යකුන්ගේ රැහේ ලේ ධාතුව...
සීරුවෙන් සිතුවිල්ලෙන් සිද්ධ අර්ථයෙන් අන්ධ සොල්දාදුවා අස නැවතුණු මොහොතේ මහිත නැවතුණේ එහෙව් හිතුවිල්ලක් අසය.
අබා... මා මතකය අවදි කරයි.
“ඔටුන්න හිමි කුමාරයා දුක් තැවුල් විඳින්න ඕනෑ නෑ...” රකිනු වස් ළය මඬලේ පණ ධාතුව අබා ළඟ පවුරක් සේ උන් චිත්තරාජලා සැබෑ ජීවිතයේ දී හමු නොවුණු හෙයින් කලා ලෝකයේ ඔටුන්න හිමි කුමාරයා අරුණ නැගෙන්නට පෙර හිමිදිරියක නික්ම ගියත් එදවසක රංග භූමියේ ඉතිරි කර ගිය අවසන් රංගනය අපි දැන් විඳිමින් හිඳිමු.
සීරුවෙන්!
සීරුවෙන් යනු සිනමාමය ප්‍රති නිර්මාණයක් වග ලියා තැබීමෙන් ඔබ්බට සැබැවින්ම මට අවැසි වන්නේ සිනමාවේදයක ප්‍රභාෂ්වර සුලක්ෂණ සුමට ලෙස, ප්‍රබල ලෙස, තියුණු ලෙස දරාගත් ගල්වාගත් සීරුවෙන් සිනමාමය පුස්තකය දෑසින් කියවන්නටයි.
සැබැවින්ම සිනමා වියමනක් යනු හුදු කතාන්දරයක් නොවේ.
රූප රාමුවෙන් රාමුවට දෙබස්, වර්ණ සහ රූප ගෙත්තම් කිරීමක් නොවේ.
ආරම්භයක් සහ අවසානයක් අතර සැරිසැරීමක් ද නොවේ.
හුදු තාක්ෂණික සමුච්චිතකරණයක සම්මිශ්‍රණයක් පමණක් ද නොවේ.
එසේ නම්...
සිනමාව යනු ඇරඹුම සහ අවසන අතර සෞන්දර්යාත්මක, කම්පිත ගලා යාමකි. ඒ ගලා යාම ගැඹුරෙහි ආලවන්ත රිද්ම සංධ්වනියකින් අග මුල යා වූ ඉසියුම් වේදයකි. මනුෂ්‍ය මනෝභාවයන් වෙත විවිධ වූ ප්‍රවේශයන්ගේ හිඳ ආමන්ත්‍රණය කරන්නකි. එහෙයින්ම සිනමාව යනු සීමාරහිත චිත්‍රණයකි. සීමාරහිත අක්ෂර වියමනකි. සීමාරහිත වර්ණ අතර සංසරණයකි. ආලවන්ත ආත්මීය සිනමාමය සංධ්වනියක භාවමය ස්පර්ශයකි. සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු ගැඹුරටම දැනෙන චුම්බනයකි. ඒ සියල්ල තුළ සීරුවෙන් බොහෝ දුරට පරිපූර්ණත්වයට පත් කිරීමට සීරුවෙන් අධ්‍යක්ෂ සුදේශ් වසන්ත පීරිස් දක්වා ඇති සමත්භාවය සැබැවින්ම ප්‍රශංසනීය වෙයි.
ජැක්සන් ඇන්තනී කලාවේදියාණන් සීරුවෙන් හඳුන්වාලූ ආකාරයටම සීරුවෙන් යනු සිනමාමය ප්‍රතිනිර්මාණයකි. සිනමාමය අනුභූතිය සාර සුබාවට නිර්මාණාත්මක ප්‍රවේශය තුළ තවදුරටත් අස්වද්දමින් පුබුදුවාලූ සිනමාමය කුසුමකි. ඒ කුසුමෙහි සුසුවඳ විචාරාත්මක දෘෂ්ටියෙන් පිරික්සද්දී අතිශය සීමිත දර්ශන තල කිහිපයක් තුළ දිගහැරෙන සීරුවෙන් ප්‍රබල ලෙස දිගහැරෙන්නේ එක් රාත්‍රී සංසිද්ධියක් කේන්ද්‍ර කරගෙනය. සීරුවෙන් ප්‍රබල සහ අති මානුෂික ධාරාවක් තුළ දිගහැරෙන්නට පටන් ගන්නේ රාත්‍රියක් ගෙවී අවසන් වන හෝරාවන් කිහිපයක් තුළ එක් රාත්‍රියක සිට තවත් උදෑසනක් තෙක් ගෙවෙන කාලය තුළ දිගහැරෙන සංසිද්ධි සමුදායක් ප්‍රස්තුත කරගෙනය.
