කඳුකරයේ තරුණ යුවලක් සීත කඳු අතර දිවෙන දුම්රියේ, කැලිප්සෝ රිද්මය මවමින් දේශ දේශාන්තරවල සිට පැමිණි මිනිසුන් රස සාගරයක ගිල්වමින් සිටී. ඈත කඳුකර නිම්නයක සිට පැමිණ, සංගීතයේ නිම්වළලු අතරින් ජීවිතය ජයගන්නට වෙර දරන මේ අපූරු තරුණයා හා තරුණිය අපට හමුවූයේ ‘ඇල්ල’ නගරයෙනි.
අවිශ්ක සඳරුවන් සහ නිලක්ෂි පංචවත්ත ‘ඇල්ල’ සංචාරක පුරවරයේ මෙන්ම සමාජ මාධ්‍ය වේදිකාවන් හරහා රට පුරා ද ක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් සිටින යුවලකි. ඊට ප්රමුඛ හේතුව වී ඇත්තේ කැලිප්සෝ දුම්රියේ සිට මෙම යුවල සංගීතයෙන් පානා විස්කම්ය.
“පහුගිය මැයි පළමුවැනිදා තමා පළමුවරට අපිට මේ අවස්ථාව ලැබුණේ. අපි “Calypso with 3in one” නමින් සංගීත කණ්ඩායමක් හදාගෙන ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් සහ සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල ඉදිරිපත් කිරීම් කරමින් හිටියා. ඒ අතර කැලිප්සෝ දුම්රිය ආරම්භ වුණා. ආරම්භයේදී ආපන ශාලාව සහ සංගීතය ඒ දුම්රියේ තිබුණේ නැහැ. පසුව ආපන ශාලාව පටන් ගත්තා. ඒ ටෙන්ඩරේ ලැබුණේ අපේ හිතවත් පිරිසකට. ඔවුන් තමයි අපිට ආරාධනා කළේ දුම්රියේ ඉදිරිපත් කිරීම් කරන්න. ඉතින් දැන් අපි ආපන ශාලාව යටතේ තමයි මේ ඉදිරිපත් කිරීම් කරන්නෙ.”
නිලක්ෂි සහ අවිශ්ක කඳුකරයේම උපන් සොඳුරු තරුණ යුවලකි. සීත කඳුකරයේ හපුතලේ හල්දුම්මුල්ල නිම්නයේ සිට ඇල්ල සංචාරක පුරවරය වෙත මෙම තුරුණු යුවල සංක්‍රමණය වූයේ 2023 වසරේදීය. කැලිප්සෝ දුම්රියට ගොඩවීමට පෙර මේ අපූරු තරුණයාගේ සහ තරුණියගේ කතාව දැන කියා ගැනීම වටියි.
“අපි මුලින්ම ඇල්ලට එන්න තීරණය කළේ කරපු රස්සාවත් අතෑරලා, මියුසික් තෝරගෙන ලොකු අවදානමක් අරගෙන. මුලින් අපි එද්දි අපිට වාහනයට තෙල් ගහන්නවත් සල්ලි තිබුණේ නෑ. ගෙදරින් ඉල්ලගෙන වැඩේට ආවේ. වැටුණු වාර අනන්තයි. ඒත් අවුරුද්දක් වගේ පුංචි කාලෙකදි ඇල්ල වගේ ආටිස්ලා පිරුණු නගරයක නමක් හදාගන්න පුංචි අපිට පුළුවන් වුණා. අපි කැලිප්සෝ වාදනය කරලා හම්බ කරපු සල්ලිවලින් ලස්සන වෙඩින් එකක්, පොඩි වාහනයක් අරන් අපේම වියදමින් පුංචි ගෙදරක අද කිසිම අඩුපාඩුවක් නැතුව ලස්සනට ජීවත් වෙනවා.”
“3in one” නම් තිදෙනකුගෙන් යුත් සංගීත කණ්ඩායමට නිලක්ෂිගේ සහෝදරයා ද එක්ව සිටියේය. මේ වනවිට ඔහු සරසවි වරම් ලබා සිටී. අවිශ්ක සඳරුවන් ද විශාරදවරයෙකි. මේ වනවිට නිලක්ෂි ද විශාරද දෙවැනි අදියර හදාරමින් සිටියි.
