මොකෝ කියන්නේ මචෝ Party එකක් දාමුද? ඔයාලා කැමති මොන වගේ Party එකක් දාන්නද? සාමාන්‍යයෙන් අඩියක් පුඩියක් ගහලා දාන සාදයක්, කැරොකේ සාදයක්, ෆිල් නැත්නම් තහනම් මත්ද්‍රව්‍යයත් එක්ක දාන පාටියක්, මේ වගේ ලොකු ලැයිස්තුවක් අතරින් කැමති වර්ගයක සාදයක් තෝරගන්න ඔයාට අවස්ථාව තියෙනවා.
කොහොම වුණත් සුදෝ දැන් ලෝකෙ තියෙන හැම ජාතියෙම Party වර්ග අපේ ලංකාවෙත් තියෙන බව අපිට පැහැදිලියි. සමහරක් Party වල තියෙන දේවල් ගැන කතා කරන්නත් බයයි. සමහරක් ඒවා ගැන කතා කරන්න ලැජ්ජයි. ඇත්තටම ලෝකෙ පුරා තියෙන එක එක සංස්කෘතීන්වල නිර්මාණය වුණු අරුම පුදුම සාද දැන් අපි අතරට ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් මෑත කාලීනව officially නැගලා යන ලංකාවේ අපිට නිතර නිතර දකින්න ලැබෙන සාද වර්ගයක් තමා Cocktail party කියන්නේ. මේක පට්ට Y Trend එකක්. ඉතින් පැංචෝ ඒ ගැන තමා අපි අද කතා කරන්න හිතුවේ.
මීට කාලෙකට කලින් සමාජයේ ඉහළම ස්ථරයේ විතරයි මේ ජාතියේ සාද පැවැත්වුණේ. Cocktail party එකක් කියලා කියන්නේ සමාජ තත්ත්වය පෙන්නන්න වෙනම හැඩයක සාද වර්ගයක් විදිහට තමා සැලකුවේ. ඒත් දැන් නම් ඔය ලොකු සීන් නෑ. අතන මෙතන හැමතැනකම Cocktail party සංවිධානය වෙනවා.
අපි මුලින්ම බලමු මචෝ Cocktail කියන්නෙ මොකක්ද කියලා. සුදාලට දැනටමත් මේ ගැන සරල අවබෝධයක් තියෙනවා. කොක්ටේල් එකක් කියන්නෙ මද්‍යසාර, වෙනත් පාන සහ යුෂ වර්ග මුහු කරලා හදාගන්න පානයකට. Cocktail හදන්න එක එක විදිහේ වට්ටෝරු සිය දහස් ගාණක් එක එක ජාතියේ රසවත් දේවල් Cocktail කරනවා. සමහරක් වෙලාවට මද්‍යසාර යොදන්නෙ නැතිවත් මේ විදියේ පාන වර්ග හදනවා. ඒවට කියන්නෙ Mocktails කියලා.
Cocktail party එකක් කියලා කියන්නේ නූතන සමාජයේ පවතින සංස්කෘතික අංගයක් කියලා කිව්වත් වැරදි නැහැ. ඒ නිසාම මචෝ සංස්කෘතිය දැනගන්න ඉස්සෙල්ලා ඉතිහාසය ගැනත් අපි ටිකක් හොයලා බලන්න ඕනෑ. මේ සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙන්නෙ බ්‍රිතාන්‍යයේ. විවාහ මංගල උත්සව ඇතුළු එක එක සාදවල ප්‍රමාද වී පැමිණෙන අමුත්තන් ප්‍රමාණය අඩු කරන්න වගේම, අමුත්තන්ගේ ආහාර රුචිය වැඩි කරන්නත් හිතාගෙන තමා Cocktail hour එක ආරම්භයේ දී හඳුන්වා දීලා තියෙන්නේ.
