2024 අගෝස්තු 24 වන සෙනසුරාදා

අකුරු කියන්නෙම පුදුමාකාර සැනසීමක්!

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කළ ‘කම්බිලි’ සිනමා පටයේ තිර පිටපත් රචකයා ඔබයි. ඒ නිර්මාණයට දායක වෙන්න ලැබුණේ කොහොමද?

‘කම්බිලි’ නිර්මාණය ආරම්භ වෙන්නටත් කලින් ප්‍රසාද් මට තිර පිටපත් ලියමු යැයි ආරාධනා කළා. මුලින්ම  රීමේක් එකක් කරන්න යෝජනාවක් තිබුණත් ස්වතන්ත්‍ර පිටපතක් ලියන අදහසක් මට ඇතිවුණා. ස්වතන්ත්‍ර නිර්මාණයක කළ හැකි දේවල් බොහෝයි. ඒ නිසා මම ස්වතන්ත්‍ර පිටපතකින් වැඩක් කරමු යැයි යෝජනා කළා. ඒ අනුව අපි කතා සංකල්පයක් මුලින්ම ගොඩනැගුවා.

‘කම්බිලි’ සිනමා පටය එක්තරා මියුසික් වීඩියෝවක දිගහැරුමක් නේද?

ඔව්... ප්‍රසාද් මියුසික් වීඩියෝ බොහොමයක් කළ කෙනෙක්. ඔහුගේ එවැනි ගීත කිහිපයක් මට එවලා ඒවාට මියුසික් වීඩියෝ තිර පිටපත් කිහිපයක්ම මම අතින් නිර්මාණය වුණා. එහෙම ලියැවුණු මියුසික් වීඩියෝවක් තමයි ෆැලන් ඇන්ඩ්‍රියාගේ ‘වෙද ගෙදර’ කියන මියුසික් වීඩියෝව. ඒ නිසා සිනමා පටයේ තිර පිටපත ලියද්දී ‘වෙද ගෙදර’ මූලික කරගෙන ලියමු යැයි අපි හැමෝගෙම අදහසක් ඇතිවෙලා තිබුණා.

‘කම්බිලි’ තිර පිටපත ලියන්න ඔබට කොයි තරම් කාලයක් ගත වුණාද?

2022 වසරේ දී තමයි මට ප්‍රසාද් මෙහි තිර පිටපත ලියන්න ආරාධනා කළේ. ඒ වෙද්දී මම ‘ධරණි’ ටෙලිනාට්‍යයේ පිටපත ලියලා අවසන් කරලයි තිබුණේ. ඒ නාලිකාවටම තවත් අලුත් පිටපතක් ලියන්න මට පොඩි විවේක කාලයක් තිබුණා. ඒ මාස හත මම සම්පූර්ණයෙන්ම ‘කම්බිලි’ සිනමා පිටපත ලියන්න කැප කළා. ඒ අනුව මෙම සිනමා පිටපත මාස හතක් අටක් ඇතුළත දී ලියලා අවසන් කළා.

තිර පිටපතේදී අධ්‍යක්ෂ වෙනස් කළ චරිත තිබුණාද?

මම කතාව ලියද්දි මුලින්ම කතා සාරාංශය ගොඩනගලා අවශ්‍ය චරිත දළ වශයෙන් වෙන් කර ගන්නවා. ටෙලිනාට්‍යවලටත් වඩා සිනමා පිටපත ලියද්දී, “මේ අය ගමු” කියන අදහස ඇතුව තමයි ලිව්වේ. ප්‍රසාද් සමඟ මම හැමවෙලේම ඒ සම්බන්ධයෙන් කතාබහ කළා. එම පිටපත ලියද්දීම හිතාගෙන හිටපු බොහෝ චරිත එකතු කර ගන්න පුළුවන් වුණත් වෙනස් වුණු චරිත කිහිපයක්ම තිබුණා. තිර පිටපත සඳහා අපේ අධ්‍යක්ෂ සහ නිෂ්පාදකගෙ උපරිම සහයෝගය මට ලැබුණා. හැබැයි ඇතැම් ප්‍රායෝගික කරුණු එක්ක සුළු චරිත ටිකක් වෙනස් වුණා.

තිර පිටපත් රචකයාට අමතරව නිදුක් කම්බිලි සිනමා පටයේ තවත් කටයුත්තක් සොයා බලා සිදු කළා නේද?

ඔව්... කම්බිලි සිනමා පටයේ ආරම්භයේ හිටපු නිෂ්පාදන කළමනාකරු එක්තරා හේතුවක් නිසා නිර්මාණයෙන් අයින් වුණා. ඒ නිසා ඒ විශ්වසනීය කටයුත්ත මට බාරගන්න කියලා ‘කම්බිලි’ කණ්ඩායමෙන් යෝජනාවක් ආවා. ඒ අනුව තිර පිටපත් රචකයාට අමතරව නිෂ්පාදන කළමනාකරු ලෙසින් කටයුතු කරන්නත් මට සිදු වුණා. මට හැමදාම රූගත කිරීම් කරන ස්ථානවලට යන්න සිදු වුණා. නමුත් හැම මොහොතකම රූගත කිරීම් කරන හැටි බලන්න නම් මට බැරි වුණා.

