2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

පාර මාරුවෙන ඉබ්බා කියන්නෙත් නිහඬ කතාන්දරයක්! - චන්න දේශප්‍රිය

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 73

මේ තත්ත්පරයේ මා ඇවිද යන්නේ තත්ත්පර සිය දහස් ගණනක් ඈත දුරකට නොවේ. ඈත මෑත මට දැනුණු දවසකටය. ඒ දූස්රා සිනමා වියමන මා නැරඹූ දවසයි. එදා දූස්රා ගැන කියන්නට ප්‍රේක්ෂකාගාරය ඉදිරියට සපැමිණෙන්න යැයි ආරාධනා ලද නිසාවෙන් දූස්රා නිර්මාණාත්මක නිමැවුමෙහි අයිතිකාරයා චන්න දේශප්‍රිය ප්‍රේක්ෂකාගාරය අබිමුවට පැමිණියත් වචන හයක්වත් චන්න කතා කළා මට මතක නැත. චන්න කීවේ මම මොකුත් කියන්නේ නැතුව ඉන්නම්, ඔයාලා බලන්න එහෙනම් වැනි දෙයකි.

දූස්රා නැරඹීමට පෙර
දූස්රා විඳීමට පෙර
මා දූස්රා කියැවූ පළමු තත්ත්පරය එයයි.
මා දූස්රා හි වර්ණය, අක්ෂරය, මෝස්තරය හඳුනාගත් පළමු තත්ත්පරය එයයි.

චන්න නිහඬතාවය තුළ සියක් දහසක් වචන නැති වචන සන්නිවේදනය කර දූස්රාව ප්‍රේක්ෂකාගාරයට එල්ල කළේය.

සිනමාමය තණතිල්ල දෙදරවූ දූස්රා නිහඬ මුණිවර වෙසක් දල්වාලන චන්නගේ සොඳුරු නිස්කාංසුත්වය සේම සෞන්දර්යාත්මකය. දැනෙන සුළුය. දනවන සුළුය. ළය ලෙයට දැනී දැනී දැනී දැනෙන සිනමාමය සෞන්දර්යකින් සම්මිශ්‍රිත දූස්රා ලාංකික ප්‍රේක්ෂකාගාරය කොතෙක් දුරට සිනමාත්මක ප්‍රේමයකින් හාදු දී පිළිගත්තේදැයි මා නොසොයන්නේ ලාංකික බහුතර ප්‍රේක්ෂකාගාරයේ වින්දනාත්මක විඥානය නවමු දිශානතින් තුළ තව තවත් සවිඥානික විය යුතුය යන්න අවිවාදයෙන්ම සත්‍යයක් නිසාමය.

පය ගසා ජීවත් වන සමාජමය මහ පොළොව කැන සිනමාමය ප්‍රස්තුත ලෙයට දැනෙන්නට වියන්නට ඕනෑ තරම් සොයා යා හැකි, මනුස්ස හුස්ම වැටෙන, මනුස්ස හෘද රිද්ම දැනෙන, මනුසත් යායක ජීවත් වුවත් අපේ සිනමාව කොතෙක් නම් දුප්පත්දැයි සිතෙන, ඒ වග අපට දනවමින් නිමැවෙන බොහෝ සිනමා සිත්තම් අතර දූස්රා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිනමාවේදයකි.

එනයින්ම දූස්රා තිර පිටපත් රචකයා, දූස්රා අධ්‍යක්ෂවරයා සමඟ මේ කතාබහේ තේමාවත් දූස්රාමය.

චන්න කැමරාවත් එක්කම ප්‍රේමයෙන් බැඳුණු ඔබට අධ්‍යක්ෂණයේ කාර්යභාරය සහ වගකීම දැනුණේ කොහොමද?

