2024 අගෝස්තු 10 වන සෙනසුරාදා

සසුනඹර එකළු කළ සරා සඳ වලාවෙන් වැසුණා… කියලා ගයද්දි මට කඳුළු ආවා… Amarasiri Peiris

 2024 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

හිරු අවරහිර සැඟව යන්නටත් මත්තෙන් අහස සරා කළුවන් වලා විහිදුණේ ඇයිදැයි නොඅසන්නට ඉතින් මට අවසරයි. එනමුදු දෙවියන් වැනි මිනිසුන් විරල ලෝකයක දෙවියන් වන් මිනිසෙක් සිය මෙහෙය නිමා කළ වග කියන්නට ඉතින් මට අවසරයි. නාවත් වැහි ලිහිණියන් වහින වග කියන්නට වැස්සක් අහසක් නොහඬා හඬතැයි සිත් වුණි මට නම්. සුවඳැති හදක් හිමි සඝ මහ රජාණන් සුවඳවත් සඳුන් ලීයෙන් දැවෙන මොහොතේ නොහැඬුවේ කවුරුන්දැයි අසන්නට ඉඩක් නොතබා සැම නෙතක්ම නිරායාස කඳුළින් දිලිසුණු ඒ හැන්දෑවේ සඳුන් දුමාරය සිවුරු පැහැ චිතකයෙන් නික්මෙද්දී අනන්ත සංසාර සාරණ්‍යයේ ගල්බොඩ ඥානිස්සර නම් භව නැවතුමෙන් උන්වහන්සේ රූප මාත්‍රයක්වත් ශේෂ නොකර සමුගත්හ. සියක් දහසක් හදවත් කළතා වේදනාත්මක සමුගැනීමක අඳුරුතම අක්ෂරයක් එලෙසින් ලියවෙද්දී දැනෙන්නටම ඇසුණේ මහා ගාන්ධර්වයකුගේ සුගීෂ්වර සුගීතවත් හඬයි. උන්වහන්සේ වෙනුවෙන්  පපුවේ උපන් අප්‍රමාණ ආදරයේත් භක්තියේත් සම්මිශ්‍රණයෙන් අමරසිරි පීරිස් ගායනවේදියාණන්

සසුනඹර එකළු කළ සරා සඳ
වලාවෙන් වැසුණා
මහා තෙර නමක ලෙස රට දැයට සෙත සැදුව
අපේ පොඩි හාමුදුරුවෝ
සිය මෙහෙය නිමා කර තිබුණා...

දකුණු ලක කෙළවරක ගම් දනවුවක ඉපිද
අගනුවර ජීවිතය ගෙවුණා
අතගැසූ සියල්ලම රන් රුවන් වන පිනම
පොඩි හාමුදුරුවන්ට තිබුණා
එය ලොවට සම සමව බෙදුණා

නව යොවුන් පරපුරට සිප් සතර බෙදා දී
ඔවුන් නිවැරදි මඟට යැවුණා
සිංහ වෙස් දරා සිට තුන් හෙළය අවදි කළ
ගැඹුරු හඬ සදහටම නිවුණා
නිම්නාද වී නැවත ඇසුණා

යැයි ගයද්දී සංසාර දුක දන්න යතිවර නෙත් පවා කඳුළින් දිදුල වග ලියන්නට මට අවසරයි. සිංහ වෙස් දරා සිට තුන් හෙළය අවදි කළ ගැඹුරු හඬ සදහටම නිවුණා යැයි මහා සිංහල සිංහ සඝ රජකුගේ සමුගැන්ම ගීතවත් ප්‍රකාශනයක ඉසියුම්ම ස්වර සංධ්වනියක දවටද්දී ඔබත් නොහැඬුවේදැයි අමරසිරි පීරිස් ගායනවේදියාණන්ගෙන් අසන්නට ඉතින් දැන් මට අවසරයි.

භව ආරණ්‍යයෙන් සමුගත් ගංගාරාමයේ අපේ පොඩි හාමුදුරුවන් වෙනුවෙන් ඔබ ඒ ගීතය ගැයුවේ කොහොම හැඟීමක් හදවතේ දරාගෙනද?

ඒ ගීතය ගැයූ ඒ මොහොත හරිම සංවේදීයි. උන්වහන්සේ නැවත මේ සංසාරයේ දී අපට මුණගැසේවි. ඒත් කවදාවත් උන්වහන්සේ උන්වහන්සේ විදිහට ආචාර්ය ගල්බොඩ ඥානිස්සර නාහිමිපාණන් විදිහට අපට මුණගැසෙන්නෙ නෑ නේද කියලා හිතෙද්දි දැනෙද්දි මගේ පපුවට පුදුම වේදනාවක් දැනුණේ. ඒ වේදනාව පපුවෙ සිර කරගෙන තමයි මම ඒ ගීතය ගැයුවේ. පොඩි හාමුදුරුවෝ කියන්නේ හරිම නිර්භීත වචනයෙන් කියන්න බැරි සේවාවක් මේ රටට මිනිස්සුන්ට කරපු මහ රජෙක් වගේ හාමුදුරුවන් වහන්සේ කෙනෙක්. පොතක් ලියන්න තරම් සේවාවන් කන්දරාවක් උන්වහන්සේ සිදු කළා. කියන්න තියෙන දේ කිසිම කෙනෙකුට බය නොවී කෙළින්ම කීවා. උන්වහන්සේ කියන්නේ දැවැන්ත පෞරුෂයක් තිබුණු මහා සිංහයෙක්, සංඝ රාජයෙක්. මගේ හිතේ අපරිමිත භක්තියක් උන්වහන්සේ කෙරේ තිබුණා. රට දැය සමය වෙනුවෙන් පොඩි හාමුදුරුවන් කළ මෙහෙවර දන්න මිනිස්සුන්ට අහන්න තියෙන්නෙ එකම එක ප්‍රශ්නයයි. උන්වහන්සේ රට දැය සමය වෙනුවෙන් නොකළේ මොනවද කියන ප්‍රශ්නය විතරයි අහන්න තියෙන්නේ.

