2024 අගෝස්තු 17 වන සෙනසුරාදා

දිලිසෙන දෙපයින් සිනමාවේ ඇවිද ගිය ඇලරික් ලයනල් ප්‍රනාන්දු

 2024 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 02:00 9

රිදී තිරයක් මත චලනය වූ සොඳුරු රූප සදාතනික මතකය මත රඳවා සිය ජීවන භූමිකාවේ සියලු චලනයන් අත්හල තවත් සුන්දර සිනමාවේදියෙක් පසුගිය සතියේ නික්ම ගියේය. ඔහු නමින් අැලරික් ලයනල් ප්‍රනාන්දු නම් වූ අතර ලාංකික සිනමා කර්මාන්තය ඔහුව චිත්‍රපට නිෂ්පාදකයකු සහ අධ්‍යක්ෂවරයකු මෙන්ම සොඳුරු හදැති මිනිසකු ලෙස දැන හැඳින සිටියේය.

ජීවිත සිනමාවට සමුදෙන විට අසූ දෙවැනි වියේ පසුවූ අැලරික් ලයනල් ප්‍රනාන්දු මහතා සිනමාව විෂයෙහි රසාලිප්ත මතකයන් රැසක් ඉතිරි කොට ගොස් තිබේ. දශක හතරකට අධික සිනමා චාරිකාව තුළ අපූරු සිනමාවේදියා විසින් නිර්මිත නිර්මාණ රැසක් අප මතකයේ ලැගුම්ගෙන තිබේ. 1978 දී නිෂ්පාදකවරයකු ලෙසින් සිනමා කර්මාන්තයට පා තබන ලයනල් ප්‍රනාන්දු මහතාගේ පළමු නිෂ්පාදනය අනුපමා විය. සුනිල් ආරියරත්නයන්ගේ නිෂ්පාදනයක් වූ අනුපමා, විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා සහ සුවිනීතා වික්‍රමසිංහ ආදී යුග කාරක රංගධරයන්ගේ රංගනයෙන් හැඩ විය.

සිනමා ඉතිහාසය පිළිබඳ තතු දත් විචාරක සටහන් අනුව අැලරික් ලයනල් ප්‍රනාන්දු, අනූපමා ඔස්සේ සිනමා නිෂ්පාදකයකු බවට පත්වන්නේ විජය කුමාරණතුංගයන්ගේ ආරාධනයෙනි. වරක් සුනිල් ආරියරත්නයන් මෙම නිර්මාණයට නිෂ්පාදකයකු සොයා දෙන ලෙසට විජය කුමාරණතුංගයන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇතැයි කියැවෙයි. ඒ අනුව විජය කුමාරණතුංගයන්ගේ මිතුරකු වූ අැලරික් ලයනල් ප්‍රනාන්දු සිය යෝජනාව ඉදිරිපත් කොට තිබේ. එසේ හෙයින් අැලරික් සිනමාවතරණය විජය කුමාරණතුංගයන්ගේ ආරාධනයෙන් සිදු වූවකි.

1978 දෙසැම්බර් 22 වැනිදා තිරගත වීම ඇරඹුණු අනුපමා, නම් සිනමා නිර්මාණයෙන් ඉක්බිති ශ්‍රී ලාංකික සිනමා වංශ කතාව තුළ ප්‍රතාපවත් නිෂ්පාදක භූමිකාවකට පණ පෙවීමට අැලරික් ලයනල් ප්‍රනාන්දු සමත් වූයේය.

ක්‍රිස්තු චරිතය, මෙම සුවිශේෂී නිෂ්පාදකයාගේ තීරණාත්මක නිර්මාණය විය. ශ්‍රී ලාංකික සිනමාවංශයේ තීරණාත්මක පරිච්ඡේදයක් සනිටුහන් කළ සිනමා කෘතියක් වන ක්‍රිස්තු චරිතය - 1990, අභියෝග රැසක් හමුවේ තිරගත වූ නිර්මාණයකි. අද ද සිනමා විචාරකයන්ගේ ඇගයුමට ලක්වන මෙම නිර්මාණය රිදී තිරය මත ආලෝක සිත්තමක් ලෙස දිග හරින්නට අැලරික් ලයනල් ප්‍රනාන්දු නම් නිෂ්පාදකවරයා සිදු කළ කැපවීම මෙතෙකැයි කියා නිම කළ නොහැකිය.