වින්දනීය ආලය තුළ රාත්‍රිය අතිශය මනරම්ය. ප්‍රේමණීය කාව්‍යාත්මක රචනයන් තුළ රාත්‍රිය අතිශයින්ම සෞන්දර්යාත්මකය. රාත්‍රිය, කළුවර, නිහඬත්වය තුළ ගලා යන අති ඉසියුම් ස්වර සංධ්වනියන් ආස්වාදනීයය. රාත්‍රිය තරම් සොඳුරු කවියක් තවත් නැතැයි සිතෙන තරමට රාත්‍රිය අනුරාගීය. එහෙත් ඒ චමත්කාර රාත්‍රියම අඳුර සහ භයංකාර ස්වර සම්මිශ්‍රණයක් තුළ චමත්කාර වූ තරමටම බියකරුය. රුදුරුය. විශ්වය තුළ ගෙවී ගියා වූ සියලු රාත්‍රින් තුළ සෑම මොහොතකම සෑම තත්ත්පරයකම තත්ත්පරයකින් සෑම අංශුමාත්‍රයකම බියකරු යමක් සිදු නොවෙමින් පැවති, සිදු නොවෙමින් ගෙවී ගිය රාත්‍රියක් නැත. සීරුවෙන් තුළ දිගහැරෙන්නේ ද එවන් අතිශය බිහිසුණු රාත්‍රියක් අවසන යළිදු උදෑසනකට අඬගසන තෙක් සංසිද්ධියකි.
වරදට උත්තරය දඬුවම නම් ඒ තරම් අයුක්ති සහගත අසාධාරණ ලෝකයක් තවත් හමු නොවේ.
වරද!
වරදට හේතුව!
හේතුවට හේතුව!
නොවිමසමින් වරදට ප්‍රබලම පිළිතුර දඬුවම වූ කල්හි බොහෝ අවස්ථාවන්හිදී මඟහැරෙන්නේ හේතුව කේන්ද්‍ර කරගත් මානුෂීය කතාන්දරයකි.
හේතු විරහිත වරදක් ලොව නැත. පසිඳිය යුත්තේ ඒ හේතු සාධාරණ ද අසාධාරණ ද යන යථාර්ථයෙන් ඔබ්බට සත්‍යයේ ප්‍රතිබිම්බයයි.
අන්ධ විශ්‍රාමික හමුදා නිලධාරියකුගේ නිවස කොල්ලකෑමට රාත්‍රියක පැමිණෙන ගැහැනියක සහ පිරිමින් දෙදෙනෙකු කේන්ද්‍ර කරගත් සීරුවෙන් චිත්‍රපටයේ ප්‍රස්තුතය ඉන් එහා විවරණය නොකරන්නේ ප්‍රේක්ෂක ඔබගේ දෑස් අබිමුව රිදී තිරය ඔස්සේ එය චිත්‍රණය වීමේ ඉඩහසර ඔබ විඳිය යුතු නිසාය. ජැක්සන් ඇන්තනී යන අසීමාන්තික ඇවිදින කලාගාරය අවසන් වරට තම රංග පෞරුෂය වෙනස්ම දිශානතියක් තුළ විදාහල ඒ සිනමා වියමන සීරුවෙන්! ඔබ සීරුවෙන් හිඳ ඒකාත්මික ආලයකින් විඳිය යුතුම යැයි මා සිතන නිසාමය.
පියවි දෑසින් ලොව දැකිය හැකි මිනිසකු රංගනය තුළ පියවි දෑස අත්හැරීම යනු සරල කාරණයක් නොවේ. අන්ධ මිනිසකුගේ ලෝකය තුළ, අන්ධ මිනිසකු සැරිසරන සදාතනික කළුවර තුළ ආත්මීය ආලයකින් අන්ධ මිනිසකුගේ භූමිකාව වෙත පරිවර්තනය වීම යනු සරල කාරණයක් නොවේ. එහෙත් ජැක්සන් ඇන්තනී නම් සුවිශිෂ්ට අසීමාන්තික අතික්‍රමණිකයා රංගනය තුළ පුදුමාකාර වේෂයකින් අන්ධ සොල්දාදුවා තුළ කේන්ද්‍රගත වී ඇත. පෙනෙන දෑස අතහැර ඇත. ඇසෙහි සියුම් චලනයන් ඒ අන්ධත්වය තුළ හසුරවමින් ඇත.
