2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

සරුංගලේ භාවනාවක්ලු සරුංගලේ!

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

ඔන්න සුදූ අගෝස්තු ඉස්කෝලේ නිවාඩුව ආවා. එහෙන් මෙහෙන් සරුංගල් දෙක තුනක් නිල් පාට ආකාසේ දකින්නත් ලැබුණා. අපේ රටේ වගේම මුළු ලෝකෙ පුරාම සදාතනික Trend එකක් තමයි සරුංගල් යැවීම කියලා කියන්නෙ. අපේ රටේ නම් අගෝස්තු පාසල් නිවාඩුවේදී තමයි සරුංගල් වසන්තය උදා වෙන්නේ. ඒ නිසාම මෙදා පාර Y Trend එක සරුංගල් වෙනුවෙන්ම වෙන් කරන්න අපි තීරණය කළා.

චූටි චූටි දුවලා පුතාලා වගේම තරුණ අයියලාටත්, ලොකු නැන්දලා මාමලටත් සරුංගල් කියන්නෙ හරිම අපූරු අත්දැකීමක්. අහසේ සරුංගලයක් දැක්කම ඕනෑම වයසක කෙනෙක් ටිකක් වෙලා ඒ දිහා බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්. ඒකට හේතුව තමයි සුදෝ සරුංගලේ කියලා කියන්නේ අපූරු නිර්මාණයක් වීම. නූලක් දිගේ අහසට යන සරුංගලය අහසේ ඒ මේ අත පැද්දි පැද්දි තියෙන විදිය ඇත්තටම බලන්න අපූරු සිද්ධියක්.

සුළං සැරේ අහසට යන සරුංගලේ ඉතිහාසය දැන කියාගෙනම අපි කතාව පටන්ගමු. සරුංගල් යැව්වට, සරුංගල් හැදුවට ගොඩක් දෙනෙක් මේ ඉතිහාස කතාව නම් දන්නෙ නෑ මචෝ. දැනට තියෙන ඉතිහාස සාක්ෂි සාධක අනුව සරුංගලේ ඉපදුණේ චීනයේ. ඉතිහාසගත පළමු සරුංගල් යැවීම පිළිබඳ අපිට අහන්න ලැබෙන්නේ ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ වගේ. ඒ කාලේ චීනෙ හිටපු මෝ ඩී සහ ලූ බෑන් දාර්ශනිකයෝ දෙන්නා සරුංගලයක් හදලා දින තුනක් අහසේ පා කළා කියලා තමයි ඒ කතාවල කියැවෙන්නෙ.

දැන් මචෝ අපිට සරුංගලයක් කියලා කියන්නෙ සෙල්ලම් උපකරණයක්. සරුංගල් යැවීම කියන්නේ විනෝද ක්‍රීඩාවක්. ඒ වුණත් මුල් කාලේ චීනයේ සරුංගලය එක එක දේවල්වලට භාවිත වෙලා තියෙනවා. දාර්ශනිකයෝ සරුංගල් යවන්න පටන් ගත්ත නිසාද කොහෙද සරුංගල් යැවීම භාවනාවක් විදියටත් චීනය තුළ භාවිත වෙලා. ඒ විතරක් නෙවෙයි මචෝ, ධීවර ආම්පන්නයක් විදියටත්, යුද උපකරණයක් විදියටත් සරුංගල් භාවිත වෙලා තියෙනවා. සරුංගල්වල නැගලා නගර ආක්‍රමණය කරන්න ගියපු සොල්දාදුවෝ ගැන ලස්සන ලස්සන කතන්දර චීන ඉතිහාසයේ තියෙනවා.