ක්‍රිස්තු චරිතය, සිංහල සිනමාවට සුනිල් ආරියරත්නයන් හට යෝජනා කරන්නේ අැලරික් ලයනල් ප්‍රනාන්දු බව සිනමා ඉතිහාසයේ ලියැවී තිබේ. ආරම්භයේ දී මෙහි බරපතළ බව දත් සුනිල් ආරියරත්නයන් පවා ඊට එතරම් එකඟතාවයක් නොදැක්වූ බව කියැවේ. එහෙත් මෙම නිර්මාණයට විජය කුමාරණතුංගයන් හට ආරාධනා කර විට ඔහු ඒ සඳහා එක සිතින්ම කැමති වූ බව කියැවේ. එහෙත් ලාංකා ඉතිහාසයේ බිහිසුණු දේශපාලන පරිච්ඡේදයක් සනිටුහන් කළ අසූව දශකයේ නිර්මාණය ඇරඹූ ක්‍රිස්තු චරිතය නිෂ්පාදන අවස්ථාවේදීම තහනමට ලක් විය. මෙය සිංහල සිනමා පටයක් නිෂ්පාදන අවස්ථාවේදීම තහනමට ලක්වූ පළමු අවස්ථාව බව කියැවෙයි.

දේශපාලන, ආගමික දැඩි මර්දනයක් හමුවේ ක්‍රිස්තු චරිතය, නිෂ්පාදනය කරමින් පෙරට පැමිණි අැලරික් නම් සුවිශේෂී නිෂ්පාදකවරයා වර්තමානයේ ද ශ්‍රී ලාංකික සිනමාවේ පෙරළිකාර නිෂ්පාදකවරයකු යන විරුදාවලියට හිමිකම් කියයි. සුවිසල් නිර්මාණයක් වූ ක්‍රිස්තු චරිතය වෙනුවෙන් ඔහු බාධා කිරීම් සහ අභියෝග රැසක් හමුවේ වැය කරන ලද මුදල් කන්දරාව කොතරම්දැයි කීමට අද ද කිසිවකු නොදන්නා බව සිනමාවේදීන් ඔහුගේ වියෝවේදී සටහන් තබමින් පවසා තිබුණි.

ක්‍රිස්තු චරිතය සඳහා පණ දුන් විජය කුමාරණතුංගයන් අකල්හි ඇගයුම් නොලබාම දිවිසැරිය නිමා කළේය. එහෙත් පසුව ඔහු නමින් ක්‍රිස්තු චරිතය වෙනුවෙන් ඇගයුම් රැසක් ලියැවුණි. දේශපාලනික, ආගමික මැදිහත්වීම් මත මුලදී ප්‍රතික්ෂේපිත මෙම නිර්මාණය ශ්‍රී ලාංකික සිනමා වංශ කතාවේ සලකුණුගත නිර්මාණයකි. අැලරික් නම් සොඳුරු සිතැති මිනිසා නොවන්නට මෙවන් නිර්මාණයක් කිසි දිනක බිහි නොවන්නට තිබුණි.

විජය කුමාරණතුංගයන්ගේ සදාතනික මිත්‍රයකු වූ අැලරික් ලයනල් ප්‍රනාන්දු මහතා ඓතිහාසික දේශපාලන මර්දනයක සහ විජය කුමාරණතුංගයන්ගේ ජීවිතයේ බිහිසුණු ඉරණම පිළිබඳව ද රහස් රැසක් සඟවාගෙන නික්ම ගිය බව ඔහුගේ වියෝවෙන් සංවේදී වූ සිනමාවේදීහු කීහ. සැබැවින්ම එය සත්‍යයක් බව ඔහු පිළිබඳ අල්පමාත්‍රික හෝ අවබෝධයක් ලද්දන් විශ්වාස කරනු නොවනුමානය.

ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයට දායකත්වය සැපයූ නිෂ්පාදකවරයාගේ භූමිකාව සිනමා වංශ කතාව තුළ ලියැවී ඇත්තේ ඉතා කෙටියෙනි. මුදල නොව මිත්‍රත්වය මූලික කොට ගනිමින් ඓතිහාසික නිර්මාණ රැසකට පණ දෙන්නට මෙම යුගයේ සිනමා නිෂ්පාදකයෝ කටයුතු කළෝය. අැලරික් ලයනල් ප්‍රනාන්දු නම් අප කතානායකයා ද එම පිරිස අතරෙහි ප්‍රමුඛයෙකි. නිර්මාණවේදීන් රැසක් කර්මාන්තය තුළ නගා සිටුවීමට ඔහු ලබාදුන් දායකත්වය මෙපමණකැයි කිව නොහැකිය. විටෙක ඔහු නිෂ්පාදනය කළ සිනමා පට සංඛ්‍යාව ඉතා සීමිත යැයි යමකු කිව හැකිය. එහෙත් ඔහු ශ්‍රී ලාංකික සිනමාවට දායාද කළ නිර්මාණවේදීන්, නළු නිළියන් සහ කීර්තිමත් සිනමා කාර්මිකයන් සංඛ්‍යාව ඉඳුරාම විශාලය.

නිෂ්පාදකවරයකු සේම අධ්‍යක්ෂකවරයකුගේ ද භූමිකාවට පණ පෙවීමට අවස්ථා කිහිපයක දී අැලරික් ලයනල් ප්‍රනාන්දු මහතා කටයුතු කොට තිබේ. 1987 දී ඔහුගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ රන් දම්වැල්, සිනමා පටය විජය කුමාරණතුංග, සමන් ගුණතිලක, ෆ්‍රෙඩී සිල්වා, මර්වින් ජයතුංග, රෝසි සේනානායක, මැණික් කුරුකුලසූරිය ආදී රංගධරයන්ගෙන් හැඩ විය. ජෝතිපාලයන් සහ වික්ටර් රත්නායකයන් ගෙවූ අමරණීය ගීත කිහිපයක් ද මෙම නිර්මාණයේ ඇතුළත් බව සිහිපත් කළ යුතුමය. නිෂ්පාදන සහ අධ්‍යක්ෂණ භූමිකා ද්විත්වයම ඔස්සේ සිනමාව අධික්‍රමණය කළ අැලරික් නම් වූ සොඳුරු සිනමාවේදියාගේ තවත් නොමැකෙන නිර්මාණයක් ලෙස මැවිලා පෙනේවි රූපේ - 1993, සඳහන් කළ හැකිය. රන්ජන් රාමනායක, දිල්හානි ඒකනායක වැනි රංගවේදීහු මෙම නිර්මාණය සඳහා දායකත්වය සැපයූහ.

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු හා අධ්‍යක්ෂවරයකු ලෙස දිවිසැරිය නිමා කළ අැලරික් ලයනල් ප්‍රනාන්දු මහතාගේ සිනමා චාරිකාව තුළ තවත් නිර්මාණ රැසක් අන්තර්ගතය. එම සෑම නිර්මාණයක් පිටුපසම අැලරික් නම් අපූරු මිනිසා හා බැඳුණු සුවිශේෂී කතන්දර රැසක් සැඟව තිබේ. එම පුවත් පිළිබඳ සාක්ෂි දරන්නෝ ද තවමත් ජීවමානව සිටිති. කිරි සුවඳ, රන් දම්වැල්, මැවිලා පෙනේවි රූපේ, දළුලන ගිනි, සෙනෙහස පෑවා, වැනි ඔහු විසින් නිර්මාණ දායකත්වය සපයන ලද සිනමා පට පිළිබඳව අද ද ශ්‍රී ලාංකික සිනමා රසිකයන්ට මතකය.

බොහෝ ජනප්‍රිය මිනිසුන් ඇසුරෙහි තිරය පිටුපස භූමිකාවකට පණ දුන් අැලරික් ලයනල්  ප්‍රනාන්දු නම් සොඳුරු මිනිසා දැන් අප අතරින් නික්ම ගොස් හමාරය. දිදුලන තරු අතර පසුපස රැඳි මෙම අපූරු මිනිසා සදා නොමැකෙන සිනමා මතක රැසක් අප අතර තබා ගොස් තිබේ. නොයෙක් වර ඔහු සිය නිර්මාණ වෙනුවෙන් ඇගයුමට ද පාත්‍ර වූ බව සඳහන් කළ යුතුය. එහෙත් ඔහු කරළියට රැගෙන ආ මිනිසුන් තරම්ම මෙම සොඳුරු මිනිසා සිනමාවේ නොදිලුණි. එනමුදු ඔහුගේ මතකය ද ඇසුර ද සිනමා කර්මාන්තයේ බොහෝ දෙනකු තුළ සදා නොමැකෙන සොඳුරු මතකයක්ව සුරැකිව තිබේ.

• චමිඳු නිසල්