තත්ත්පරයෙනුත් අංශුමාත්‍රයක් තරම් ඉසියුම්ම ක්ෂණයක් මඟ නෑර ඒ විසල් දුඹුරුවන් දෙනෙත් ගැඹුරෙහි ඇඳෙන වචන නැති කතාන්දර මම කියවූ තරම්.. ඒ දෙනෙත් මත ප්‍රතිබිම්බගත හදවතෙහි උපන් සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද යන භාවයන්හි වර්ණ අවර්ණ සිතුවම් මා වින්ද තරම්... කට කොණකින් නැගෙන අමුතු අයස්කාන්ත සිනාව තුළ රඟදෙන ආලවන්ත රංගජීවයක ප්‍රභාෂ්වරය මා අමන්දානන්දයට පත් කළ තරම්...
ලක්ෂාන් මම ඔබට නොව ඔබ තුළ ආත්මීය ආලයකින් හුස්ම ගන්නා, ඒ අසීමාන්තික සීමාරහිත නළුවාට පෙම් කරමි.
මේ තත්ත්පරය දක්වා ඒ ප්‍රේමයේ අවසන් සාක්ෂිය ලෙස මම ‘දූස්රා’ නම් කර තබමි. ඉනික්බිති ඒ උදෙසා අතීතයටත් අනාගතයටත් අයිති තත්ත්පරයන්හිදී හමුවන සහ හමුවීමට නියමිත සාක්ෂිකරුවන් බොහෝ වන වග ද විශ්වාස කරමි.
ලක්ෂාන් මම ඔබ තුළ ඔබ සොයමි.
ඔබේ ආත්ම නිරාවරණය තුළ මට නැවත නැවතත් මුණගැසෙන්නේ ඔබ නොවේ.
නොවැසි වැසි අවැසි සඳ
අවැසි වැසි වසින සඳ
ලක්ෂාන් මම ඔබ නිර්වචනය කිරීමේ සොඳුරු වෙහෙස දෙවුර නොදරමි.
රසවත් ප්‍රංශ වයින් රසවිඳින මොහොතක තරම් ආස්වාදනීය වින්දනයකින් ප්‍රංශ මිටියාවත් සරා ප්‍රංශයේ ලුවී රජුගේ මාලිගය පුරා සේම තව බොහෝ තැන්හි නාට්‍යමය, සිනමාමය ප්‍රස්තුතයන් තුළ ඔබේ රංග සුවිසැරිය මම සොය සොයා ඇවිදිමින් නැවතිල්ලේ විඳිමින් හිඳිමි. ඔව් ලක්ෂාන් මට ඔබ හමුවූ දා පටන් මම ඔබ විඳිමින් හිඳිමි. ඉඳින් එහෙයින්ම දූස්රා සිනමා වියමනේ නිෂ්පාදකවරයෙක් ලෙස සහ එහි දැනෙන්නට දනවන චරිතයකින් මගේ සිනමාමය පිපාසයට පැන් දෝතක් වත් කරලූ අමුතු නළුවා මම හමුවීමි.
ලක්ෂාන් අබේනායක... දූස්රා ඔස්සේ ලාංකික රසිකාගාරය අමුතු උමතු ගින්දරකින් ඇවිලවූ ඒ අමුතු නළුවාය.
ලක්ෂාන් නළුවෙක් කියන්නෙ කවුද කියන එක ඔබට දැනෙන්නෙ කොහොමද? තමන් තමන්ව මඟහැර තවත් චරිතයක් හා ජීවත් වීම, හුස්ම ගැනීම වෙනස්ම සහ අමුතුම කලාවක්. විරලත්වය තුළ කෙනෙක් නළුවෙක් බවට පරිවර්තනය වන මොහොත ඔබ කොහොමද දකින්නේ?