1917 – 1924 වගේ කාලය තුළ පැවැත්වුණු සාධක කිහිපයක්ම මේ සංස්කෘතියේ ආරම්භය බව එක එක මූලාශ්‍ර පෙන්වා දීලා තියෙනවා. සරලවම කිව්වොත් මචෝ කාගේ එකද මුල්ම Cocktail party එක කියලා තීරණය කරගන්න පොඩි ශාස්ත්‍රීය ගුටි ඇනගැනීමක් ඒ කාලේ ඉඳන්ම සිද්ධවෙලා තියෙන බව පේනවා. කොහොම වුණත් මේක වෙනමම සංස්කෘතියක්.
මුල් කාලේ ඉඳන්ම පැයක් එකහමාරක් හිටගෙන හෙමිහිට කොක්ටේල් එකක් තොල ගාන ගමන් දේශපාලනය, කලාව වගේම පෞද්ගලික තොරතුරු කතාබහ කර කර ඉන්න එක තමයි මේ Party වලදී සිද්ධ වෙලා තියෙන්නේ. ඇතුළු වෙනකොටවත් පිටවෙද්දිවත් කාටවත් අමුතුවෙන් සුබ පතන්න ඕනෑ නැති සාද වර්ගයක් විදිහට ඇතැම් අය මේක හඳුන්වලා තියෙනවා අපි දැක්කා.
කොහොම වුණත් මචෝ දැන් අපි මේක පට්ට Y Trend එකක් වීම ගැන කතා කරන්න ඕනෑ. කොක්ටේල් කියන්නේ 1900 වගේ ඉඳන් යුරෝපා සංස්කෘතියේ කොටසක්. බ්‍රිතාන්‍යය ආභාෂයත් එක්ක දශක පහ හයක් තිස්සේ ලංකාවේත් කොළඹ සංස්කෘතියේ Cocktail කොටසක් වෙලා තිබුණා. ඒත් දැන් ලංකාවේ ග්‍රාමීය වගේම අර්ධ මධ්‍යම පාන්තිකයන් අතරෙත් මේ සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත වෙනවා. ඒ නිසාම තමයි අපි ආරම්භයේ දී කිව්වේ මේක පට්ට Trend එකක් කියලා. ලංකාවේ මද්‍යසාර සංස්කෘතිය කියලා ගත්තම ඒකෙ ප්‍රධාන උරුමකරුවන් වෙලා හිටියේ පිරිමි පාර්ශ්වය. අපේ සුදාලා දන්නවා පිරිමි අය වැඩිපුර බිව්වේ Hard Liquor. බීමත්කම නිකම් පිරිමිකම ප්‍රදර්ශනය කරන වැඩක් වගේ තමයි සැලකුණේ. යුරෝපා සංස්කෘතිය ඇතුළෙත් මුල් කාලයේ ඒ වගේ තත්ත්වයක් දකින්න ලැබුණා. ඒත් ඊට පස්සේ කාන්තාවටත් මද්‍යසාර කියන දේ අරුමයක් නොවෙයි කියන තැන ඉඳන් බටහිර සංස්කෘතිය කටයුතු කරන්න පටන් ගත්තා.
එතැනදී ප්‍රධාන වශයෙන්ම Cocktail party කාන්තාවන් ඉලක්කගත වුණා. ඊට පස්සේ හෙමින්සැරේ සංස්කෘතිය ලෝකෙ පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒත් අපේ වගේ රටවල්වල තිබුණු සමාජ සංස්කෘතික කරුණු හින්දා එකපාර මේ වගේ දේවල් පිළිගන්න අපේ අය සූදානම් වුණේ නෑ. ඒ වුණත් මචෝ මේ වෙනකොට තත්ත්වය නම් සෑහෙන්න වෙනස්. Cocktail සහ ළලනාවන් අතර තියෙන සම්බන්ධය සියුමැලි බවින් තද බවට ගමන් කරමින් තියෙනවා. සංස්කෘතික ආගමික කාරණා මොනවා වුණත් Hard Liquor පාවිච්චි කරන ගමන් කාන්තාවන් අතර පැතිරෙන මේ සංස්කෘතියට කෝචොක් දාන්න පිරිමින්ට පුළුවන්කමක් නෑ.
