2024 අගෝස්තු 31 වන සෙනසුරාදා

රිදී තිරය සැරසූ සිංහල නවකතා

 2024 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 02:00 323

සිනමාව යනු විශ්ව භාෂාවකි. චලන රූප එකිනෙක අමුණා, ඇසිදිසි පෙරහරකින් කතන්දරයක් කීමට සිනමාව සතු අපූරු හැකියාව සැබැවින්ම විශ්මයජනකය. මිනිස් පරිකල්පනයන් සිනමා රූපයට නැගෙන්නට පටන් ගත්තේ මීට සියවසකට පෙරාතුවය. එහෙත් මිනිසා කතන්දර කීමට සහ කතන්දර රස විඳීමටත්, මනසින් සිනමාරූපී පරිකල්පනයන් ගොඩනැගීමටත් පටන් ගත්තේ ශිෂ්ටාචාරයේ ආරම්භක යුගයේමය. ජන කතා, උපමා කතා, ආගමික කතාවල සිට නූතන කෙටි කතා සහ නවකතාව දක්වා මිනිසාගේ කතන්දර කීමේ හැකියාවේ සහ පරිකල්පනයේ විශ්මය ක්‍රමිකව දියුණු වී තිබේ. සිනමාව එහි උත්කෘෂ්ඨම ඵලය ලෙස දක්වාලීම වරදක් නොවේ.

එහෙත් නූතන සිනමාව පවා සිය පූර්වජ‍යන්ගේ කතන්දර කීමේ කලාවේ අක්මුල් සමඟ බැඳී පවතී. ආසන්න වශයෙන්ම නූතන සාහිත්‍යාංග වන කෙටි කතාව සහ නවකතාව සිනමාවේ ආත්මය හා සමීපව ගනුදෙනු කරයි. එබැවින් සාහිත්‍ය මාසය එළඹෙන විට සිනමාව සහ නවකතාව අතර පවතින ආත්මීය ගනුදෙනුව පිළිබඳ සංවාදයකට ඉඩකඩක් වෙන් කිරීමට අපි තීරණය කළෙමු. මෙම චාරිකාවේ දී දේශ දේශාන්තර පුරා ඇවිද යාමට පෙර දේශීය සිනමාව සහ දේශීය නවකතාව අතර පළමු වරට අපි නතර වීමු.

ලාංකික මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් සහ ලාංකික මහා සිනමාවේදියා වූ ලෙස්ටර් ජේම්ස් පීරිස් සුසංයෝගය අපගේ අරම්භක කතා නිමිත්ත විය යුතුමය. නවකතාව සහ සිනමාව අතර සම්බන්ධය මෙම චරිත ද්විත්වය මඟහැර සාකච්ඡා කළ නොහැකිය. ශ්‍රී ලාංකික සිනමාවේ නවකතාව හා බැඳුණු සිනමා සලකුණු අතර මුදුන්මල්කඩක් වන් මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත ‘ගම්පෙරළිය’ සිනමාවට නැගුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසිනි.

නවකතාව පාඨක පරිකල්පනයේ සීමාවන් මතින් පුළුල් පරාසයක පැතිර යන සාහිත්‍යාංගයකි. සිනමාව ප්‍රේක්ෂකයන්ගේ ශ්‍රව්‍ය දෘෂ්‍ය රසාස්වාදය විෂය කොටගත් මාධ්‍යයකි. එවන් තත්ත්වයක් තුළදී නවකතාවක් සිනමාවට නැගීමේදී තිර පිටපත නිර්මාණය කිරීම සුළුපටු අභියෝගයක් නොවෙයි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව සිනමාවට නැගීමේදී එම භාරධූර කාර්යය ඉටු කරනු ලැබ තිබුණේ රෙජී සිරිවර්ධන හා තිස්ස අබේසේකර මහත්වරුන් විසිනි. ආරම්භක යුගයේ දී සිංහල සිනමා කර්මාන්තයට මෙය කොතරම් දුෂ්කර අභියෝගයක් වූයේ ද යත් ගම්පෙරළිය පිළිබඳ සිනමා විචාර ඊට නිදසුන් කොට දැක්විය හැකිය.



