අනුරුද්ධ විසින් මෙවර අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වෙන ධාරා, වසර කිහිපයකට පසුව නිර්මාණය වෙන්නක්ද?
2018 අවුරුද්දේ තමයි මම ගින්නෙන් උපන් සීතල සිනමා නිර්මාණය රූගත කිරීම් කළේ. එය 2019 වසරේ දී තිරගත වුණා. ඒ තමයි මම මෙතෙක් කළ අවසාන චිත්‍රපටය. ඉතින් වසර හයකට පසුව නැවතත් ධාරා ඔස්සේ මම සිනමා අධ්යක්ෂවරයෙක් වුණා.
ධාරා ටිකක් වෙනස් විදියේ කතා තේමාවක්. දක්ෂ තිර පිටපත් රචකයෙක් වුණු නාමල් ජයසිංහ ධාරා හි පිටපත ලිව්වත් ඒ වස්තු බීජය ඔහුට ලබා දුන්නේ අනුරුද්ධයි. ඒ සිතුවිල්ල ඇතිවුණේ කොහොමද?
කොහොමටත් ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයත්, ධාරා වගේම තරුණයන් ගැන කියැවුණු කතා නිර්මාණයක්. මුල් චිත්‍රපටයේදී අපිට ආවරණය කරගන්න බැරි කලාපයක් තිබුණා. කැරලිකරුවන් ගැන මීට වෙනස් ධාරාවකින් අපි කතා කළා. මෙහිදී පන්සලේ වැඩ ඉන්න වැඩිහිටි හාමුදුරු නමක්, තරුණ හාමුදුරු නමක් සහ කැරලිකරුවන් ගැන කතා වෙනවා. විමුක්තිකාරයන්ගේ අදහස වෙන්නේ රාජ්‍ය අත්පත් කරගෙන, ආණ්ඩුව අත්පත් කරගෙන, බහුතරයක් වෙනුවෙන් පාලනය කරමින් විමුක්තිය සොයා ගැනීමයි. හාමුදුරු නමක් ඒ සියල්ල අතහැර ආධ්‍යාත්මික සුවය පතා විමුක්තිය සොයාගෙන යනවා. එකක් අතහැරීමේ විමුක්ති මාර්ගය සහ අනික අල්ලා ගැනීමේ විමුක්ති මාර්ගයයි. මෙය ධාරා ඔස්සේ සංවාදයට ලක් වෙනවා.
පසුගිය කාලයේදී අනුරුද්ධ ලංකාවේ හිටියේ නැහැ නේද?
ඔව්... චිත්‍රපටය පිළිබඳව හරියටම අධ්‍යයනය කරගන්න මට ඕනෑ වුණා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබාගන්නත් මට ඕනෑ වුණා. අපි එතෙක් චිත්‍රපට කළේ ඉවෙන්. මම ඒ විෂය ඉගෙනගෙන තිබුණේ නැහැ. මම උසස් අධ්‍යාපනයට සමාජ විද්‍යාව, දර්ශනය වැනි විෂයන් ඉගෙන ගත්තා. නමුත් සිනමාව හා ටෙලිවිෂනයේ වෘත්තියක් විදිහට මම කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබාගන්න වෙනම ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ නිසා සිනමාව පිළිබඳව හදාරන්න මටත් ඕනෑ වුණා. ඒක මට එක්තරා හීනයක්. ඒ අතරේ ලංකාවේ සිනමාව හා ආර්ථිකය කඩා වැටුණු කාලයක මම කැනඩාවට ගිහින් සිනමා කර්මාන්තය ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තා. මම Infous film පාසලෙන් බොහෝ දැනුම ලබා ගත්තා. ඒ සඳහා අපිට ඉගැන්වූ ගුරුවරුන්ගෙන් මම බොහෝ දැනුම ලබා ගත්තා. මම මගේ ඒ උපාධිය සම්පූර්ණ කළා. ඒ අධ්‍යාපනය අවසානයේදී කැනඩාවේ අයත් එක්ක සම්බන්ධ වෙලා අපේ සිනමාව එහාට ගෙනියන්නෙ කොහොමද කියලා අපි කතාබහ කර ගත්තා.
කැනඩා අධ්‍යාපනයේදී අනුරුද්ධට ක්‍රිස් ජොයිස් (Chris Joys) මුණගැසීමත් හරි අපූරු අවස්ථාවක් නේද?
ඔව්... ක්‍රිස් ජොයිස් අපිට සිනමා ඡායාරූප ශිල්පය ගැන ඉගැන්නුවා. ඔහු ඉතා හොඳ මනුස්සයෙක්. මම ඔහු හා කතාබහ කරද්දී අපේ සිනමාව ගැන අපි කතා කළා. ඒ අතරෙදි මගේ හිතේ තිබුණු සිනමා නිර්මාණය ගැනත් ක්‍රිස් එක්ක කතා කළා. ඔහු ඒ ගැන ගොඩක් සතුටු වුණා. කැනඩාවේ පදිංචිවෙලා හිටියත් ඔහු උපන්නේ කේරළයේ. ආසියාවේ තියෙන දර්ශනය ගැන ඔහු දැනගෙන හිටියා. විමුක්තිකාමී අත්දැකීම් ගැන ඔහු දැනගෙන හිටියා. ඒ නිසා මගේ මේ මාතෘකාව ක්‍රිස් එක කතා කරන්න මට පහසු වුණා. කැනඩාවේ යාළුවො ටිකකුත් හොයාගෙන තමයි මම ධාරා චිත්‍රපටය නිර්මාණය කළේ.