කඳුළක් උනන්න ඕනෑ ඕනෑම දේකදි ඇහැට එන කඳුළක් තියෙන ඇස් දෙකක්, තව කෙනෙක් දිහා බලලා ඒ කෙනා ගැඹුරින් ආධ්‍යාත්මිකව හා භෞතිකව කියවන්න පුළුවන් හිතක්, ඕනෑම දේකදි නිර්භයව හැසිරෙන කතා කරන ඉදිරිපත් වෙන ස්වභාවය මම විශ්වාස කරනවා ඒ සියල්ල කෙනෙක් නළුවෙක් හෝ නිළියක් බවට ඉඟි කරන මූලික සංඥා ටික. මම මෙහෙම කතාවක් කියන්නම්. ඉස්කෝලේ යන කාලයේ දි මාව ඉස්කෝලේ නාට්‍යවල ප්‍රධාන චරිතයට ගත්තෙ නැහැ. ඒත් මම ආසයි ප්‍රධාන චරිතය කරන්න. ප්‍රධාන චරිතය නොලැබෙද්දි මට හරි දුකයි. හිතේ ඇතිවෙච්ච දුක මගේ පපුවටම තදින් දැනුණා. ප්‍රධාන චරිතයට ආසා මාව පොඩි චරිතයකට ගනිද්දි මගේ හිතේ පැලපැදියම් වෙච්ච විඳවීමක් තිබුණා. ඒ විඳවීම ඇතිවුණේ ඇයි? ඒ විඳවීමට හේතු දෙකක් තිබුණා. එකක් නළුවෙක් වෙන්න මගේ හිතේ තිබුණු ආසාව. අනික් එක ඕනෑම චරිතයක් රඟපාන්න මගේ හිතේ තිබුණු බයක් නැතිකම. නළුකම අස්සේ සීමාරහිතව තෙම්පරාදු වෙන්න, තැලෙන්න, පොඩි වෙන්න, මිරිකෙන්න මට තියෙන්නේ කවදාවත් අවසන් නොවන, කෙළවර නොවන ආසාවක්. ඒ හැම මොහොතකම මම ලක්ෂාන් නෙවෙයි. ලක්ෂාන් අතහැරිය නළුවෙක් මම. මට මගේ තුළ ඉන්න නළුවා හමුවෙන්නේ මම මාව අත්හරින ඕනෑම ක්ෂණයක් තුළ. ඉන් එහා එය නිර්වචනය කරන්න මම දන්නෙ නෑ.
ලක්ෂාන් සහ නළුවා... හඳුනා ගැනීම සනිටුහන් කළ අර්ථකථන මොනවද?
යුරෝපයට ගිහින් රංගන ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ දී මාව ‘කෝච්’ කෙනෙක් ළඟට දැම්මෙ මගේ දැනුම සහ කැමරාව සමඟ මගේ රංගන ක්‍රමවේදය මැන බලන්න. ඒ මුල් කාලයේ මට හොඳින් ප්‍රංශ කතා කරන්න බෑ. ඔහු මා ගැන දුන්න අර්ථකථනය තමයි මෙයාගේ භාෂාව බිංදුවයි, නමුත් කැමරාවත් එක්ක මේ යකාගේ මොකක් හරි තියෙනවා. කැමරාව හා ඒ බැඳීම හරි සංවේදීයි. ඒ ලක්ෂාන් පිළිබඳවූ අසීමිත අර්ථකථනයකි.
ආධ්‍යාත්මිකවත් භෞතිකවත් සිතටත් සිරුරටත් දැනුණු නළු ප්‍රේමයෙන් සමස්තයම හිරි වැටෙද්දී සාරසුබාවට සුබ සිහින දකිමින් ලක්ෂාන් ප්‍රංශයේ ගෙවෙන තත්ත්පර බොහෝ මිඩංගු කළේ රංගනය ගැන හදාරන්නටය. දරාගත හැකිදැයි සිතෙන දරාගන්නේ කොහොමදැයි සිතෙන රුදුරුම සීතලක් වුව මිහිරිතම උණුසුමක් බවට පරිවර්තනය කරන්නට ලක්ෂාන්ට හැකිවුණි නම් ඒ රංගනය හා බැඳුණු ප්‍රේමයේ තරම කිසිදා කිසිවකට පරාජිත නොවූ හෙයින්මය. එහෙයින්ම රංගනය හා යා වූ සියලු ප්‍රාණසම ස්නේහ හුස්ම තුළ ලක්ෂාන් සදාකාලික අපරාජිතයෙක්ම වූයේය.
