2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

කලාව කියන්නේ සංසාරයක් පුරා අරගෙන එන දෙයක් - Chandrika Rathnayake

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

මා විශ්වාස කරන මා ආදරය කරන දෙවියන් වහන්සේ යනු නිල්වන් සොබාදහමයි. ගීතය හා සංගීතය යනු ඒ දෙවියන් වහන්සේගේ හදවතේ උපන් සොඳුරුතම සංධ්වනියයි. ආදරය ප්‍රේමය ස්නේහය සම්මිශ්‍රණය වී ළයෙන් ළයට ලෝකය සුවපත් කරන්නට මනරම් ස්වර තුරුල් කරගත් ගීතයට සංගීතයට මා ආත්මීයව පෙම් කරද්දී ගීතය සංගීතය කියන්නේ සංසාර කුසලයක්... දෙවියන් තරම් පුදුමාකාර දෙයක් යැයි කියන ඇයට ඉඩක් නොදී කොහොමදැයි මට සිතුණේ එසේ කී ඈ අකලට වට මහ වරුසාවක් සේ පසු ගැයුම ගයද්දී දැනෙන දනවන හඬක් ඈ සතු බග මට ඒත්තු ගිය නිසාමය.

අකලට වට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතූ මොහොතක
ඇයිදෝ යළි ආවේ...

ඒ ගී සුගීෂ්වරය ගායනවේදී නිරංජලා සරෝජිනීගේ හඬින් ගැයෙන විට මහද විඳි සොඳුරු කම්පනය ඇගේ හඬින් ඒ ගී පද ගැයෙද්දී වෙනත් වෙසකින් ද මා හැඟීම් ආමන්ත්‍රණය කළ වගට දැනෙන දනවන ඒ හඬ සොඳුරුතම සාක්ෂියයි.

චන්ද්‍රිකා රත්නායක නුවරින් සමුගෙන ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ වෙසෙන්නට ගියේ අදින් බොහෝ කාලයකට පෙරාතුව වුවත් ගීතය හා සංගීතය කෙරේ ඈ ළය ලෙයට දැනුණු ආලයේ මුල් කිසිදා නොසිඳි හෙයින්ම නිවාඩුවකට ලංකාවට පැමිණි නුදුරේ දිනෙකත් ඇය ඇගේම ගීයක් ගැයුවාය. ප්‍රවීණ විචිත්‍රවත් ඇඳුම් නිර්මාණ ශිල්පී නිල්හාන් සෙනෙවිරත්න හා වන ඥාති බැඳීම හේතුවෙන් ඒ ගීතය නිර්මාණය කර ගැනීමෙහිලා, නිල්හාන්ගෙන් ලද ආදරණීය සහාය ඒ ගීය ගැන මා ඇසූ මොහොතේ ඈ කෘතවේදී ආදරණීයත්වයෙන් සිහිපත් කළාය.

ලංකාදීපයේ සමන්ත යහම්පත් මාර්ගයෙන් ලංකාදීපයේම සුජිත් ප්‍රසංගගෙන් ගඟක් වෙන්නට බැරිවුණා මට ගීතය ලියාගන්න ලැබුණේ නිල්හාන් මල්ලි හින්දා.. ඒ ගීතය සංගීතවත් කළේ සංගීතවේදී මාලක රත්නායක... හැඟුම්බර ස්වරයෙන් ඈ කී වදන් මම එලෙසින්ම ලියා තබමි.

ඉතින් ඔබ මට කියන්න සංගීතයට ගීතයට ඔබ හදවතේ ආදරයක් තියෙන බව ඔබට දැනුණේ කොහොමද?

මම පාසල් ගියේ මහනුවර මහාමායා බාලිකාවට. පුංචි කාලයේ ඉඳන් සංගීතයට ආදරය කළ මම ඉස්කෝලෙ දි සංගීතය ඉගෙන ගත්තා. ගායනයෙන් විශාරද උපාධිය සම්පූර්ණ කළා. මට විශ්වවිද්‍යාලයට යන්න අඩු වුණේ ලකුණු දෙකක් විතර. ජීවිතය එහෙම ගලාගෙන යද්දි මම විවාහ වුණා. බිරිඳක් මවක් වෙද්දි මගේ ස්වාමියාගේ සහ පුතාගේ වැඩ කටයුතු එක්ක ජීවිතය ගෙවෙද්දී ජීවිතයේ ස්වරූපය වෙනස් වුණා. ඒත් කවදාවත් සංගීතයට තියෙන කැමැත්ත ආදරය බැඳීම නම් මගෙන් ගිලිහුණේ නෑ.

කැලිෆෝනියාවේ දී ඔබ තුළ වූ ගායිකාව ඔබ නිහඬ නොකළේ කොහොමද?

ඇමෙරිකාවට ගිය මම නැවත සින්දු කියන්න පටන් ගත්තේ භක්ති ගී ගායනා කරමින්. ඇත්තටම මම නිහඬ චරිතයක්. ඒ නිසාම මම මෙතෙක් ආවෙත් නිහඬ හදිස්සියක් නැති ගමනක්. මට සින්දු කියන්න පුළුවන් කියන එක එහෙ පන්සලේ ස්වාමින් වහන්සේට කියලා තිබුණේ මගේ යාළුවෙක්. එදා ඒ භක්ති ගී ප්‍රසංගයට සංගීතය සැපයුවේ ඒශාන් ප්‍රනාන්දු. ඒ තමයි ඇරඹුම.

ඉතින් ඊටපස්සේ?

ඉතින් ඊටපස්සේ එදා මෙදා තුර සංගීතය හා යා වුණු මගේ ගමනේ ආදරණීය මතක සටහන් බොහොමයක් නැතත් හිතට දැනෙන සංවේදී මතක සමුච්චයක් මගේ ගාව තියෙනවා.