බැලූ බැල්මට ක්‍රිස් හරි මිත්‍රශීලී කෙනෙක්?
ඔව්... Infous film පාසලේ ඔහු අවුරුදු දහයක් පමණ උගන්නලා තියෙනවා. ඔහු පාසල් දෙකක ගුරුවරයෙක්. ඒ නිසා අවුරුදු පහළොවක විතර අත්දැකීම් ඔහුට තියෙනවා. ඉතා තරුණ පරම්පරාවත් එක්ක වැඩ කරන, වෘත්තිමය වශයෙන් මේ ක්ෂේත්රයේ වැඩ කරන, ජව සම්පන්න කෙනෙක්. ඒ නිසා ඔහුට තියෙන න්‍යායාත්මක දැනුම, අත්දැකීම් වගේම ඒ මිත්‍රශීලීකමත් මෙයට සම්බන්ධ කරගන්න හේතු වුණා.
ධාරා සිනමා නිර්මාණයේ තුමිඳු දොඩම්තැන්න, උමා අසේනි ප්‍රධාන චරිත රඟපානවා. ඔවුන්ව තෝරාගන්න හේතු වුණේ මොනවද?
මෙහිදී තරුණ හාමුදුරු නමක් භාවනානුයෝගීව සිටිය යුතු වෙනවා. ඔහු බොහොම කෙසඟ ශරීරයක් තිබිය යුතු වෙනවා. අපේ සිනමාවේ එහෙම කෙට්ටු, උස නළුවෙක් හොයාගන්න ටිකක් අමාරුයි. වේදිකාවේ අත්දැකීම් තියෙන තුමිඳු ඉතා හොඳ දක්ෂ නළුවෙක්. ඔහු රංගනය පිළිබඳව එංගලන්තයේ උපාධිය මේ වෙද්දී හදාරනවා. ඔහු ඉගෙන ගත්තෙත් නාට්‍ය හා රංග කලාවයි. ඔහු ඉතා දක්ෂ නළුවෙක්. උමාත් එහෙමයි. ඇගේ පෙනුමත් අපිට ඉතා වැදගත් වුණා. කෙට්ටු, පොඩි, සටනකට යන්න හැකි ශරීරයක් තියෙන උමාත් දක්ෂ රංගන ශිල්පිනියක්. මීට අමතරව ප්‍රියන්ත සිරිකුමාර, ජගත් මනුවර්ණ, චින්තක කුලතුංග, දසුන් මධුසංක ඇතුළු හොඳ නළු නිළි පිරිසක් ඉන්නවා.
ධාරා රූගත කිරීම් ආරම්භ කරන්නේ කවදාද?
අපි ධාරා රූගත කිරීම් රිවර්ස්ටන්, මාතලේ සහ කුරුණෑගල ප්‍රදේශයේදී සිදු කරනවා. අගෝස්තු අටවැනිදා මාතලේ රූගත කිරීම් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා. ඉතිරි කොටස් සැප්තැම්බර් මාසය දක්වා කුරුණෑගල ප්‍රදේශයේ සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. රූගත කිරීම් කරන්න මාස තුනකට පමණ පෙර සිටම ඒ ප්‍රදේශවලට ගිහින් අපි ඒ රූගත කිරීම් කරන තැන් ගැන හොයලා බැලුවා. ඒක හරිම දුෂ්කර කටයුත්තක්. ඉතා දුෂ්කරව ඉහළ කඳුවලට අපි නැග්ගා. ඒ වහින කාලෙ වැස්සා. අපිව ලිස්සුවා, වැටුණා. ඒ අතරේ කූඩැල්ලන් එල්ලුණා. එවැනි බාධකත් එක්ක අපි ඒ තැන් හොයා ගත්තා. ඉතින් දුෂ්කර වුණත් හොඳ නිර්මාණයක් කරගත හැකි වේ යැයි අපි විශ්වාස කරනවා.
ධාරා නිෂ්පාදන කටයුත්තට අත ගසන්නේ කවුද?
මේක ඉතා විශාල පිරිවැයක් දරන්න සිදුවෙන සිනමා පටයක්. මේ වෙනුවෙන් වික්ටර් ගමගේ සහ නිරාන් පෙරේරා නිෂ්පාදනයෙන් එකතු වුණා. ඒ දෙන්නම කැනඩාවේ පුරවැසියන්. කැනඩාවටත් පෙන්විය හැකි හොඳ නිර්මාණයක් කරන්න ඔහුට අවශ්‍ය වුණා. ඒ නිසා ලෝකයේ තියෙන ප්‍රධාන පෙළේ සිනමා උළෙලවල් නියෝජනය කළ හැකි සිනමා පටයක් කරන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා.
• දිශානි ජයමාලි