අයිස් කන්දක් දිය කරගත් වතුරක් තරම් සීතල වතුරක් සිරුරට වැක්කෙරෙන මොහොතක් වුව ඒ රංගනය පිණිස නම් දුටු සතුටු සිතින් ලක්ෂාන් ඒ සීතලත් තුටින් විඳ ගත්තේය. දාහය දැනෙන්නට දහඩිය ද සීතල ද උණුසුම ද තවරාන රංගනයේ අනන්ත සීමාවන් අතික්‍රමණය කරන්නට ප්‍රංශයේ සිනමාමය ද්වාරයන් විවර කර ගනිමින් ලක්ෂාන් සිහින දුටුවේ ඒ සිහින සිහිනයෙන් ඇහැරවා ඒ සිහිනයන්ට අත්තටු පළඳන දවස් ජීවිතය වෙත කැඳවා ගනිමිනි. වරෙක වර්ෂ එක්දහස් පන්සිය හතළිස් ගණන්වල ලියූ ප්‍රංශ කවියක පේළි දෙකක් ගයන්නට දුන් ඉඩහසර සොඳුරු අභියෝගයක් ලෙස බාරගත් මේ අපූරු නළුවා අවසන කවියෙහි පේළි දෙක වෙනුවට ඈත යුගයක ප්‍රංශයේ ව්‍යවහාර වූ අමුතු ප්‍රංශ භාෂාවෙන් ලියැවුණු ප්‍රංශ කවියම පාඩම් කළේය. ලක්ෂාන් තුළ මට හමුවන ලක්ෂාන් විනිවිද මා විඳින මා කියවන නළුවා ගැන මතක පුරාණයක අකුරු දිගේ ඇවිදිද්දී මට ඔහු හමුවන එක තැනක් එතැනය.
“අදටත් ඒ කවිය මට අමතක නෑ... අමතක කරන්න බෑ... ඔහු මේ මොහොතේත් එසේ කියයි.
ඒ තමයි නළුවා... ලක්ෂාන් තුළ හුස්ම ගන්න අපූරු නළුවා... ඒ තමයි නළුවා... මේ මොහොතේ මගේ හිත එලෙස උත්තර සපයයි.”
කැරිබියන් දූපත්වල විදාහල රංග භූමිකාවන් සේම ප්‍රංශ ටෙලි මාලාවන්හි සහ සිනමා වියමන්හි ස්ව මුද්‍රාව නිරායාසයෙන් තැබූ මතක සමුදායන්, ස්වභාවිකත්වයෙන් ඔබ්බට රංග පරායාසයන් තුළ සැරිසරද්දීත් ඒ ස්වභාවික නොවන චරිත වර්ණය ස්වභාවික රංග සම්මිශ්‍රණයකින් වර්ණවත් කළ ලක්ෂාන් අබේනායකගෙන් මෙසේ අසන්නට මට සිත්විය.
රංගනය හා බැඳෙන ඕනෑම තත්ත්පරයක ඔබ ලක්ෂාන් නෙවෙයි... ඔබ කොතැනකදීද ලක්ෂාන්ව අතහරින්නේත් යළි ලක්ෂාන්ව වැළඳ ගන්නේත්?
මම ඕනෑම චරිතයක් පටන් ගන්නෙම මම – මම විදිහට නෙවෙයි. අන්න ඒ මම මම නෙවෙයි කියන හිතුවිල්ල එන මොහොෙත් තමයි මම මාව අත්හරින්නෙත්. මම රොඩී කියන චරිතය කරනවා නම් ඒ චරිතය හමාරවන තුරු ඒ රංග පසුබිම තුළ කිසිම හේතුවක් නිසා මම – මම නෙවෙයි. මා තුළ යම් ආතතියක් තියෙනවනම් ඒ සියල්ල මම මුදාහැරලා පුදුමාකාර නිදහසක් ලබනවා. ඇඟිලි තුඩුවලින් හිටගෙන ඉද්දි මා තුළ යම් ආතතියක් තියෙනවනම් ඒ සියල්ල බැහැර වෙනවා. ඒ ලබන ආත්ම නිදහස තුළ මට පුළුවන් ඕනෑම චරිතයක් තුළ ආත්මගත වෙන්න. නළුවෙකුට ඒ ආත්මගත වීම ලබන්න තමන්ට අනන්‍ය එක් එක් ක්‍රමවේද තියෙනවා. ඒ ආත්ම නිදහස තුළ ඒ මොහොතේ මම සියලු ගැට බන්ධනවලින් මිඳුණු නිදහස් ජීවියෙක්. මා තුළට චරිතයක වේෂයෙන් ඕනෑම මනෝභාවයකට හැඩතලයකට සේන්දු වෙන්න අන්න එතෙන්දි පුළුවන්.
