මේ දෙන්නා පෝලන්තෙ පැත්තෙ ඉඳලා ලංකාවට ආපු දෙන්නෙක්. කොළඹ උණවටුන ඇල්ල වගේ ප්රදේශවල තමයි මේගොල්ලෝ පහුගිය දවස්වල සංචාරය කළේ. මේ දෙන්නගෙම නම් විදිහට සඳහන් වුණේ Handzel & Maszik. ඒ නම් නම් අපිට ටිකක් නුහුරුයි. ඒ වුණත් මේ දෙන්නා හරිම අපූරු චරිත දෙකක්.
ඔන්න මෙයාලා ත්රීවිල් එකක නැගලා කොළඹ ස්ටේෂන් එකට ආවේ ඇල්ල බලා යන බදුලු දුම්රියට ගොඩවෙන්න බලාපොරොත්තුවෙන්. වීල් එකේ එන අතර මේ දෙන්නා තමන්ගේ බලාපොරොත්තුව පැහැදිලි කළා.
“අපි බලාපොරොත්තු වෙනවා කොළඹ ඉඳන් ඇල්ල බලා දුම්රියෙන් ගමන් කරන්න. ඒක හරිම අපූරු සංචාරයක් වේවි. ඒ ගැන තොරතුරු අපි ඔයාලට කියන්න සූදානම්. අපිත් එක්ක රැඳී ඉන්න.”
මේ දෙන්නා ඇත්තටම බොහොම තරුණ ලස්සන කපල් එකක්. කොහොම හරි මේගොල්ලෝ ලංකාවෙ දි ත්රීවිල් එකක යන පළවෙනි වතාවත් මේක. එදා පොඩ්ඩක් කොළඹට වැස්ස.
“අද නම් එච්චර හොඳ දවසක් නෙවෙයි, පොඩ්ඩක් වැස්ස. ඒත් මේ තමයි අපි ත්රීවිල් එකක යන පළවෙනි වතාව. මේකත් හරිම අපූරු අත්දැකීමක්.”
මේ දෙන්නා බොහොම ආදරයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ආවා. ලොකු කුතුහලයක් එක්ක ලොකු ආසාවක් මේ දෙන්නගේ ඇස්වලින් පේන්න තිබුණා. හැබැයි ටිකට් සම්බන්ධ කාරණාව ගැන නම් ඒගොල්ලෝ ටිකක් දුක් වුණා.
“අපි බලාපොරොත්තු වුණේ ‘සෙකන්ඩ් ක්ලාස්’ ටිකට්. ඒත් ඒවා ඉවරවෙලා ‘ෆස්ට් ක්ලාස්’ ටිකට් විතරයි තියෙන්නෙ. ඒ නිසා අපි ඒ ටිකට් ගත්තා.”
පළමු පන්තියේ ගමනට මේ දෙන්නගෙ එච්චර කැමැත්තක් නොතිබුණු බව තමයි පෙනුණෙ. කොහොම හරි මේගොල්ලෝ ගමන පිටත් වුණා. ගමන ආරම්භයේ දී නම් කොළඹ වැස්ස මෙයාලගේ ජනෙල් වීදුරුවල රටා ඇඳලා තිබුණා.
“අපි ලංකාවේ බනිස් වගයක් ගත්තා කන්න. මේ තියෙන්නේ ඒවා.”
එහෙම කියලා කල් ඇතුවම අරගෙන ආපු බනිස් වගයක් මෙයාලා කෑවා. දුම්රියේ පළමු පන්තියේ සියලු දොර දාලා වායු සමීකරණය කරලා තමයි තියෙන්නෙ. අවට පරිසරය ඒ විදිහටම අත්දකින්න ඒ නිසා මේගොල්ලන්ට බැහැ.
“දෙවැනි පන්තිය නම් වායු සමීකරණය කරලා නෑ. ඒ ජනෙල් ඇරලා තියෙන්නේ. ඒ හරහා ලස්සන බලන්න හොඳට පුළුවන්. ඒ නිසා අපි ගමන අතර ටිකක් දෙවැනි පන්තියටත් මාරු වුණා.”
තමන්ට සිද්ධ වෙච්ච අකරතැබ්බ ගැන මේගොල්ලෝ ඇත්තම කතාව කිව්වා. ඇත්තටම ඉතින් සීතල පළාතක් කරා ගමන් කරන බදුලු දුම්රියේ වායු සමනය කරපු පළවෙනි පන්තියේ අවට හරියට බලන්නේ නැතුව, අත් දකින්නෙ නැතුව යනවා කියන්නේ මෝඩකමක් තමා. හොඳ සංචාරකයෙක් කවදාවත් මේ අත්දැකීමට නම් කැමති වෙන්නේ නැහැ.
