ඒ සින්දුවෙ තේරුම අහගෙන රුක්මණී දේවිය ගැන විස්තර අහගෙන ඇය ගැන හරි ගෞරවයෙන් සහ ඒ සින්දුවෙ තේරුම ගැන හැඟීමෙන් තමා දුව ඇගේ ගීත ගයන්නෙ. ඇත්තටම දුව හැඟීමෙන් ගී ගයන්න හරිම දක්ෂයි. දුව දැන් එයාගෙම ගීත කිහිපයක් ගයලා තියෙනවා. මම, දුව සහ මගේ තාත්තා ගීතයක් ගයලා තියෙනවා. ඒ වගේම මගේ තාත්තයි දුවයි ගීතයක් ගයලා තියෙනවා. ඒ ගීත දෙකම ලිව්වෙ බන්දුල නානායක්කාරවසම් ගී පද රචකයා. සංගීතවත් කළේ සුරේෂ් මාලියද්ද.  

දුවගෙ ගැයුම් ඇගේ සීයාගේ විචාරයට ලක්වෙලා තියෙන්නෙ කොහොමද?

තාත්තා කියනවා දුවේ ඔයා කවදා හරි සංගීතය පැත්තෙන් හොඳම තැනකට යන කෙනෙක් කියලා. ඒත් තාත්තා කියන්නේ මුලින් හොඳට ඉගෙනගෙන ඉන්න කියලා. තාත්තගෙ හැකියාව, දක්ෂතාවය දුවට හුඟාක්ම පිහිටලා තියෙනවා කියන එක තමා මට දැනෙන්නෙ.

සාරාගේ සීයා ගයන ගී වලින් ඇය කැමතිම ගීතය කුමක්ද?

ඇය කැමතිම හන්තානට පායන සඳ ගීතයට. දුව කියන දෙයක් තමා මගේ සීයගේ සින්දු වෙන කවුරුත් කියනවට මම කැමති නෑ කියලා. එයා එහෙම කියන්නෙ එයාගේ සීයාට සහ එයාගේ සීයගේ සින්දුවලට එයාගේ හිතේ තියෙන දැඩි ආදරය සහ ගෞරවය නිසා.

අමරසිරි පීරිස්, මාධව පීරිස්, සාරා තත්සරණි පීරිස් එකම වේදිකාවක ගී ගයනවා බලන්න ඒ ගී ස්වර සුසංයෝගය විඳින්න බලාගෙන ඉන්න අය අතර මාත් එක්කෙනෙක්. හිත ඉල්ලන උත්තරයක් දැන් මට දෙන්න?

අනේ ඇත්තටම ඒ වචනත් මට සතුටක්. එහෙම ප්‍රසංගයක් මගෙත් බලාපොරොත්තුවක්. ලංකාවෙදි මමත් දුවත් තාත්තත් එක්ක ගී ප්‍රසංගයක් පවත්වන සිහිනය මට තියෙනවා. තව හුඟාක් කල් යන එකක් නැහැ ඔබට ඒ ප්‍රසංගය දකින්න සහ විඳින්න කියලා මට හිතෙනවා. යුරෝපයේ ප්‍රසංගවලත් තාත්තා එක්ක ගී ගයන්න මට ඇරයුම් ලැබෙනවා. ඉදිරියේදි ඒ වේදිකාවලත් මම මගේ තාත්තා එක්ක ගී ගයාවි. ඇත්තටම ගීතය සහ සංගීතය කියන්නෙ දැන් මට මිදෙන්න බැරි ඇබ්බැහියක්.

 

• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