නවකතාව සිනමාව තුළට වර නැගීම නම් ඉකුත් සියවස තුළ සාහිත්‍ය ලෝකයේ සිදුවූ දැවැන්ත පරිවර්තනය පිළිබඳ ඉකුත් සතියේ අපි සංවාදයක් ගොඩනැගුවෙමු. සිංහල සිනමාවේ සහ සිංහල නවකතා අතර පැවති සහසම්බන්ධය පසුගිය සතියේ අප සංවාදයට විෂය විය. මෙවර අප ඉඩකඩ වෙන් කරන්නේ ජාත්‍යන්තර සිනමාව, ටෙලි කතා මාලා සහ විශ්වීය නවකතාව අතර පවතින අපූරු සබඳතාව විග්‍රහ කර ගැනීම වෙනුවෙනි. ඒ උදෙසා අපට සහාය වන්නේ තරුණ ලේඛකයකු සහ තිර පිටපත් රචකයකු වන රූපණ කලාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරන ප්‍රියනාත් විදානපතිරණ මහතායි.
සාමාන්‍යයෙන් අනුවර්තනයක් ලෙස සැලකෙන්නේ එක මාධ්‍යයක් භාවිත කොට නිර්මාණය කරන ලද යමක්, තවත් මාධ්‍යයකට අනුකූල කරවා ගැනීමේ ක්‍රියාවලියටය. ප්‍රියනාත් විදානපතිරණ පැහැදිලි කරන ආකාරයට නවකතාව සිනමාවට අනුවර්තනය කිරීමේ ක්‍රියාවලිය ද මෙම පදනම මතම සිට සිදුවන්නකි.
“අනුවර්තනයේ දී දෙවැනි මාධ්‍යයට ගැලපෙන පරිදි වෙනස් කිරීම, සුසර කිරීම සිදු කරනවා. මොකද එක් මාධ්‍යයක් තුළ පවතින නිර්මාණයක් ඒ ආකාරයෙන්ම, අනික් මාධ්‍යයට ගෙන යන්න බැහැ. නවකතා නිර්මාණයක් වුණත් සිනමාවට රැගෙන ඒම අභියෝගයක්.”
නවකතාව විෂය වූ සිනමා නිර්මාණ අතර චාරිකාවට පූර්වයේ මෙම ක්‍රියාවලියේ ගැඹුර අප අවබෝධ කරගත යුතුය. ප්‍රියනාත් විදානපතිරණ ශාස්ත්‍රීය මූලාශ්‍ර ද උපුටා දක්වමින් නවකතාවක් තිර පිටපතක් බවට පත්වීමේ ක්‍රියාවලිය පහදා දෙයි. තිර රචනය විෂයක් ලෙස සංවර්ධනය කිරීමට දායකත්වය සැපයූ කීර්තිමත් ගුරුවරයා වන සිඩ් ෆිල්ඩ් උපුටා දක්වමින් ඔහු මෙම කරුණ පහදා දෙයි.
“සිඩ් ෆිල්ඩ්ට අනුව පළමු මාධ්‍ය සැලකිය යුත්තේ මූලාශ්‍රය ලෙස මිස, ඊට වඩා දෙයක් ලෙස නෙවෙයි. ෆිල්ඩ්ට පැහැදිලි කරන ආකාරයට වෙනත් මූලාශ්‍රයකින් ආභාෂය ලත්, ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස, තිර රචකයා අනුවර්තනයට අවතීර්ණ විය යුතුයි. කෙසේ වෙතත් මුල් කෘතියේ මුඛ්‍යාර්ථය ආරක්ෂා කිරීම නිර්මාණවේදියා සතු වගකීමක්.”
ඉකුත් සතියේ ද අප සඳහන් කළ පරිදි නවකතාවක් සිනමා කෘතියකින් වෙනස් වන ප්‍රධානතම සාධකය වන්නේ නවකතාව පාඨකයා සඳහා වීමත්, සිනමාව ප්‍රේක්ෂකයා වීමත්ය. බොහෝ විට නවකතාවක කතාන්දරය ගලා යන්නේ ප්‍රධාන චරිතයේ දෘෂ්ටිකෝණයෙන් හෝ ලේඛකයාගේ දෘෂ්ටිකෝණයෙනි. එම නිසාම සාමාන්‍යයෙන් පාඨකයා චරිතවල හැඟීම්, මතකයන්, සිතිවිලි, බලාපොරොත්තු සහ භීතිකාවන් පිළිබඳ හොඳින් දනියි. මන්ද යත් ලේඛකයා මෙම තොරතුරු පරිච්ඡේද ගණනක් වැය කරමින් විස්තර කරයි.