ඒ මතක ගැන කියන්න?

මගේ පළමු ගීතය වැසි වැටුණා ගීතය ලියුවේ නිලංක ප්‍රදීප් රූපසිංහ. තනුව හා සංගීතය නිර්මාණය කළේ ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ. ඒ ගීතය නිලංකට ලියන්න දුන්න එක අදත් මට සතුටක්. මට වුවමනා වුණේ තරුණ ගී පද රචකයකුට පුංචි හෝ අතදීමක් කරන්න. මගේ ගීයට වගේම මම පසු ගැයුම් කළ ගී වලටත් සමාජ මාධ්‍ය ඔස්සේ මට තෘප්තිමත් පාඨක ප්‍රතිචාර ලැබෙනවා. ඒ ආදරයට මම හදවතින්ම ආදරෙයි. හදවතින්ම ස්තූතිවන්තයි. මේ අවුරුද්දේ ජනවාරියේ මම ලොස්ඇන්ජලිස්වල ශාස්ත්‍රීය ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වුවා. මම එදා ගැයුවේ නන්දා මාලිනී, නීලා වික්‍රමසිංහ, මාලිනී බුලත්සිංහල, මිල්ටන් පෙරේරා, දයාන් විතාරණ වැනි ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගී කිහිපයක්. එදා මම ගී 22ක් ගායනා කළා. යුග ගී 3ක් විතර ගැයුවා. එකසිය පනහකට ආසන්න පිරිසක් එදා ඒ ප්‍රසංගය විඳින්න ඇවිත් හිටියා. එදා ලැබුණු ප්‍රතිචාර හරි ආදරණීයයි. ප්‍රසංගවලදි චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, රනිල් මල්ලවආරච්චි වැනි ගායකයන් එක්ක මම ගී ගයා තියෙනවා. ඒ වගේම සොඳුරු සිහිනයකි රෑ ප්‍රසංගයේ දී මට සුමීර සුමංග, රවීන් කණිෂ්ක වගේ තරුණ දක්ෂ ගායකයන් සමඟ ගී ගයන්න ලැබුණා. ඒ වගේම නයනසේන වන්නිආරච්චි ලියූ කරුණාරත්න විජේවර්ධන සංගීතවත් කළ ශාමලා දිසානායක කියන මගේ යෙහෙළියක් මුලින් ගැයූ ගීයක් ඇය මට ගයන්න ලබා දුන්නා.

අවංකවම යම් කෙනෙක්ට හෝ දෙයකට ආදරය කරද්දි ඒ දේ කවදාවත් මඟ නොහැරෙන බව ඔබ විශ්වාස කරනවද?

ඇත්තටම ඔව්. මම විශ්වාස කරන්නෙ කලාව කියන්නේ සංසාරෙන් අරගෙන එන දෙයක් කියලා. සංගීතය ගීතය එක්ක ඉද්දි පුදුමාකාර සුවයක් සැනසීමක් මට දැනෙනවා. ඇත්තටම මනුෂ්‍ය හදවතක් සුවපත් කරන්න සංගීතයට සහ ගීතයට පුළුවන්. සිත හැඟීම්බර කරන්න, වින්දනීය කරන්න සංගීතයට සහ ගීතයට පුළුවන්. සමහර සින්දු කියද්දි ඇහෙද්දි මට ඇඬෙනවා. ඒ තරම් සංවේදී හැඟීම්බර හැඟීම් එනවා හිතට. පුංචි කාලේ අම්මා හරි ලස්සනට කවි කිය කියා ආදරයෙන් ඔළුව අතගගා මාව නිදි කෙරෙව්වා. ලස්සනට මිහිරට නැලවිලි ගී ගැයුවා. අම්මා තාත්තා අක්කා නංගි එක්ක ගෙවපු ඒ ජීවිතයේත් තිබුණේ සතුට. දැන් මම මගේ මහත්තයා පුතා එක්ක ගෙවන ජීවිතයේත් සතුට හැම විදියෙන්ම තියෙනවා. මගේ මහත්තයා කීර්ති නුගලියද්ද. එයාත් තරුණ කාලේ වේදිකා නාට්‍යවල සංගීතය කරලා තියෙනවා. එයා හරි කැමතියි කලාවට ගීතයට සංගීතයට. මගේ පුතාත් සංගීතයට ප්‍රිය කෙනෙක්. ගීතය සංගීතය කියන්නෙ හදවතට දැනෙන්න ඕනෑ එකක්. මම පුංචිම කාලේ ගෙදර රූපවාහිනියක් තිබුණෙ නෑ. රේඩියෝ එකක් තිබුණා මට මතකයි. ඒ කාලේ මම හැම ඉස්කෝලෙ පොතකම පිටුපස මම කැමතිම සින්දු ලියනවා. සංගීත ගුරුවරියක් වෙන්න මට අවස්ථාව තිබුණා. වැඩිම ලකුණු අරගෙන තරග විභාගය සමත් වුණත් කෑගල්ල දුෂ්කර පළාතකට පළමු පත්වීම ලැබුණු නිසා මට එය අත්හරින්න වුණා. ඒත් මම ආසයි මට හැකි විදිහෙන් දරුවන් වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් රසවින්දනය වෙනුවෙන් යම් සේවාවක් කරන්න. ඉපදෙන මැරෙන ජීවිතේ තව කෙනෙක්ගේ සතුට වෙනුවෙන් දෙයක් කිරීම කියන්නෙත් ඇත්තටම පුදුමාකාර ආත්ම තෘප්තියක්.

• සංජු

සේයාරූ - අන්තර්ජාලයෙන්