නවකතාවක් හෝ කෙටිකතාවක් සිනමා නිර්මාණයකට පෙරළීමට බොහෝ විට හේතු කාරණාව වන්නේ පළමු නිර්මාණයට ලැබෙන ජනප්‍රියත්වයයි. සිනමා නිර්මාණයට ස්ථිර ලෙසම ප්‍රේක්ෂකාගාරයක් ලැබෙන බව නවකතාවක් ඇසුරේ නිර්මාණය කරන චිත්‍රපට අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු විශ්වාස කරති. මෙම සංසිද්ධිය සාධනය වන සිනමා නිර්මාණයක් ලෙස ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයන් අතරෙහි අතිශය ජනාදරයට පත්, ‘ගැහැනු ළමයි’ සිනමා කෘතිය හඳුන්වා දිය හැකිය.

හැටේ හැත්තෑවේ දශකවල මෙරට තරුණ පරපුර අතර අතිශය ජනප්‍රියම නවකතාකරුවෙක් වූ කරුණාසේන ජයලත් මහතාගේ ‘ගැහැනු ළමයි’ යුගයේ පෙරළිකාර කෘතියක් විය. එහි අන්තර්ගතය වූයේ ’56 පෙරළියට උරදුන් ගැමි සමාජයේ පවුල් දෙකක් පාදක කරගත් යොවුන් ආදර කතාවකි. මෙම කෘතිය සිනමාවට නැගීමේ අභියෝගය බාරගත්තේ සුමිත්‍රා පීරිස් මහත්මියයි. මෙම නිර්මාණයේ අධ්‍යක්ෂණය සේම තිර පිටපත් රචනය ද ඇය අතින් සිදුවිය. 1978 දී නිකුත් වූ මෙම සිනමා පටය ශ්‍රී ලාංකික තාරුණ්‍ය උමතු ලෙස වැළඳගත් නිර්මාණයක් බවට පත් වූයේය. නවකතාව පිළිබඳ වූ පූර්ව කැමැත්තත්, සිනමා රූපය තුළ වූ අද්විතීය බවත් ‘ගැහැනු ළමයි’ වෙත විසල් ආදරයක් ලැබීමට හේතු විය.

නවකතාව පමණක් නොව, කෙටිකතාව නම් සාහිත්‍යාංගය ද ශ්‍රී ලාංකික සිනමාව වර්ණවත් කිරීමට දක්වන ලද දායකත්වය සුවිශේෂී එකකි. සිංහල සිනමාවේ සාර්ථකම නිර්මාණය ලෙස සලකන ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අතින් නිර්මාණය වූ ‘නිධානය’ සිනමා කෘතියට නිමිත්ත සැපයූවේ ජී.බී. සේනානායකයන්ගේ ‘පළිගැනීම’ කෙටිකතා සංග්‍රහයේ එන නිධානය කෙටි කතාවයි. ශ්‍රී ලාංකික සිනමාවේ සලකුණුගත නිර්මාණයක් බවට පත් වූ මෙම සිනමා කෘතිය තිස්ස අබේසේකරයන්ගේ තිර රචනයෙන්, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් ඔපවත් විය. නවකතාව සිනමාවට නැගීමේදී බොහෝ තැන්වල එය පරිපූර්ණ නිර්මාණයක් නොවන බවට වන චෝදනාව අපට නිතර අසන්නට දකින්නට ලැබේ. එවන් අත්දැකීම් රැසක් සිංහල සිනමාව තුළ ද පවතින බව නොකියා බැරිය. එහෙත් එම නිර්මාණ මෙහි සලකුණු කොට දැක්වීමට අපි උත්සුක නොවෙමු. නවකතාවක් බොහෝ විට අභ්‍යන්තර පුද්ගල හැඟීම් වචන මගින් ප්‍රකාශ කරන නමුත්, සිනමාවේදී ඒවා වචනයක් ලෙස නොව රූපමය වශයෙන් ප්‍රකාශනය වන හැඟීමක් ලෙස මතු කොට දැක්විය යුතුය.

එය නවකතාවක් තිර පිටපතකට නැගීමේදී තිර පිටපත් රචකයා මුහුණ දෙන ප්‍රමුඛතම අභියෝගයයි. ඔහු විසින් හැඟීම්, සිතුම් පැතුම් සියල්ල රූප කළ යුතු අතර නවකතාවේ කාලය සහ අවකාශය ද ජයගත යුතුමය. අධ්‍යක්ෂවරයා ද මුල් නිර්මාණයට හානි නොවන පරිදි සිනමා පටය නිර්මාණය කිරීමට සැලකිය යුතු තරම් වෙහෙසක් දැරිය යුතු වේ.