කැමරා අධ්‍යක්ෂණය මට සුපුරුදු වෙන්නෙ කොයිතරම් ද චිත්‍රපටයක අධ්‍යක්ෂවරයාගේ භූමිකාව නුපුරුදු වෙන්නෙත් ඒ තරමටමයි. චිත්‍රපට 45 ක විතර මම කැමරාවත් එක්ක හැසිරුණත් අධ්‍යක්ෂ භූමිකාව මට නවමු අත්දැකීමක්. ඇත්තටම එය ලේසි නොවන, කිසිසේත්ම සරල නොවන ඉතා වගකීම් සහගත කාර්යභාරයක්. අත්දැකීම් රැසක් මට ඉතුරු කරපු කාර්යභාරයක්. චිත්‍රපට අධ්‍යක්ෂවරයකුට හොඳ දැක්මක් තියෙන්න ඕනෑ. චිත්‍රපටයේ දිශාව, වර්ණය, හැඩය, සාරය, එහි සමස්තය සංස්ලේෂණාත්මකව සහ විශ්ලේෂණාත්මකව දකින්න ගැඹුරු තීක්ෂණ ඇහැක් හා පපුවක් අධ්‍යක්ෂවරයකුට තියෙන්න ඕනෑ. ඒක හරිම තියුණු, පුළුල්, ගැඹුරු, වගකීම් සහගත වගකීමක්. සිනමාව කර්මාන්තයක් විදිහට ගොඩනැගුණු රටවල අධ්‍යක්ෂවරයකුගේ භූමිකාව වඩාත් සක්‍රිය සහ පහසු කරවන්න තවත් පාර්ශ්ව හිටියත් ලංකාව වගේ රටක සිනමා කර්මාන්තය පවතින පසුබිම මත අධ්‍යක්ෂවරයකුට තියෙන්නෙ ඉතාමත් සංකීර්ණ වගකීම් සමුදායක් දෙවුර දරාගෙන තම කාර්යයේ නියැලෙන්න.

ලෝකයේ එදා මෙදා තුර බිහිවුණු හැම නිර්මාණයකම පළමු සංකල්පය උපදින්නේ හිතුවිල්ලක් වශයෙන් හිතක. චන්න මට කියන්න දූස්රා ප්‍රස්තුතය කොහොමද චන්නගේ හිතේ ඉපදුණේ?

වර්තා වැඩසටහන් කරද්දි පිට පළාත්වල මම හුඟාක් ඇවිද්දා. එක් ව්‍යාපෘතියක් කරද්දි ඒ ව්‍යාපෘතියට සම්බන්ධ අයයි ගම්වල අයයි අපි එකට මුහුවෙලා වැඩ කළේ. මිනිසුන්ගේ ජීවිතවල විවිධ ස්වරූපයන්, මිනිසුන්ගේ චිත්තවේගවල විවිධ ස්වභාවයන්, මිනිස්සු තමන්ගේ හුස්ම වෙනුවෙන් කරන අරගලය, ආදරය, ආවේගය, රැවටීම, මනුස්සකම, මනුස්සකම ගිලිහෙන තැන්, තමන්ට තමන් අමතක වෙන තැන්, දිනන්න හදන මිනිස්සු, දිනන්න හදද්දි පරදින මිනිස්සු, පරාජිත වෙවී දිනුම හොයන මිනිස්සු, මේ විදිහේ හැම ස්වභාවයකම, හැම ස්වරූපයකම, හැම හැඩයකම, හැම වර්ණයකම මිනිස්සු මට මේ මහ පොළොවෙදී හමුවී තියෙනවා. දූස්රා හිතේ ඉපැද්දුවේ මගේ ජීවිතයේ දී මට හමුවූ ඒ නානා ප්‍රකාර මිනිස්සු..

ප්‍රේක්ෂකයෙක් විදිහට දූස්රා චිත්‍රපටය නරඹද්දි මගේ හිතට හුඟාක් දැනුණු සහ මගේ හිත සසල කරපු එක් රූප රාමුවක් තමයි ඉබ්බෙක් පාර හරහා මාරුවෙන රූප රාමුව. රතී ඒ ඉබ්බා දිහා බලාගෙන ඉන්න විදිහ සහ ඒ ඉබ්බා නිරුපද්‍රිතව බස් එකක් යටින් ගිහිනුත් බේරිච්ච විදිහ මට දැනුණේ හරි ප්‍රබල සංකේතාත්මක සිනමාමය රූප රාමුවක් විදිහට. ඒ රූප රාමුව ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විදිහට දකින විදිහ නෙවෙයි, ප්‍රේක්ෂකයෙක් විදිහට ඔබ දකින විදිහ කියන්න පුළුවන් නම් මට කියන්න?