මම මගේ දෑසින් දැකලා තියෙන දෙයක් තමයි හැඟුම්බර ගීයක් ගයන මොහොතක ඔබේ ඇස්වලට කඳුළු එන හැටි. අමරසිරි පීරිස් කියන්නෙ ඒ තරම් සංවේදී මනුස්සයෙක්. සසුනඹර එකළු කළ සරා සඳ වලාවෙන් වැසුණා... ගීය ගයද්දි ඒ සංවේදී ගායකයාගේ ඇස් දෙකට කඳුළු නොඑන්න කොහොමත් විදිහක් නෑ. මට හිතෙන්නෙ නම් එහෙම?

එදා උන්වහන්සේගේ නිසල වෙච්ච දේහය දකින්න පන්සලට යද්දිත් ඇත්තටම මට ඇඬුණා. ඒ ගීතය ගයපු මොහොත හරිම හැඟීම්බරයි... සංවේදීයි.. මගේ ඇස් දෙකට කඳුළු එන එක නතර කරගන්න මට කොහොමත් බැරි වුණා. පුදුම හැඟීමකින් ඇත්තටම වේදනාවකින් මම සසුනඹර එකළු කළ සරා සඳ වලාවෙන් වැසුණා ගීය ගැයුවේ. ඒ ගීතය ලියුවේ ප්‍රවීණ ගී පද රචක බණ්ඩාර ඇහැලියගොඩ. සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. බණ්ඩාර ඇහැලියගොඩ අපේ ප්‍රවීණ ගී පද රචකයා මට කීවා මමත් රෝහණත් බලාපොරොත්තු වුණු විදිහටම හැඩතල එකතු කරලා හරිම හැඟීම්බර ස්වරයකින් දැනෙන්නට ඒ ගීය මා ගැයුවා කියලා. එහෙම ගීයකට එවන් ප්‍රතිචාර ලැබීම නිහතමානී සතුටක්.

ලොකු වැඩ කළ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ගැන ඒ ගීය ගයද්දි මතක් වුණු සංවේදී මතකයන් මොනවද?

ඒ කාලේ කේමදාස මාස්ටර් ගංගාරාම පන්සලට හීල් දානය අරගෙන යනවා. ආප්ප, ඉඳිආප්ප වගේ දේවල් තමයි මාස්ටර් හීල් දානයට අරගෙන යන්නෙ. ඒ යන හැම දවසකම වගේ කේමදාස මාස්ටර් මාවත් එක්ක යනවා. ඒ යද්දි පොඩි හාමුදුරුවන් දැක්කොත් හිනාවෙලා කතා කරනවා. උන්වහන්සේට තිබුණේ මුහුණ පුරා විහිදෙන අවංක හිනාවක්. ඒ හිනාව මට මතක් වුණා. උන්වහන්සේ විසින් නිර්මාණය කරන්න මඟ පෙන්වූ කතරගම විශ්‍රාම ශාලාවේ කතරගම ගිය අවස්ථාවල මම නැවතිලා ඉඳලා තියෙනවා. ඒ තැන හරි සුව පහසුයි. මට එදා හිතුණා රුපියලක්වත් අය නොකර කොහොමද උන්වහන්සේ කතරගම යන බැතිමතුන්ට මෙහෙම නවාතැන් දෙන්නෙ කියලා. හිතාගන්න බැරි වැඩ සමුදායක් කරපු යෝධ ශක්තියක් යෝධ ආත්ම විශ්වාසයක් තිබුණු මහ රජෙක් අපිට නැතිවුණා කියන හැඟීම ගීතය ගයද්දි මට නැවත නැවත දැනුණා.

පහුගිය කාලයේ ඔබ දැඩි අසනීපයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දිත් ඔබට ආශිර්වාදය පිරිනැමුණු එක් තැනක් තමයි ගංගාරාම විහාරය. ඒ බැඳීම කොහොමද දැනෙන්නේ?

අනේ ඔව්... මම අද මෙහෙම සුවපත් වෙන්න මට ආශිර්වාද කළ අය අතර ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජී හාමුදුරුවන් ඉන්නවා. මට අසනීප බව දැගත්තම උන්වහන්සේ රෝහලටම ඇවිත් මට පිරිත් කියලා පිරිත් නූලක් බැඳලා ගිහින්. මම ඒක දන්නේ මම සුවපත් වූ පසු මගේ බිරිඳ ඒ බව කියද්දි. උන්වහන්සේ මම වෙනුවෙන් බෝධි පූජා පැවැත්වුවා. ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ කියන ගුරු හාමුදුරුවන් තමන්ගේ ගෝල ශිෂ්‍ය හාමුදුරුවන් වහන්සේලාට මඟපෙන්වා තියෙන්නේ කොයි තරම් මානුෂවාදී විදිහටද කියන එක මම අස්සජී හාමුදුරුවන්ගෙන් හොඳටම දැක්කා. ගංගාරාම විහාරය සමඟ මට තියෙන්නේ කවදාවත් වෙනස් නොවන ආදරයක් සහ බැඳීමක්.

• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