ශ්‍රී ලාංකික සිනමාව තුළ මෙම අභියෝගය විශිෂ්ට ලෙස ජයගත් චරිතය, තිස්ස අබේසේකරයන්, බව අමුතුවෙන් සටහන් කොට තැබිය යුතු නැත. අසූව දශකයේ මුල ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සුවිසල් ආදරයක් දිනාගත් නිර්මාණයක් වන ‘ගඟ අද්දර’ සිනමා පටයේ තිර පිටපත ද තිස්ස අබේසේකරයන් විසින් රචිතය. ලෙටීෂියා බොතේජු විසින් රචිත ‘ගඟ අද්දර’ නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වුණු මෙම සිනමා නිර්මාණය ද අධ්‍යක්ෂණය කළේ සුමිත්‍රා පීරීස් මහත්මියයි. ලෙටීෂියා බොතේජුගේම ද තිස්ස අබේසේකරයන් හා තිර රචනයට එක් විය. මෙම නිර්මාණය සාපේක්ෂව මුල් කෘතිය ද අභිබවා ජනප්‍රියත්වයක් ලැබූ බව සිනමා විචාරකයන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගයේ දී නවකතා රැසක් සිනමා නිර්මාණ සඳහා පාදක විය. ඒ සියල්ලම මෙහිලා අපට සංවාදයට බඳුන් කිරීම පහසු නැත. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේම මඩොල් දූව, විරාගය වැනි නවකතා ද අතිශය සාර්ථක සිනමා නිර්මාණ ලෙස තිරගත විය. ඒ අතරින් තිස්ස අබේසේකරයන් විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද විරාගය ශ්‍රී ලාංකික සිනමාවේ සලකුණුගත නිර්මාණයක් වූයේය. මහගම සේකරයන්ගේ ‘තුම්මන් හංදිය’ ද ශ්‍රී ලාංකික නවකතාව සහ සිනමාව එකිනෙක යා කළ පාලමක් බඳුය. නවකතාවේ රචකයා මෙන්ම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂවරයා ද සේකරයන්ම විය.

21 වැනි සියවසේ ශ්‍රී ලාංකික සිනමාව තුළ නවකතාව ඇසුරු කරගත් සිනමා නිර්මාණ කිහිපයක්ම බිහිව තිබේ. ඒ අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරය දිනාගත් සිනමා නිර්මාණය ‘ආදරණීය වස්සානය’ සිනමා පටය බව ඉතා පැහැදිලිය. උපුල් ශාන්ත සන්නස්ගලය අතිශය ජනප්‍රිය ‘ආදරණීය වස්සානය’ නවකතාව ඇසුරින් මෙම සිනමා පටය නිර්මාණය කළේ  ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායකය. 2004 වසරේ දී තිරගත වූ මෙම නිර්මාණය සැලකිය යුතු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත්තේය. මෙම නිර්මාණය ද මෑතකාලීන සිනමා ප්‍රබෝධයට හේතු වූ බව සඳහන් කළ යුතුමය.

සමන් වික්‍රමආරච්චිගේ සාහිත්‍ය නිර්මාණයක් වන වූ සයිකොලොජිකල් ත්‍රිලර් ආකෘතියට අනුව ලියැවුණු සුවිශේෂී සම්මානිත නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ ‘අසංධිමිත්තා’, නවකතාව හා සිංහල සිනමාව අතර සබඳතාව සඳහා මෑත කාලීන උදාහරණයකි. සිනමාවේදී අශෝක හඳගම මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කළේය. ජාත්‍යන්තර ඇගයුම් පවා ලැබූ කලාත්මක සිනමා නිර්මාණයක් ලෙස මෑත කාලීන සිනමාවේ මෙම නිර්මාණය සලකුණුගතව තිබේ.

ශ්‍රී ලාංකික සිනමාවේ කලාත්මක සහ වාණිජ පර්ෂද ද්විත්වයම ශ්‍රී ලාංකික නවකතාව සහ කෙටිකතාව විසින් පෝෂණය කර ඇති බව මෙහිලා අවසාන වශයෙන් සඳහන් කළ යුතුය. ලෝක සිනමාව විෂයේ ද නවකතාව සහ සිනමාව අතර වන සම්බන්ධය විමසා බැලීම වටී. සාහිත්‍ය මාසයේ ඉදිරි සතියක දී අපි ඒ වෙනුවෙන් ඉඩකඩ වෙන් කරමු.

• චමිඳු නිසල්
විශේෂ ස්තූතිය - ප්‍රියනාත් විධානපතිරණ මහතාට

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00