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා විදිහට ඒ චිත්‍රපටය, ඒ රූප රාමු ප්‍රේක්ෂකයාටම නිර්වචනය කරන්න ඉඩ දෙන එක තමයි මම මගේ යුතුකම කියලා හිතන්නේ. ඒත් ඔබ ඇසූ නිසා කියන්නම්. ගම්වල මිනිස්සු එක්ක අපි කරපු ව්‍යාපෘතිවලදි ඇත්තටම අපි උත්සාහ කළේ යන්න පාරක් නොතිබුණු, යන්න පාරක් නොදැකපු සහ යන්න පාරක් නොදන්න මිනිසුන්ට ජීවිතය දිගේ ඇවිදින්න පාරක් පෙන්වපු එක. ඉතින් පාර හොයාගෙන පරිස්සමෙන් පාර මාරුවෙච්ච මිනිස්සු ගැන හැඟීමක් ඒ රූප රාමුව ගැන තිර පිටපතේ ලියද්දි මගේ මතකයට ආවා. රතීට උවමනාවක් තිබුණානම් ඒ ඉබ්බාව උස්සලා පාරෙන් එහාට ගිහින් තියන්න තිබුණා. ඒත් එයා කළේ නිහඬව අවධානයෙන් බලාගෙන හිටපු එක. ඒ ඉබ්බා පාර මාරුවීම සහ රතී ඒ දෙස බලා හිටපු ආකාරයෙන් සන්නිවේදනය වෙනවා රතීගේ චරිතයත්. රතීව ගොඩදාන්න කවුරුවත් හිටියෙත් නෑ. ඒ දර්ශනය තවත් ප්‍රේක්ෂකයෙක් නිර්වචනය කරගන්න විදින වෙනස් වේවි. විඳීම සහ නිර්වචනය සාපේක්ෂ නිසාත්, මගේ චිත්‍රපටය ළඟදි මම අධ්‍යක්ෂවරයා සහ ප්‍රේක්ෂකයා මිස විචාරකයෙක් නොවිය යුතු නිසාත් මින් එහාට ඒ ඉබ්බා ගැන නොකියා ඉන්නම්.

ලක්ෂාන් අබේනායක කියන්නේ සැර අකුණක්.. චරිතයක් එක්ක ප්‍රේක්ෂක මනසට පුදුමාකාර විදිහට රිංගන්න, ආත්මගත වෙන්න ලක්ෂාන්ට පුළුවන්. එහෙම වස්තුවක් දූස්රා තුළින් මුණගැස්වීමම අපිට වින්දනීය අත්දැකීමක්?

ලක්ෂාන් කියන්නෙ යුරෝපයේ නළුවෙක් ලෙස අත්දැකීම් සමුදායක් ලබපු සහ ලබමින් සිටින නළුවෙක්. නළුවෙක් කියන භූමිකාව තුළ ලක්ෂාන්ගේ පරාසය හරි ගැඹුරුයි, හරි සංකීර්ණයි. ඇත්තටම දූස්රා හි ලක්ෂාන් නිරූපණය කළේ නළුවෙකුට රඟපාන්න අමාරු චරිතයක්. ඒත් ලක්ෂාන් පුදුමාකාර විදිහකට ඒ චරිතය තුළ ජීවත් වුණා කියන එකට ලක්ෂාන් වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර මට හොඳ සාක්ෂියක්. ඇත්තටම තිලක්ෂිණී රත්නායකත් රතී තුළ උපරිම සාධාරණයක් රතීට ඉටු කළා. වේදිකාවෙන් රැගෙන ආ ආභාෂය ඇයගේ රංගනය තුළ සුවිශේෂී බව මට දැනුණා. සජිත සහ ශ්‍යාම් දෙන්නත් එහෙමයි. මට අධ්‍යක්ෂවරයා විදිහට හරි සතුටක්, නවක නළු නිළියන් පවා තමන්ගේ රංගනය තුළ උපරිමය අරගෙන ආවා කියන එක.

දූස්රා... ගීතයත් හරි වෙනස්?

වෙනස වෙනස් බව දැනෙනවනම් එච්චරයි.