අවිශ්ක සහ නිලක්ෂි 2020 දී පමණ සිය සංගීත චාරිකාව අරඹා තිබේ. එහෙත් ඔවුන් සංගීත කණ්ඩායම නිර්මාණය කරගෙන ඇත්තේ පසු කාලීනවය. මුලදී සිය ගම් පළාතේ සංචාරක හෝටල්වල ඉදිරිපත් කිරීම් සිදුකරමින් ඔවුන් සිය කටයුතු අරඹා ඇත. කෙසේ වෙතත් ඔවුන් දුම්රියේ සංගීත චාරිකාවට එක්වූයේ මාස කිහිපයකට පූර්වයේය. මේ වන විට දුම්රියේ ගී ගයමින් වයන්නේ නිලක්ෂි සහ අවිශ්ක පමණි. නිලක්ෂි එම අත්දැකීම පැහැදිලි කරන්නේ මේ අයුරිනි.
“සමහර අයට අපි මෙච්චර ඉගෙන ගෙනත් කෝච්චියක සින්දු කියන එක මදිකමක් වගේ පේනවා ඇති. ඒත් අපිට තියෙන ලොකුම සතුට මේ මිනිස්සු එක්ක ගත කරන මේ පැය කිහිපය. සමහර මිනිස්සු මේ දුම්රියේ අපිව බලන්න හිතාගෙනම දුර පළාත්වල ඉඳන් කලින් ටිකට් වෙන් කරගෙන අපේ සින්දු අහන්නම ආපු බව කියන යන ඕනෑ තරම් ඉන්නවා.”
සමාජ මාධ්‍ය ඔස්සේ මේ අපූරු දුම්රිය චාරිකාවේ වීඩියෝ පට ‘වෛරල්’ වීමත් සමඟ මෙම තරුණ යුවල කෙරෙහි ද බොහෝ දෙනකු ආකර්ෂණය වෙමින් සිටින බව පෙනී යයි.
හුදෙක් මෙම ජනාදරය තම වාසියට පමණක් පෙරළා නොගන්නා මෙම අපූරු තරුණයා සහ තරුණිය සංචාරකයන්ට වඩාත් සාධාරණයක් ඉටුකිරීමේ බලාපොරොත්තු සහිතව, විදෙස් භාෂාවලින් ගී ගයන්නට ද මේ වන විට කටයුතු කරමින් සිටිති. භාෂා ගණනාවක් මේ වන විටත් ප්‍රගුණ කර ඇති ඔවුහු තවත් භාෂාවලින් ගී ගැයීම සඳහා පුරුදු පුහුණු වන බව ද පැවසූහ.
තමන්ගේ මව් බසින් ලංකාවේ දුම්රියක ගී ගයන විට සංචාරකයන් සතුටින් පිනා යන බව අවිශ්ක සහ නිලක්ෂි පැහැදිලි කර සිටියහ.
“සමහර විදේශිකයන් හරිම ආදරණීය තෑගි දීලා යනවා අපිට. එයාලා පුදුම සතුටක් ලබනවා අපි එක්ක ඒ ගත කරන පොඩි කාලෙට. මිනිස්සු අතරින් රිංගලා ඇවිත් ෆොටෝ එකක් ගහමුද අහන අය ඉන්නවා. ඉතින් කොච්චර අමාරු වුණත් මහන්සි වුණත් තත්ත්පරේකට හරි මිනිස්සුන්ගෙ මූණට හිනාවක් ගේන්න අපි දෙන්නට පුළුවන් වෙලා තියෙනවා. ඒක ලොකු සතුටක්.
සීත කඳුකර දුම්රියේ ගී ගයන තුරුණු යුවල ක්‍රමයෙන් ශ්‍රී ලාංකික සන්නාමයක් බවට පත්වෙමින් සිටින බව කිව යුතුය. එහෙත් ඔවුන් නිරත වන කාර්යය කිසිවිටකත් සුළු කොට තැකිය නොහැකිය. අව් වැසි බාධා මැද, දුම්රියේ හඬ පරයමින් රසවත් ගැයුමෙන් මිනිසුන් පිනවන්නට නිලක්ෂි සහ අවිශ්ක සුවිසල් කැපවීමක් කරති. අප ඔවුන් හා සම්මුඛ වන විට ද සීත පරිසරයේ ගී හඬින් වෙහෙස වීම නිසා ඔවුන්ගේ උගුරේ ස්වර තන්තු රිදුම් දෙමින් තිබුණි.