මේවා ඇහුවම නම් සුදාලගේ ඔළුව ටිකක් විතර මඤ්ඤං වෙන බව ඇත්ත. ඒත් මේවා සිරා සිද්ධි. පස්සේ කාලෙක නැගෙනහිර සහ ගිනිකොණ දිග ආසියාව පැත්තෙන් චීනය හරහා සරුංගල් සම්බන්ධ සංකල්පය ලෝකෙ පුරා පැතිර ගිය බව තමා විශ්වාස කරන්නේ. කොහොම වුණත් අද වෙනකොට සරුංගල් කියලා කියන්නෙ චීනයට විතරක් අයිති දෙයක් නම් නෙවේ. සියවස් ගණනාවක් තිස්සේ සරුංගල් සංස්කෘතිය ලෝකෙ රටවල්වල එක එක විදිහට විකාශනය වෙලා තියෙනවා. ඒ අයට අනන්‍ය සරුංගල් සංස්කෘතියක් තියෙනවා.

දැන් බලන්න සුදාලා දන්නවා අපි පුංචි කාලේ සරුංගල් හදපු විදිහ. ඒක වෙනම කලාවක් නේද? රෑ ගම පුරා ඇවිදලා බට පතුරු, ඉරටු, බිලී පිති වගේ දේවල් එකතු කර ගත්තත් සව්කොළ ටිකක් ගන්න කීයක් හරි වැඩිහිටියකුගෙන් ඉල්ලා ගත්තේ බොහොම අමාරුවෙන්. එතකොට අපි හදන්නේ මොණරෙක්ද? නයෙක්ද? පෙට්ටි සරුංගලයක්ද? මොකක්ද කියලා අපි තීරණය කළා. සමහර වෙලාවට දිගම දිග නැට්ටක් සරුංගලයට දාන්න අපිට තිබුණේ පුදුමාකාර ආසාවක්. අම්මලගේ සාරි පවා අපි ඒවට දැම්මා. ඒකේ දිග අනුව පුංචි තරගකාරී බවකුත් නැතිවුණාම නෙවෙයි.

ඒ වගේම යාළුවෝ එක්ක එකතුවෙලා සරුංගල් හදපු විදිය, සරුංගල් කඩාගෙන ගියාම අපි ඒ පස්සෙන් ගියපු විදිය, ලොකු සරුංගල් හදන්න තිබුණු තරගය, මේ හැමදේම අපේ සරුංගල් සංස්කෘතියේ කොටස්. හැබැයි ලෝකයේ තවත් තැන්වල මේක මීට වඩා වෙනස් විදිහට තියෙනවා. අදටත් සමහර තැන්වල සරුංගල් කියලා කියන්නේ දැඩි තරගකාරී ක්‍රීඩාවක් විදියටත් හැඳින්වෙනවා. “සරුංගල් ලුහුබඳින්නා” කියන ඇෆ්ගනිස්ථානය පදනම් කරගත්ත ලෝක සාහිත්‍යයේ සුවිශේෂී කෘතියේ මේ රටේ සරුංගල් සංස්කෘතිය ගැන අපූරුවට විස්තර වෙලා තියෙනවා. ඇත්තටම ඇෆ්ගනිස්ථානය වගේ රටවල්වල මේක ජාතික ක්‍රීඩාවක්.

වර්තමානයට ආවොත් ලෝකය පුරා සරුංගල් සැණකෙළිවලට තමයි ලොකු අවධානයක් ලැබෙන්නේ. සිරාවටම මචෝ ඒක පිස්සු හැදෙන Y Trend එකක්. නැ‍ගෙනහිර චීනයේ වෙයිෆැන්ග් නුවර පැවැත්වෙන වාර්ෂික සරුංගල් සැණකෙළිය ලෝකයේ ප්‍රසිද්ධම ප්‍රධානම සරුංගල් සැණකෙළියක් මචෝ. “Kite king” සරුංගල් රජු කියන විරුදාවලිය වෙනුවෙන් තමයි මේකෙදි මිනිස්සු තරග කරන්නේ. රටවල් 40කින් 50කින් මේ තරගකරුවෝ මේ සැණකෙළියට එනවා. මේ නගරයේ සරුංගල් කෞතුකාගාරයකුත් තියෙනවා. මල්වෙඩි සංදර්ශන, චීන සාම්ප්‍රදායික නැටුම් ගැයුම් ගොඩක් දේවල් මේ සංදර්ශනයේ අංග විදිහට දැකගන්න පුළුවන්.