දූස්රා සිනමා වියමනට මගේ ආදරය සහ කැමැත්ත ප්‍රකාශ කරන්න එක හේතුවක් තමයි චන්න ඔබ දූස්රා නිර්මාණය කරලා තියෙන්නෙ හුදෙක් චිත්‍රපටය ප්‍රේක්ෂකයාට නරඹන්න විතරක් නෙවෙයි. දෙබස් අඩුයි.. නිහඬත්වය තුළ සන්නිවේදන අවකාශ ප්‍රබලයි. ඒ චිත්‍රපටය එක්ක නරඹමින් කතා කරන්න ඔබ ඉඩක් ඉතුරු කරනවා. හුස්මක් ගන්න ප්‍රේක්ෂකයාට ඉඩක් ඉතුරු කරනවා. රූප රාමුවෙන් රූප රාමුවට කතාන්දරයක් කියාගෙන යෑමෙන් ඔබ්බට ඔබ ප්‍රේක්ෂකයා එහි විචාරකයෙක් සහ කොටස්කරුවෙක් බවට පත් කරනවා. දූස්රා ලාංකිකත්වයෙන් ඔබ්බට විශ්වීයයි. මේ මගේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය. ඒ ප්‍රතිචාරය වෙනුවෙන් ඔබ මට දෙන්න උත්තරයක්?

ඇත්තටම මම කැමරා ශිල්පියෙක්, කැමරා අධ්‍යක්ෂවරයෙක් නිසා වෙන්න ඇති දූස්රා තිර පිටපත ලියද්දි රූප රාමු මගේ මනස තුළ මට දර්ශනය වෙනවා වගේ දැනුණා. අධ්‍යක්ෂණයේදී ඒ දැනීම මට ඇත්තටම උපයෝගීත්වයක් වුණා. ප්‍රේක්ෂකයෙක් විදිහට ඔබේ ප්‍රතිචාරය තුළ ඔබ කියූ ඒ ලක්ෂණ ඔබට දැනුණානම් ඇත්තටම අධ්‍යක්ෂණය තුළ මගේ අරමුණ වුණෙත් ප්‍රේක්ෂකයාට දැනෙන සහ ආදරය කරන්න පුළුවන් චිත්‍රපටයක් නිර්මාණය කරන එක. ධන සහ ඍණ ප්‍රතිචාර ලැබේවි. ඒත් දූස්රා තේරුම් ගත් ප්‍රතිචාර මට සතුටක් සහ ආත්ම තෘප්තියක්.

දූස්රාට ඇත්තටම ලැබෙන ප්‍රතිචාර චන්නට දැනෙන්නෙ කොහොමද?

වැල නොකැඩී දූස්රා බලන්න එනවා කියන එක ඇත්තක් නෙවෙයි. මම කැමති වෙයි කියලා හිතපු සමහර අය දූස්රාට අකමැති වුණා. මම අකමැති වෙයි කියලා හිතපු සමහර අය දූස්රාට කැමති වුණා. නිතර දකින්න නොලැබෙන ප්‍රස්තුතයක් තේමා කරගත් සිංහල චිත්‍රපටයක්.. ඒ වෙනසට කැමතියි කියපු පිරිසක් හිටියා. මොස්කව්, කල්කටා, ඩකා, පැරිස් ප්‍රේක්ෂකාගාරවල විනිශ්චයන්ට දූස්රා ගෙනියන්නත් කැනඩාවේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රේක්ෂකාගාරවලට දූස්රා ගෙනියන්නත් පසුබිම නිර්මාණය වීම මට එහි අධ්‍යක්ෂවරයා ලෙස තෘප්තියක්. 

දූස්රා යනු චන්න දේශප්‍රිය තුළ සිනමාව වෙනුවෙන් ඇති ආදරය සහ කැමැත්ත වෙනුවෙන් එක් ප්‍රකාශනයක් සහ සාක්ෂියක් පමණයි.

දූස්රා.. ලෝකයට විසිවෙන්න...

දැනෙන්න වැදෙන්න විසිවෙන්න....
අපි විඳිමින් බලා සිටිමු.

• සංජීවිකා සමරතුංග
සේයාරූ : අන්තර්ජාලයෙන්