2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

වින්දනීය හැන්දෑවක් වෙනුවෙන් ‘සත්සරණි ගී සන්ධ්‍යාව’ - සිසිර කාලිංග ඒකනායක

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 9

සිසිර කාලිංග ඒකනායක ශ්‍රී ලංකාවේ සංගීත රසාස්වාදනය ඉදිරියේ අලුත් පියවරකට අවතීර්ණ වී සිටී. මෑත කාලය තුළ ක්ෂේත්‍රයේ අත්හදා බැලීම් ගණනාවක නිරත වූ හෙතෙම අලුත් ගීත සමුච්චයක් සමඟ රසික ජන හදවත් තුළට ඇතුළුව සිටී. දීර්ඝ කාලයක් කරන ලද නිර්මාණ ඇසුරෙන් තෝරාගත් ශාස්ත්‍රීය හා සරල ගීත ඇතුළත් ‘සත්සරණී ගී සන්ධ්‍යාව’ ඒක පුද්ගල ශාස්ත්‍රීය හා සරල ගී ප්‍රසංගය අගෝස්තු 31 සෙනසුරාදා පස්වරු 6.00 ට මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

“සංගීතය කියන්නේ ජීවිතය විඳින්නට දෙන අවස්ථාවක්. එමගින් ඇති කරන භාවය සමාජ විනයක් භාවනාව අප තවමත් හරයාත්මකව ප්‍රයෝජනයට ගෙන තිබේද යන්න පැහැදිලි නැහැ.” යනුවෙන් දක්වන සිසිර, “අද පවතින සංකීර්ණ ජන සමාජය ඉල්ලන භාවයන් තෘප්තිමත් කිරීම පමණක් සංගීතවේදියාගේ එකම වගකීම විය යුතු නැති” බව අවධාරණය කරයි.  

සමාජ සංකීර්ණ බවින් මිදී, භාවාත්මක රසවින්දනයක සිත යොමුකිරීමට ලැබෙන අවස්ථාවක් වශයෙන් සලකා ගී ප්‍රසංගයට එකතු වන ලෙස ඉල්ලා සිටින සිසිර කාලිංග ඒකනායක මෙම ප්‍රසංගය ඔහු පැමිණි මාවතේ 23 වැනි පියවර බව සඳහන් කරයි. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පහළ ශ්‍රේණිවල සංගීතය හැදෑරීමෙන් ආරම්භ කරන ගමනට සංගීතාචාර්ය ආනන්ද දිසානායක මහතා විෂයානුබද්ධව අත්පොත තබා ඇත. “සංගීත් නිපුන් හා වාද්‍ය නිපුන් යන උපාධි දෙකම ලද ප්‍රථම ශ්‍රී ලාංකික සංගීත ශිල්පියා වශයෙන් මම මගේ ගමන ගැන ආඩම්බරයෙන් සිටිනවා. මෙතැනට පැමිණියේ පහසුවෙන් නෙවෙයි. විදුහලේ ගායන කණ්ඩායමේ දී අත්දැකීම් ලැබුවා. විද්‍යාලයීය තූර්ය වාදන කණ්ඩායමේ නායකත්වය දක්වා ගියා. ගායන තරගවලට ඉදිරිපත් වූ අවස්ථා ගණන අප්‍රමාණයි. ඒවායෙන් ජය පමණක් නෙවෙයි පරාජයත් ලැබුවා. ඒ සියලු දේ අද මම ඉතිරි කරගෙන සිටින අත්දැකීම්වල එකතුවක්” යනුවෙන් දක්වන මෙම සංගීතවේදියා ජීවිතයේ ලබන අත්දැකීම් නිර්මාණවලට පාදක වන බවද සඳහන් කරයි.