කොක්ටේල් කියන්නේ කාන්තාවන්ටම හදාපු බීමක් කියලා හිතෙන තරමට පහුගිය කාලේ නාගරික ළලනාවෝ අතර මේක ජනප්‍රිය වුණා. ඒ නිසාම උසස් පාසල්වල ගැහැනු දරුවන් සහ උසස් අධ්‍යාපනය හදාරන තරුණියන් අතරත් මේ සංස්කෘතිය පහුගිය කාලේ වේගයෙන් ජනප්‍රිය වෙලා තියෙනවා. දරුවන්ගේ ඇබ්බැහිවීම නම් මොන කොන්දේසිය මතවත් අනුමත කරන්න බෑ. ඒක නම් මචෝ සිරාවටම බරපතළ තත්ත්වයක්.
ඇත්තටම මචෝ වෙනකොට Teenagers ලා වැඩිපුරම Girls ලා කොක්ටේල් පාවිච්චි කරනවා වැඩිහිටියන් ගොනාට අන්දලා. ඒක මෙහෙමයි වෙන්නෙ. ඉස්සර නගරේ විතරයි තරුණ ගෑනු ළමයි, පිරිමි ළමයි එකට සාද දාන්න එකතු වෙන්නේ. ඒත් දැන් දැන් ගමේ වුණත් අර්ධ නාගරික ප්‍රදේශවල වුණත් Girl කෙනකුගේ Birthday party එකට Boys ලාට එන්න කියන එක සාමාන්‍ය සීන් එකක්. ඒත් ඉතින් ගෙදරින් පිට යන්න බෑ තාම. අපි සංස්කෘතිකයිනේ. ඉතින් මේ වගේ වෙලාවට හීන්සීරුවේ පැණි බීම වගේ කොක්ටේල් සාදයට ඇතුළු කර ගන්න පොඩි කෙල්ලෝ කොල්ලෝ කටයුතු කරනවා. අවුරුදු 16 ඉඳන් ඉහළ 23 වගේ වෙනකල් අය තමා සීන් එකේ සිරාවට ඉන්නේ.
අන්තර්ජාලය හරහා Cocktail හදන විදිහ ගැන නිර්මාණය වෙලා තියෙන ලක්ෂ ගාණක් වීඩියෝ සහ ඒවාට ලැබෙන ආකර්ෂණයත් මේ සංස්කෘතිය වේගයෙන් ව්‍යාප්ත වෙන්න හේතුවෙන බව කියන්න ඕනෑ. මේ වෙනකොට ගොඩක් පෞද්ගලික ආයතන වගේම සංවිධානත් මේ විදිහේ සාද සංවිධානය කරනවා. විශේෂයෙන්ම මචෝ එයාලගේ ව්‍යාපාරික ගනුදෙනු සහ ප්‍රචාරණ අරමුණු වෙනුවෙන් තමයි මේ වගේ වැඩ ඔවුන් සංවිධානය කරන්නෙ.
මේක සංස්කෘතික අංගයක් විදිහට දැන් සමාජගත වෙලා ඉවරයි. ඒ වගේම Cocktail party මේ වෙනකොට ලොකු Y Trend එකකුත් වෙලා. කොහොම වුණත් අපි මෙහෙම කියන්නේ මේවාට ආශිර්වාද කරන්න හරි, දිරිගන්වන්න හරි නෙවෙයි. ඒ වගේම නතර කරලා දාන්න හරි, බාධා කරන්නත් නෙවෙයි. සමාජය ගැන හරියට කියවගන්න සුදාලට උදව් කරන්න. අවදානමක් හඳුනගත්තොත් ආරක්ෂා වීම ඔබ සතු වගකීමක්.
• චමිඳු නිසල්