“ඒත් සිනමාව කියන්නෙ රූප වලින් කියැවෙන කතන්දරයකට. බොහෝ විට සිනමාවේදීන්, චිත්‍රපට සඳහා නවකතා පාදක කරගන්න හේතු දෙකක් තියෙනවා. පළමු හේතුව සිනමාවේදියාගේ සිත් ඇදගන්නා සුළු කතාවක් නව කතාවක් තුළ තිබීම. දෙවැනි කාරණය නවකතාවකට විසල් පාඨකාගාරයක් පැවතීම නිසාවෙන් ඒ පාඨකාගාරය ප්‍රේක්ෂකාගාරයක් බවට පත්වෙයි කියන විශ්වාසය.”
කෙසේ වෙතත් ප්‍රියනාත් විදානපතිරණ පෙන්වා දෙන ආකාරයට නවකතාව සිනමාවට නැගීම දුෂ්කර කාර්යයකි. එහිදී මානව හැඟීම් සිතුම් පැතුම් ප්‍රකාශ කිරීමට භාවිත කළ හැක්කේ රූපය පමණි. එම නිසාම නවකතා සිනමාවට අනුවර්තනය කිරීමේ ක්‍රියාවලිය ඇතැම්විට සාර්ථක ප්‍රතිඵලයකින් අවසන් වන්නේ ද නැත. ඒ සඳහා උදාහරණ කිහිපයක් මෙලෙස උපුටා දක්වයි.
“උදාහරණ ලෙස, එෆ්ගස්කොට් ෆිර්ජෙලර්ගේ ‘ද ග්‍රේට්ස් ගැබේ’ නවකතාව ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපෙල්ලා සිනමාවට නැගීමට ගත් උත්සාහය දක්වන්න පුළුවන්. කොපෙල්ලා කොතරම් දක්ෂ අධ්‍යක්ෂවරයකු වුණත්, එහිදී ඔහු එතරම් සාර්ථක වූයේ නෑ. දෙවැනි උදාහරණය විදිහට පාවුලෝ කොහියෝගේ ‘වෙරෝනිකා ඩිසයිඩ්ස් ටු ඩයි’ කෘතියේ සිනමා අනුවර්තනය කිරීම ගැන කතා කළ හැකියි. පාවුලෝ කොයි හෝගේ නවකතාව ප්‍රධාන චරිතයේ චිත්තාභ්‍යන්තර හැඟීම් ගැන විවරණයේ යෙදෙන, පරිබාහිර සිදුවීම් අවම වූ නවකතාවක්. එය සිනමාවට නැගූ විට, අතිශයින් අසාර්ථක වුණා”
මෙවන් තවත් උදාහරණ රැසක් ලෝක සිනමාව ඇසුරෙන් උපුටා දැක්වීමේ හැකියාව පවතී. බොහෝ විට නවකතා මාධ්‍යයේ පවතින ගති ස්වභාව මෙම අසාර්ථකත්වයට හේතු වී ඇති බව පැහැදිලිව පෙනී යයි. නවකතාව යනු පාඨකයාට විස්තර ලබා දී පරිකල්පනයට ඉඩ සලසන සාහිත්‍යාංගයකි. සිනමාව යනු පරිකල්පනයක් රූපයටම නැගීම උදෙසා ලෝකය සොයාගත් අපූරු මාධ්‍යයකි.
“නමුත් නවකතාව තරමටම, සාර්ථක අනුවර්තන ද නැතුව නෙවෙයි. උදාහරණ ලෙස මාරියෝ පුසෝ විසින් රචිත ‘ගෝඩ් ෆාදර්’ නවකතාව පාදක කරගෙන ඔහු විසින්ම තිර රචනය කළ ‘ගෝඩ් ෆාදර්’ චිත්‍රපටය ගන්න පුළුවන්. එය ඉතිහාසයේ බිහි වූ හොඳම අනුවර්තනයක් ලෙස සැලකෙනවා.”
නවකතාව සිනමාවට නැගීමේදී සාර්ථකත්වය පෙන්නුම් කළ නිර්මාණ රැසක් තිබේ. එම සාර්ථකත්වයන් පිටුපස පවතින හේතු කාරණා ද විවිධාකාරය.