“කොළඹ ඉඳන් නුවරට පළමු පන්තියේ ජනෙල් විවෘත කරන්න බෑ. ඒත් නුවර ඉඳන් ඇල්ල දක්වා ඒවා විවෘත කරන්න පුළුවන්. දෙවැනි පන්තියේ නිතරම ඒවා විවෘත වෙලා තමා තියෙන්නේ.”
මේ කතාව නම් මේගොල්ලන්ට තරමක් සැනසිලිදායක කතාවක් වුණා. ජනෙල් දොරවල් විවෘත කරලා ඡායාරූප ගන්න එහෙම මේ දෙන්නා කටයුතු කළා. මේ කපල් එකේ තරුණයා තමයි සම්පූර්ණ කතාවම වීඩියෝ කළේ. තරුණිය තමා කතාව විස්තර කළේ.
“මේ ගමන කොච්චර පුදුමාකාරයි ද කියලා ඔබට හිතාගන්න බැරි වෙයි. පොඩ්ඩක් ඉතින් මවාගන්නකෝ, අපි ගමන අතරතුර දියඇලි දහයක් දැක්කා. දුම්රිය වේගයෙන් ගියපු නිසා ඒවා හරියට වීඩියෝ කරගන්න නම් බැරි වුණා.”
දෙවැනි පන්තියට ආපු නිසා මෙන්න අපේ පවුලක කිහිප දෙනෙක් එකතුවෙලා සින්දු කියනවත් මේගොල්ලන්ට දැකගන්න ලැබුණා.
“පළවෙනි පන්තියෙ දි නම් මේ වගේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. හරිම ලස්සනයි.”
මේ දුම්රිය අත්දැකීම මේ දෙන්නට ඇත්තටම ජීවිතයේ අමතක නොවන එකක් වන බව පැහැදිලිවම පෙනෙන්න තිබුණා. අවට පරිසරයෙන් දෙන්නම මත්වෙලා හිටියේ. දොර ළඟට ගිහිල්ලා ඡායාරූප එහෙමත් ගත්තා. ඇල්ලේ ගමනෙ දි සංචාරකයෝ ගන්න සුපුරුදු ඡායාරූපය ගන්න මෙයාලත් අමතක කළේ නෑ.
“නුවර ඉඳන් ඇල්ල දක්වා මේ කොටසෙදි ගොඩක් ඡායාරූප එහෙම ගන්න පුළුවන්. මේ කොටසෙදි දුම්රිය ගමන් කරන්නේ ටිකක් හිමින්. ඔයාලටත් ඇවිල්ලා මේ විදියට ඡායාරූප ගන්න අවස්ථාව තියෙනවා.”
මේක ඉවර කරලා ඔන්න දෙන්නත් එක්ක ඊළඟට ගියා නැවතත් පළමු පන්තියේ තමන්ගේ ආසනවලට.
“අපිට ලැබුණා ලංකාවේ කිරි තේ එකක්. ම්ම්.. ඒක හරිම රසයි. මේකෙ කිරි, තේ කොළ සහ සීනි තියෙනවා.”
ඊට පස්සේ ගමන අතරතුර විටින් විට පොත්පත් කියවන්න වගේම තවත් එක එක දේවල් කරන්න මේගොල්ලෝ කාලය වෙන් කළා. සීතල ටිකක් දැනිලා තිබුණු නිසා ජර්සියක් එහෙමත් දාගත්තා. පැය අටකට විස්තර පස්සේ තමයි මෙයාලා ගමනාන්තයට ළං වුණේ.
“අපි ඇල්ලට එන්න පැය අටක් ගත වුණා. ඒක බොහොම ලස්සන අත්දැකීමක්. ඕගොල්ලන්ට තවත් ලස්සන තැන් අපි ඇල්ලෙ දි පෙන්නන්න සූදානම්.”
මේ විදිහට කතා කරලා තමයි මෙයාලා වීඩියෝ එකට සමු දුන්නේ. මේ දෙන්නගෙ අපූරු අත්දැකීම් ගැන තවත් දවසක දී ඔයාලට අපි තොරතුරු අරගෙන එන්නම්. එහෙනම් අදට සංචාරය මෙතැනින් නතර කරනවා.
• චමිඳු නිසල්