එතරම් ස්ව අනන්‍ය රංග මුද්‍රාවක් සීරුවෙන් තුළ තැබූ ජැක්සන් ඇන්තනී යන විඥානය ජැක්සන් ඇන්තනී යන භෞතිකය හැර නොගියා නම් සිනමාව තුළ, විසුක දස්සනය තුළ සැකෙවින්ම කලාවේ බොහෝකාර වූ දිශානතීන් තුළ ශානරයන් තුළ ජැක්සන්ගේ සුවිසැරිය, සංසරණය කෙසේ වේදැයි මම නොසිතමි. නොසිතන්නේ ඒ සිතීම උත්තරයක් නැති ප්‍රශ්නයක් පමණක්ම වන හෙයිනි.
මානව ජීවිතය තුළ හමුවන ඇතැම් ප්‍රශ්න ප්‍රශ්න ලෙසම තියෙන්නට හරින තාක් සුන්දරය. පිළිතුරු විසඳුම් උපකල්පන හෝ ආදේශ සොයන තාක් එය විඳවීමකි. එහෙයින් උත්තරයකට වඩා ප්‍රශ්නයම සුවදායක වන තැන් ජීවිතයේ දී මුණගැසේ. එහෙයින්ම!
අහෝ සිනමාව වෙනුවෙන් කලාව වෙනුවෙන් ජැක්සන් සිටියා නම් යන්න තවදුරටත් සිතමින් උත්තර සෙවිය යුතු නැතැයි සිතෙන්නේ ඔහු නික්ම ගියේ නික්ම ගිය වෙසින් යළි පැමිණිය නොහැකි තුරුල්ලකට වන හෙයිනි.
සංසාර සැරිසැරීම තුළ කිසිදු විටෙක මරණය හමු නොවේ.
හමුවන්නේ හැර යාම පමණි.
හමුවන්නේ සමුගැනීම පමණි.
භෞතිකය මරණයට පත්වෙද්දී විඥානය විශ්වය තුළ තවත් භෞතිකයක් හා යා වෙමින් විශ්වය තුළ යළි ජීවමාන වෙයි. යළි යළිත් සැරිසරයි. එහෙයින්ම කිසිදු මොහොතක මරණය හමු නොවේ. සිදුවන්නේ කිසිදු තත්ත්පරයක යළි සමුගත් පුද්ගලයා, හැර ගිය පුද්ගලයා ඒ පුද්ගල වේෂයෙන් හමු නොවීම පමණි.
සීරුවෙන් තුළ ජැක්සන්ගේ රංග වින්‍යාසයේ හැඩතල සහ තවරාලූ රංග වර්ණය මා හඬවන්නේත් ප්‍රකම්පනයට පත් කරන්නේත් එහෙයිනි. ඒ රංග සෞන්දර්ය තව තවත් ඔව් තව තවත් ඔපවත් කරන්නට බුද්ධික ජයරත්න, දසුන් පතිරණ, ඩිෂ්නි රාජපක්ෂ මුසු කරන රංග සුසංයෝගය ද ප්‍රසංශනීය ලෙස මනරම්ය. දසුන් පතිරණ යනු සැබැවින්ම සියුම් ලෙස ඕනෑම චරිතයක් ග්‍රහණය කර ගනිමින් ඒ චරිතය තුළට තමන් නතු කිරීමට අප්‍රමාණ ශක්‍යතාවක් ඇති රංගධරයෙකි. ඒ සියුම් රංග ප්‍රවේශය බුද්ධික ජයරත්න ද සතු වන පසුබිමක් තුළ ඒ මුහුව සැබැවින්ම සීරුවෙන් සාර්ථකත්වය උදෙසා දී ඇති දායකත්වය අතිශය සම්මානනීය වෙයි. ඒ සියල්ල තුළ සුදේශ් වසන්ත පීරිස්ගේ අධ්‍යක්ෂණයත් සීරුවෙන් කැමරාකරණයත් කොතරම් ප්‍රබල තියුණු සහ සුමට දැයි පහදන්නට එකම සාක්ෂියත් සීරුවෙන් නිමැවුමෙහි අසීමාන්තිකත්වයම පමණි.
ගෙවී ගිය තත්ත්පර!
ගෙවී යන තත්ත්පර!
ගෙවා හමාර කරන්නට නොපැමිණි තත්ත්පර!
අතර සිදුවිය හැකි සියල්ල සිදුවෙමින් පවතී. විශ්වයේ නියතය එයයි.
ඉඳින් සිදු නොවිය හැක්කේ කුමක්ද? විශ්වය යනු සියල්ල අතර අවිනිශ්චිතය සහ අනපේක්ෂිතයයි!
• සංජීවිකා සමරතුංග