ලක්ෂාන් මට කියන්න රංගවේදියකු වෙනුවෙන් සමාජමය කාර්යභාරයක අවශ්‍යතාව ඔබට දැනෙන්නෙ කොහොමද?
කලාව පූජනීයත්වයෙන් සලකන රටවල් වගේම කලාව සමාජීය අවශ්‍යතාවක්, සමාජයක පෙරටුගාමි බලවේගයක්, ජන විඥානයට ප්‍රබල බලපෑම්කාරකයක් වන අතිශය සියුම් සන්නිවේදනාත්මක මාධ්‍යයක් ලෙස සලකන රටවල් ලෝකයේ තියෙනවා. කලාව වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන කලාවෙහි නියුතු පාර්ශ්වයන් සෙනෙහසින් රැකබලා ගන්න, ඔවුන්ට සමාජීය වශයෙන් හා ගුණාත්මක වශයෙන් වටිනාකම් ලබාදෙන රටවල් ලෝකයේ තියෙනවා. ප්‍රංශයේ නළුවෙකුට විශ්‍රාම වැටුපක් ගෙවන ක්‍රමවේදයක් තියෙනවා. කලාවෙහි නියුතු පාර්ශ්ව, නළු නිළියන් ආර්ථික පීඩනය තුළ තනි නොකරන, සිර නොකරන ක්‍රමවේදයක් තියෙනවා. සැබැවින්ම විශ්වීය කලාවක් ලෝකයට දායාද කිරීම වෙනුවෙන් ඒ ආර්ථික සුරක්ෂිතභාවය ඔවුන්ට හිමිවිය යුතුයි. මානසික නිදහස සහ සතුට කලාවේදියකුට අවශ්‍යයි. පොළොවට විසි කරන බීජය අනුව තමයි අස්වැන්න තීරණය වෙන්නේ. වී.අයි. ලෙනින් රුසියානු විප්ලවයේ ආරම්භය සනිටුහන් කළේ රුසියානු සාහිත්‍ය තුළින්. ජන විඥානය සාහිත්‍ය තුළින් නිවැරදි දිශානතියකට මෙහෙයවීම තුළ ලෙනින් විප්ලවයකට පදනම සකස් කළා. රුසියානු විප්ලවයේ කැඩපත ලෙස ඔහු හැඳින්වූයේ ලියෝ තෝල්ස්තෝයි. ඇත්තටම සාහිත්‍ය පෙරගමන්කරුවකු බවට පරිවර්තනය කර ගනිමින් රුසියාව සැබෑ විප්ලවයක් ඇති කළා. ඉතින් ඉතිහාසයේ ඉඳන් අද දක්වාම සාහිත්‍යවේදී, සිනමාවේදීන්, කලාවේදීන් කල මෙහෙවර සුවිසල්. සමාජීය ඇගැයීම් සහ සුරක්ෂිතභාවය නිසැකවම ඔවුන්ට අවශ්‍යයි.
සාහිත්‍යයට වගේම අතිශය සියුම් සහ ප්‍රබල ශානරයක් වූ සිනමාවටත් සමාජ විප්ලවයක් සහ සමාජ ශෝධනයක් කළ හැකි වග මම විශ්වාස කරනවා. ලක්ෂාන් ඔබ?
