කාංචනමාලා රණසිංහ සම්මානනීය වූ මොහොතක ඒ දෑතට ආශිර්වාදයේ මල් කළඹක් පිරිනැමීමේ යුතුකම අප සතු යැයි හැඟේ.
කාංචනමාලාගේ ගායනය, නාලක අංජනයන්ගේ සංගීතයෙන් ආසියානු මහාද්වීපය
නියෝජනයට තේරී පත් වේ!
ඒ සම්මානනීය මොහොත අකුරු බවට පරිවර්තනය වී තිබුණේ එලෙසය.
2024 Inter Continental Music awards තරගයේ සම්භාව්‍ය අංශයෙන් සමස්ත ආසියාවම නියෝජනය කරන්නට කාංචනමාලා ගැයූ පතිනියක් වී ගීතය වරම් ලද්දාය. රචිකා ජයමාලි චරිතා බණ්ඩාර ලියූ එම ගීතය සංගීතවත් කළේ නාලක අංජන කුමාරය.
ඉතින් කාංචනමාලා දිනුමක සතුට විඳින මේ මොහොතේ ජයග්‍රහණය ගැන අපටත් කියන්න?
පුදුම සතුටක් මට මේ මොහොතේ තියෙන්නේ. 12 වැනි වතාවට තමයි මේ තරගය පැවැත්වෙන්නේ. පළමු වතාවට තමයි මේ ජාත්‍යන්තර තරගය සඳහා ලාංකික කලාකරුවෙක් තෝරා ගත්තේ. මේ තරගය සඳහා Contemporary, blues, jazz, pop, latin music, classical යනාදී විවිධාකාර සංගීතයන් නියෝජනය වෙනවා. ආසියානු මහාද්වීපයේ සම්භාව්‍ය ගීත අංශයෙන් ලෝක තරගාවලියට ඉදිරිපත් කරන්න තමයි විනිශ්චය මණ්ඩලය මාව තෝරා ගත්තේ.
මෙම ජාත්‍යන්තර තරගාවලියේ දී සම්මානනීය වෙන්න නම් සපුරාලිය යුතු යෝග්‍යතා මොනවද?
විශ්ව භාෂාවක් වූ සංගීතය සහ එහි භාවමය ඉදිරිපත් කිරීම මෙම තරගාවලියේ දී සම්මානයට ලක් වෙනවා. හොලිවුඩ් හි ලෝ පතල සංගීත මහාචාර්යවරුන්, Grammy සම්මානලාභීන්, Grammy award දිනූ ගායක ගායිකාවන් සඳහා සංගීතය සහ පද රචනය කළ කලාකරුවන්, Warner brothers, Cinemax යනාදි ලෝ පතල ආයතනවල කලාකරුවන් රැසක් මේ තරගාවලියේ විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරනවා.
ඇත්තටම Inter Continental Music awards (ICMA) හි කණ්ඩායම Celine Dion, Selena Gomez, Ricky Martin, Miley Cyrus, Bella Thorn, Nelly Furtado, Westlife, Gloria Estefan සහ තවත් Grammy awards සඳහා නිර්දේශිත වූ කලාකරුවන්ගේ සංගීතය සහ එම සංගීත වීඩියෝ නිෂ්පාදනයට සම්බන්ධ වූවන්ද, ජගත් සම්මානලාභී චිත්‍රපට හා සම්බන්ධ හොලිවුඩ් හි ප්‍රවීණ කලාකරුවන් රැසකින් ද සමන්විත වෙනවා.
Harmony across continentls තේමාව යටතේ ලොව සංගීතවේදීන් ජගත් තලයට ගෙන යන මෙම තරගාවලියේ අවසාන දිනුම්ලාභීන් ප්‍රකාශයට පත් කරන්නේ අගෝස්තු 25 වැනිදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී.
ඔබේ මව සහ පියා දෙදෙනාම කලාව තුළ දිගු ගමනක් පැමිණි දෙදෙනෙක්. ඒ ආභාෂය වෛද්‍යවරියක් වූ ඔබ තුළින් කලාව කිසිදා ඈත් නොකරන්න යම් බලපෑමක් වූ බව ඔබ විශ්වාස කරනවද?