නිදුක්... මේ ප්‍රථම සිනමා නිර්මාණ පිටපතද?

ඔව්... මෙය ප්‍රථම සිනමා තිර පිටපතයි. මම මුලින්ම පුවත්පත් කලාවට සම්බන්ධ වුණා. කාලයක් මට පුවත්පත්වලට නවකතා ලියන්න අවස්ථාව ලැබුණා. ඔය අතරේ මට ගුවන්විදුලි නාලිකා කිහිපයකම රේඩියෝ නාට්‍ය පිටපත් ලියන්න අවස්ථාව ලැබුණා. ඒ අතරින් සමීක්ෂණ වාර්තාවලින් අංක එකේ රේඩියෝ නාට්‍ය බවට මම ලියූ නාට්‍ය පත් වුණා. ඔය අතරේ දෙරණ නාලිකාවෙන් ටෙලි පිටපතක් ලියන්න ආරාධනාවක් ලැබුණා. ඒ අනුව මම ‘ධරණි’ ටෙලිනාට්‍යයේ තිර පිටපත් රචකයා ලෙසින් සම්බන්ධ වුණා. ඒ ටෙලිනාට්‍ය අවසානයේදී මේ වන විට විකාශනය වෙන ‘සැලෙනා නුවන්’ ටෙලිනාට්‍යයේත්, ‘ප්‍රාර්ථනා’ ටෙලිනාට්‍යයේත් දෙකේම පිටපත් රචකයා විදිහට කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ‘කම්බිලි’ කියන්නේ සිනමා තිර පිටපත් රචකයෙක් ලෙසින් මම සම්බන්ධ වුණු මුල්ම සිනමා පටයයි.

‘කම්බිලි’ සිනමා පටයේ අධ්‍යක්ෂවරයා ප්‍රසාද් කළුපහනව ඔබට මුණගැහුණේ කොහොමද?

තිර පිටපත් රචකයෙක් විදියට මාව හඳුනා ගත්තට පස්සේ ප්‍රසාද් හා මම මුණගැහුණා. ඔහුට සිනමා පටයක් කරන්න ලොකු වුවමනාවක් තිබුණා. අපි මුලින්ම තිර පිටපතක් ලිව්වත් ඒක කෙරුණේ නැහැ. ඔය අතරේ ප්‍රසාද් ඔහුගේ මියුසික් වීඩියෝවලට මාව තිර රචකයා විදිහට සම්බන්ධ කර ගත්තා. ඒ වසර ගණනාවක දැන හඳුනා ගැනීම තමයි ‘කම්බිලි’ දක්වා දුරදිග ගියේ ගියේ. අද වනවිට මම වෘත්තියෙන් තිර රචකයෙක් ලෙසින් කටයුතු කරනවා. මේ වන විට මම තවත් සිනමා තිර පිටපතක් ලියමින් පවතිනවා.

තිර පිටපත් රචකයෙක් වෙන්න නිදුක්ගේ ආසාවක් තිබුණද?

ඔව්... මට ලියන්න මාර උණක් තිබුණා. හිතට දැනෙන හැමදේම මට ලියන්න ඕනෑ වුණා. ඕනෑම දේකදී යාළුවෙක්ට හරි, කාට හරි කියලා සැනසීමක් ලබා ගන්නවාට වඩා අකුරු ලිවීමෙන් හිතට සැනසීමක් දැනුණා. ඒ නිසා මට දැනෙන ඒ හැඟීම් හැම මොහොතකම මම ලිව්වා. ඒ කාලේ මගේ අකුරු හරි කැතයි. අදටත් එහෙමම තමයි. ඉතින් ඒ මම ලියපු දේවල් හරි ලස්සනට මගේ යාළුවෙලා හිටපු ගෑනු ළමයා ආයෙත් ලියලා දුන්නා. ඒ ලස්සන අකුරු පත්තරවලට යැව්වාම ඒ මම ලියපු දේවල් පත්තරවල පළ වුණා. පසුකාලීනව ඒ මම ලියපු දේවල් නිසා පත්තර රස්සාවටම එකතු වෙන්න මට පුළුවන් වුණා. එදා මගේ කැත අකුරු ලස්සනට ලියපු ඒ ගෑනු ළමයා අද මගේ බිරිඳ විදියට මාත් එක්ක සතුටින් ජීවත් වෙනවා. ඇය රජයේ පාසලක වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරියක්. ‘කම්බිලි’ සිනමා පටය ගැන මට ගොඩක් සතුටුයි. මම හිතන විදිහට නිර්මාණයක මුලින්ම රූප මැවෙන්නේ තිර පිටපත් රචකයාගේ සිත තුළයි. මනසින් ඒ රූප තිර පිටපත් රචකයාට දකින්න ලැබෙනවා. ඒ පරිකල්පනයේ හිටපු චරිත පුළුල් තිරයෙන් දකිද්දී අද මට ලොකු සතුටක් දැනෙනවා.

• දිශානි ජයමාලි