සැබැවින්ම ඔව්... කලාවට සාහිත්‍යයට ගීතයට සිනමාවට මේ ආදී වශයෙන් කලාවේ ශානරයන්ට පුළුවන් ජන මනසට අතිශය සියුම් සහ ප්‍රබල ලෙස ආමන්ත්‍රණය කරන්න. විශේෂයෙන් අද ඔබගෙත් මගෙත් මාතෘකාව සිනමාව පාදකව ගොඩනැගෙන නිසා මම සිනමාව අරගෙන කතා කළොත් සිනමාව කියන්නේ විවිධ දිශානතින් ඔස්සේ ඉතාමත් සියුම් ලෙස සහ මානවවාදී ලෙස මනුස්ස හැඟීම් ගැඹුරට නිර්වචනය කරමින් දිගහරිමින් මනුෂ්‍ය මනසේ අතිශය සංවේදී සහ ගැඹුරු මානයන්ට ආමන්ත්‍රණය කරන විශ්වීය භාෂාවක්. කොන්දේසි විරහිතව ජාති ආගම් කුල පන්ති භේදවලින් විනිර්මුක්තව වී.අයි. ලෙනින් ගොඩනැගුවා හා සමාන සාධු සම්මත විප්ලවවාදී සමාජයක් වෙනුවෙන් පවුරු පදනම් ගොඩනැංවිය හැකි මාධ්‍යයක්. ඉතා සියුම් ප්‍රබල ප්‍රස්තුතයක් අරගෙන ඒ වටා සංකේන්ද්‍රණය වූ භාව ගොඩනංවමින් අපූරු නිර්මාණාත්මක හැඩතල ඔස්සේ නිර්මාණය කරන සුවිශිෂ්ට සිනමා කෘති ලෝකයේ තියෙනවා. ලෝකය වෙනස් වන ආරම්භය තියෙන්නේ මනුෂ්‍ය හදවත් මත. මේ ලෝකයේ සියලුම භෞතිකයන් නිර්මාණය වන පළමු තැන සිතුවිල්ල. සිනමාව ප්‍රබල සියුම් සහ ගැඹුරු ලෙස ආමන්ත්‍රණය කරන්නෙත් ඒ සිතුවිල්ලට.
මා හඳුනාගත් ලක්ෂාන් අබේනායක.. දූස්රා තුළින් මා තවදුරටත් කියවාගත් ලක්ෂාන් අබේනායක.. ඔබ යනු සිනමාව සහ කලාව පිළිබඳව න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව දැනුම් සහ අත්දැකීම් මහ කන්දරාවක් දරාගත් මහ වනස්පතියක්. ඒ දැනුම ඒ අත්දැකීම් ශ්‍රී ලාංකික සිනමාව සහ ලාංකික කලාව නව මානයන් තුළ ඇහැරවනු පිණිස යොදාගත යුතුයි මට එහෙම හිතෙනවා. මට දෙන්න උත්තරයක්?
එය එසේ විය යුතුයි කියන තැන මම අද ඉන්නවා. මල් සේම ගල් ද ඉසින, විසි කරන බවත් හැඟෙනවා. නමුත් පිහි තුඩු මත ඉඳගෙන වුවත් තම කාර්යභාරය මානව සංහතිය වෙනුවෙන් ඉටුකිරීමේ යුතුකම, වගකීම මනුෂ්‍යයකුට තියෙන බව මම විශ්වාස කරනවා. මම ලෑස්තියි.. ඔව් මම දැන් ලෑස්තියි.
සැප්තැම්බර් 18 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත Religion Today International Film Festival හී ජූරි සභිකයකු ලෙස ආරාධනා ලබන්නට තරම් ජාත්‍යන්තරය තුළ තම මුද්‍රාව සනිටුහන් කළ ලක්ෂාන් අබේනායක මා නිර්වචනය කරන්නේ අසීමාන්තික සිනමාමය සහ කලාත්මක ශක්‍යතාවයන්ගෙන් පරිපූර්ණ පුස්තකයක් ලෙසයි. එහි පරිච්ඡේදයන්හි පිල්ලමක් කොම්බුවක් නෑර අක්ෂර අලංකරණ ගැට පද විවරණ සියල්ලෙහි සාරය ලාංකික සිනමාව සහ කලාව මහා වනස්පතියක් බවට පත් කරනු වස් යොදාගත හැකි වෙත්! ලක්ෂාන්යනුම සාරෙට අස්වැදුණු මහ පොළොවකි. දූස්රා පැලවුණෙත් දළු කොළ මල් ඵල සමඟ අතු අගිසි අගිසි පුරා මල් ගවසා හෙට දවසක හිනැහෙන්නේත් එවන් මහා සිනමාමය සහ කලාත්මක පොළොවක් ගැන සිහිනයක සංඥාවක් ලෙස යැයි තවදුරටත් සිතෙ.
“ඔව් මම දැන් ලෑස්තියි”
ලක්ෂාන් ඒ වචන ලාංකික සිනමාමය හෙටක් වෙනුවෙන් ඇරෙන ද්වාරයක රන් යතුරක් වග සිතන්නට ඉතින් මට අවසරයි.
• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