“සති අන්තවලදී ටිකක් අමාරුයි. ලංකාවෙ අයත් ගොඩක් එනවා. මේ හැමෝම කියන්නේ දිගටම වාදනය කරමු කියලා. ඇත්තටම එහෙම කරන්න අමාරුයි. මේ කැලිප්සෝ දුම්රිය ටිකක් හෙමින් යන්නේ. ඒ වගේම විශේෂ ස්ථානවල නතර කරනවා. අපි තෝරාගත් ස්ථාන තියෙනවා. ඒවායේදී තමයි අපි වාදනය කරන්නෙ. දුම්රියේ විවෘත කොටසෙදි තමයි අපි වාදනය කරන්නෙ. කවුරු හරි ඇතුළට එන්න කිව්වොත් යනවා. කොහොම වුණත් කිසිම කෙනකුට බාධාවක් නොවන විදිහට අපි අපේ වැඩේ කරන්න උත්සහ කරනවා.”
ජීවිතය සහ ජීවිකාව සංගීතය කරගත් නිලක්ෂි සහ අවිශ්ක ප්‍රධාන වශයෙන්ම සංගීතය ඉදිරිපත් කිරීම සිදුකරන්නේ ඇල්ල සංචාරක හෝටල් කේන්ද්‍ර කර ගනිමිනි. දුම්රියේ වාදනය අර්ධකාලීන කටයුත්තක් ලෙස සිදු කරන මෙම යුවල රාත්‍රියේ සංචාරක හෝටල්වල සංචාරකයන් රසවත් කිරීම සඳහා ගී ගයති.
කෙටි කාලයක් තුළ වුවත් සැලකිය යුතු සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට මෙම දෙපළ සමත්ව සිටිති.
“මේ වෙනකොට අපි දෙන්නට අවශ්‍ය කරන සංගීත බඩු හැමදෙයක්ම අපේ වියදමින් අරගෙන තියෙනවා. අපි යටතේ තව 3 දෙනෙක් වැඩ කරනවා. රටේ ඕනෑම තැනක බුකින් අරන් වාදනය කරන්න අපි යනවා. ඉතින් මේ දුම්රියේ ගීත ගායනා කරන්න වාදනය කරන්න ලැබුණු අවස්ථාව අහම්බයක් වුණත් දැන් අපිට වටිනාම දේ මේ කැලිප්සෝ දුම්රිය වෙලා.”
සිය ජීවිතවල බලාපොරොත්තු, සිහින කෙමින් ඉටුවන බව දැනෙන බවත්, සංගීතයෙන්ම ලෝකය ජය ගැනීම තම අරමුණ බවත් මෙම තරුණ යුවල කියා සිටියහ. මෙම ගමන පුරාවට තමන්ට උපකාර කළ සියලු දෙනාම හැකි පමණ සිහිපත් කිරීමට ඔවුහු උත්සාහ දැරූහ.
“අපිට විශේෂයෙන් ස්තූති කරන්න ඕනෑ අය ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම අපේ පවුලේ අය මේ තැනට එන්න හැම මොහොතකම අපිට හයියක් වුණා. ඒ වගේම අපිට සංගීතය උගන්වපු ගුරුවරු අමතක කරන්න බැහැ. මේ දුම්රියේ වැඩේට අපිව විශ්වාස කරලා සම්බන්ධ කරගත්ත, Ella Rainbow Cafe ආයතනයේ කාලිංග මහත්මා, Ella Somasiri Supermarket ආයතනයේ නිලන්ත මහත්මා, ඇල්ල දුම්රිය ස්ථානාධිපති දිසානායක මහත්මා ඇතුළු අපිට උදව් උපකාර කරන හැමදෙනාම අපි ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා.”
කඳුකර දුම්රිය චාරිකාවේ මනරම් දසුන් අතර මියුරු ස්වර තවරා ජීවිතයේ රිද්මය සොයා යන නිලක්ෂි සහ අවිශ්ක නුදුරේදීම රටත් ලොවත් ජයගනු නිසැකය. තවමත් ඔවුන් සිය ජීවන චාරිකාව වෙනුවෙන් දුම්රියට ගොඩවූවා පමණි. ගමන තව බොහෝ දුරය. ප්‍රවේසමෙන් යා යුතුය.
• චමිඳු නිසල්