සුදාලා දන්නවා ගෝල්ෆේස් එක කියන්නේ ලංකාවේ අපේ සරුංගල් පාරාදීසය. හැම වසරකම ගෝල්ෆේස් එකෙත් සරුංගල් සැණකෙළි දෙක තුනක් පැවැත්වෙනවා. යම් මට්ටමකට උසස් විදියට පවත්වන සරුංගල් සැණකෙළියක් පසුගිය කාලේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධානය කරනවා අපි දැක්කා. ඒත් මචෝ ලෝකෙ තියෙන සරුංගල් සැණකෙළි දිහා බැලුවොත් අපි කරන්නේ මොනවද කියලා සුදාලට හිතෙයි.

ප්‍රධානම සරුංගල් සැණකෙළිය චීනයේ පැවැත්වුණාට ලෝකයේ ලොකුම සරුංගල් සැණකෙළිය පැවැත්වෙන්නෙ අසල්වැසි ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ. සුදාලා විශ්වාස කරන එකක් නෑ, ප්‍රාන්ත රජය සැණකෙළියට දවස් දෙකක් නිවාඩු දෙනවා. ගොඩක් වාර්තාවල කියැවෙන විදිහට රටවල් 42 කින් විතර පිරිස් ගුජරාටි සරුංගල් සැණකෙළියට එනවා. ඒ විතරක් නෙවෙයි, මිලියන දහයක් විතර ජන සහභාගීත්වයක් මේ සැණකෙළි සමයට තියෙනවා කියලයි කියන්නේ. මේ සීන් කෝන් එක ඇත්තටම පිස්සුවක්. සුදාලට අන්තර්ජාලය ඔස්සේ විස්තර හොයලා බලන්නත් පුළුවන්.

ඉන්දුනීසියාව, ජපානය විතරක් නෙවෙයි ඇමෙරිකා එක්සත් ජනපදය වගේම යුරෝපයේ රටවල් ගණනාවකත් මේ වෙනකොට සරුංගල් සැණකෙළි විශාල වශයෙන් සංවිධානය වෙනවා. ඇත්තටම මචෝ ඒ සරුංගල් සැණකෙළි අපි දැනට අත්දැකලා තියෙන සරුංගල් සැණකෙළිවලට වඩා ගොඩක් වෙනස්. ඇත්තටම මචෝ මේ ඔස්සේ සංචාරක ආකර්ෂණය දිනාගන්න ඒ රටවල් සහ ඒ සැණකෙළි සංවිධායකයන් සමත්වෙලා තියෙනවා. ලංකාවෙ අපිත් කරන්න උත්සාහ කරනවා නම් ඔන්න ඕක සුපිරි වැඩක්.

ජාත්‍යන්තර සරුංගල් සැණකෙළි කතාව කෙසේ වෙතත් මේ වෙනකොට අපේ ළමා ළපටි සරුංගල් හදන්නේ හරිම අඩුවෙන්. සරුංගලයක් යවලා එය නිදහස්ව විඳගෙන සතුටු වෙන්න දරුවන්ට වෙලාවක් නැහැ. ඒ නිසාම ඔන්න මචෝ අපි යෝජනා කරනවා පුළුවන් නම් දරුවන්ට මේ පාර අගෝස්තු නිවාඩුවට සරුංගලයක් හදලා දෙන්න. ඔයාලා සරුංගලයත් එක්ක විඳපු නිදහස සතුට දරුවන්ටත් විඳින්න ඉඩ හරින්න. ඒ මතකය වගේම අත්දැකීමත් දරුවන්ගේ ජීවිතවලට වටිනාකමක් එකතු කරාවි.

• චමිඳු නිසල්