මගේ තාත්තා ටෙරන්ස් රණසිංහ (සිංහබාහු නාට්‍යය පොතේ ගුරා ලෙස කටයුතු කළ) අද ජීවතුන් අතර නැතිවුණත් ඉතාමත් කෘතවේදීත්වයෙන් මම මගේ තාත්තාගේ ගුණ සිහිපත් කරනවා. මගේ අම්මා අදටත් මට දෙන්නේ පුදුම ශක්තියක්, ආශිර්වාදයක්. බිරිඳක් මවක් ලෙස මගේ කාර්යභාරයත්, වෛද්‍යවරියක් ලෙස වගකීමත් ඉටුකරන ගමන් ගායිකාවක් ලෙස ක්ෂේත්රය තුළ කටයුතු කිරීමටත් අම්මාගෙන් ලැබෙන ඒ ශක්තිය විශාල පිටුවහලක්. පුංචි කාලෙ ඉඳන්ම කලාව කියන්නෙ මම ඇත්තටම පවුල් පසුබිම තුළ අත්විඳි දායාදයක් කියලා මට දැනෙනවා.
ඔබ ලද ජයග්‍රහණය ගැන කියද්දි ඔබේ මව දැක්වූ ප්‍රතිචාරය කුමක්ද?
මගේ අම්මා මාලිනී රණසිංහ කියන්නේ සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවියගේ චරිතය වාර පන්දහසකට අධික සංඛ්‍යාවක රඟපෑ, නිළියක ලෙස ගිනස් වාර්තා පොතට තම නම එක් කිරීමට තරම් සුවිශිෂ්ට වූ කලාවේදිනියක්. මගේ අම්මා මට කීවා පුතේ මම ගිනස් පොතට ගිය වෙලාවේ මට දැනුණු සතුටම ඔයාගේ ජයග්‍රහණය ගැන අහද්දිත් මම ලැබුවා කියලා. වෛද්‍යවරියක් වුණත් කවදාවත් මගේ ජීවිතයෙන් සංගීතය දුරස් වුණේ නෑ. ඒ ආදරය, බැඳීම අම්මා දන්නවා. අම්මාගේ ආශිර්වාදය මම පාසල් කාලයේදිත් බොහෝ ජයග්‍රහණ සමඟ ජීවිතය දිනද්දි හැමදාම ලැබුණා.
පතිනියක් වී ගීතය කාංචනමාලාට දැනෙන්නෙ කොහොමද?
ඇත්තටම ඒ ගීතය ලියූ රචිකා ජයමාලි චරිතා බණ්ඩාරටත් සංගීතය නිර්මාණය කළ නාලක අංජන කුමාරටත් මම මගේ හදවතින්ම ස්තූතියි කියන්න ඕනෑ. ඇත්තටම මම මේ ගීතය කොයි තරම් හොඳින් ගැයුවත් ඒ විනිශ්චය මණ්ඩලය ඉදිරියේ එහි සංගීතය හුඟාක් සුවිශේෂී වෙන්න ඇති. මම ඔස්ට්‍රේලියාවේ ජීවත් වුණත් මෙහෙ කොයි තරම් පහසුකම් තිබුණත් මගේ ගීතයක් නිර්මාණය කරද්දි දවස් දෙක තුනකට හරි මම ලංකාවට යනවා. ඒ මට මගේ උපන් පොළොවට පය තැබුවම දැනෙන හැඟීම නිර්මාණකරණයේ දී පුදුම ශක්තියක් ආශිර්වාදයක් විදිහට දැනෙන නිසා වෙන්න ඇති.
දැන් ඉතින් ආදරයෙන් බලාගෙන ඉන්නෙ අගෝස්තු 25 එනතුරු?
ඔව්... ජයග්‍රහණය පරාජය මොකක් වුණත් මේ නියෝජනයම මම ලද සුවිසල් ජයග්‍රහණයක්. මගේ සංගීත ජීවිතය උදෙසා ලද සුවිසල් අභිප්‍රේරණයක්. මම මේ පොළොවේ හුස්ම ගන්න අවසන් මොහොත දක්වා සංගීතය කෙරේ මගේ ආලය අවසන් වෙන්නෙ නෑ. භවයෙන් භවය සංසාරය පුරාවටත් ඒ ආලය මම රැගෙන යාවි.
• සංජීවිකා සමරතුංග