“ඉන්දීය සංගීතඥ දිවංගත මහාචාර්ය ශ්‍රී ක්‍රිෂ්ණකුමාර්, සහ ඔහුගේ පුත් සිසිර් කපූර් යටතේ සංගීතය හැදෑරීමට ලැබීම මගේ ජීවිතයේ වාසනාවක්. ඒ වගේම විශේෂ ගුරුදේවයන් ලෙස පණ්ඩිත් ගනේෂ් ප්‍රසාද් මිශ්‍රා යටතේ ඉගෙන ගැනීම ද මගේ ජීවිතයේ භාග්‍යයක් සේ දක්වන්නට පුළුවන්. ඉන්දීය ආභාෂය තුළ එරට ගුරු කුල, පාරම්පරික සහ නවීන ක්‍රම ඇතුළුව විවිධ පරාස යටතේ භාරතීය සංගීත අධ්‍යාපනය ලබාගැනීමට හැකිවීම ද අමතක කළ නොහැකියි.
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්දැකීම් සලකා බලන පසු සංගීත විෂයයෙහි විශාල පරාසයක පර්යේෂණ සිදුවෙනවා. මේවා රසකාමී ජනතාව අතරට යා යුතුයි. පැරණි යුගයේ ක්‍රම අභිබවන සියුම් මාධ්‍ය භාවිතයක් අද පවතිනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය මගින් සැලකිය යුතු මහජන වේදිකාවක් සකස් කොට ඇති බව ඉතාම පැහැදිලියි. මේවායේ භාවිතය ගැන ප්‍රශ්න තිබෙන්න පුළුවන්. නමුත් අප සියලු දෙනා අපගේ වගකීම් සහගත රසාස්වාදනයක් කරා ගමන් කළ යුතුයි.” සිසිර කාලිංග ඒකනායක පෙන්වා දෙයි.

මහරගම ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙන ප්‍රසංගයේ මුල් භාගය ශාස්ත්‍රීය සංගීතයෙන් ද, අපර භාගය නව නිර්මාණ සරල ගී වලින් ද ඉදිරිපත් කරන බව දක්වන හෙතෙම මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ධර්මපාල සේනාධීර, උපුල් නිමල්සිරි, සඳරුවන් කරුණාතිලක යන නිර්මාණවේදීන්ගේ ගී පද සහ තමන්ගේම ගීත මෙම ප්‍රසංගයේ දී ඉදිරිපත් කරන අතර සංගීත් නිපුන් සනත් නන්දසිරි, ආචාර්ය රෝහණ වීරසිංහ, ජයන්ත රත්නායක, රවි කුලතිලක සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා තනු නිර්මාණය කර ඇති අතර දිවංගත එච්.එම්. ජයවර්ධනයන් ජීවත්ව සිටි කාලයේ දී නිර්මාණය කළ තනුවකට නිර්මාණයක් කරන්නට ලැබීම ද විශේෂයෙන් අමතක නොවන බව දක්වයි. විශාරද අජිත් දර්ශන ජයවීර ඇතුළු කණ්ඩායම මෙම ප්‍රසංගයේ සංගීතය සපයයි.

“මම දැනට වෝල්යා සංගීත කලායතනයේ නිර්මාතෘ වශයෙන් කටයුතු කරනවා. එයට අමතරව විශාරද නන්දා මාලනී මහත්මියගේ සංගීත ආශ්‍රමයේ සේවය කරන අතර මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ ප්‍රජා සංවිධානය පදනමේ සංගීත ගුරුවරයකු ලෙස කරන ලද සේවය ද අත්දැකීමක්. මෙහිදී මගෙන් ඉගෙන ගන්නවා වගේම මම ඔවුන්ගෙන් ඉගෙන ගන්නවා. අත්දැකීම් බෙදාගැනීමේ වින්දනීය අවස්ථාවක් වශයෙන් ‘සත්සරණී ගී සන්ධ්‍යාව’ හඳුන්වන්න මම කැමැතියි.” සිසිර කාංලිග ඒකනායක දක්වයි.

සැනසිල්ල, අස්වැසිල්ල අඩු යුගයක භාවාත්මක සංගීතය ඉගෙනගෙන එයින් යහපත්, උගත් දරුවකු, හික්මුණු මිනිසෙකු සමාජයට දායාද කරන්නට හැකිවන උසස් සැඟවුණු ශිල්පයක්  උතුම් සංගීත විෂය සතුව පවතින අතර සුභවාදී ආකල්පමය වෙනසක් ඇතිකර ගැනීමට හැකි වින්දනයක් ඇති රසික ප්‍රජාවක් බිහිකිරීම තම අරමුණ බවද හෙතෙම සඳහන් කරයි. “මගෙන් ඉගෙන ගන්නා දරුවන්, ඔවුන්ගේ දෙමාපියන් සහ හිතමිත්‍රාදීන්ට මෙහිදී කෘතඥතාව පළ කරන බවද ඔහු කියා සිටී. ‘සත්සරණී ගී සන්ධ්‍යාව’ ඒක පුද්ගල ශාස්ත්‍රීය හා සරල ගී ප්‍රසංගය නරඹන්නට එන ලෙසද්‍ ඔහු විවෘත ආරාධනාවක් කරයි.

• සාරා කන්දෙගොඩ