සිනමාව පමණක් නොව නූතන ලෝකයේ ඉහළ ආකර්ෂණයක් දිනාගත් රූපවාහිනී මාලා නාටක ද නවකතාව හා චලන රූපය අතර පවතින සහසම්බන්ධය විග්‍රහ කිරීමට යොදාගත හැකියි. අනුවර්තනයේ දී සිදු කරනු ලැබූ සුවිශේෂී වෙනස්කම් උදාහරණ කොට දැක්වීමට ප්‍රකට ‘ගේම් ඔෆ් ක්‍රෝන්’ කතා මාලාව කදිම උදාහරණයකි. එහිදී නවකතාව, ජීවමාන චරිත, රූපවාහිනී මාලා නාටකයේ දී මරා දමා ඇත.
“ඇන්හයිලේෂන් නමැති විද්‍යා ප්‍රබන්ධය සඳහා එහි තිර රචකයා හා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඇලෙක්ස් ගාලන් විසින් තෝරාගෙන ඇත්තේ ජෙෆ් වැන්ඩමියර්ගේ එම නමින්ම වූ නවකතාවේ එක් කුඩා කොටසක් පමණයි. සිනමාවේදියාට මුඛ්‍යාර්ථය වෙනස් නොවන පරිදි, අදාළ මූලාශ්‍රය පාදක කරගෙන අනුවර්තනය කිරීමේදී වෙනස්කම් කිරීමේ නිර්මාණාත්මක හැකියාවක් තිබෙන බව මෙහිදී පැහැදිලි වෙනවා.”
ප්‍රියනාත් විදානපතිරණ පැහැදිලි කරන පරිදි නවකතාවක් සිනමා පටයකට අනුවර්තනයේ සාර්ථකභාවය එහි අධ්‍යක්ෂවරයාගේ හා තිර රචකයාගේ සමත්කම මත ද රඳා පවතියි. මෑත කාලයේ විශාල අවධානයක් දිනාගත් ‘ඩූන්’ චිත්‍රපට මාලාව ඔහු ඒ සඳහා උදාහරණ කොට දක්වයි.
“ඩූන් කියන්නෙ කිහිප වරක්ම අනුවර්තනය කිරීමට ගොස් අසාර්ථක වූ නවකතා මාලාවක්. නමුත් ජොන් ස්පැත්ස් විසින් තිර රචනය කළ මෑතක දී නිකුත් වූ ‘ඩූන්’ චිත්‍රපට දෙකම අතිශයින් සාර්ථක වුණා.”
නවකතාව චලන රූපය වෙත අනුවර්තනය කරන විට පිටපත් රචකයන් අධ්‍යක්ෂකවරුන් එහි සාර්ථකත්වය සඳහා අපූරු උපාය මාර්ග භාවිත කළ ඇති අයුරු ද දැකගත හැකිය. සැබවින්ම එම වෙනස්කම් චිත්තාකර්ෂණීයය.
“අනුවර්තනයේ දී මූලාශ්‍ර කෘතියේ කාලය හෝ ස්ථාන වෙනස් කළ අවස්ථා තියෙනවා. උදාහරණ ලෙස සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත ‘ෂර්ලෝක් හෝම්ස්’ කතා මාලාව, එහි නවතම බ්‍රිතාන්‍ය ටෙලි මාලා නාටකය තුළ වර්තමාන කාලයට අනුවර්තනය කර තියෙනවා. මෙම ටෙලි කතා මාලාවේ දැකගත හැකි වන්නේ දුරකථන පරිගණක භාවිත කරන ෂර්ලෝක් හෝම්ස් කෙනෙක්. තවත් උදාහරණයක් සඳහන් කළොත් බ්‍රෑම් ස්ටෝකර්ගේ ‘ඩ්‍රැක්‍යුලා’ කෘතියෙන් අතීතය, වර්තමානය සහ අනාගතය යන කාල තුනටම අනුවර්තනය කරන ලද මාලා නාටකයක් මෑතක දී නිකුත් වුණා.”
අවසානයේ දී ප්‍රියනාත් විදානපතිරණ මහතා පෙන්වා දෙන්නේ අනුවර්තනය ස්වතන්ත්‍ර රචනයටත් වඩා අසීරු කර්තව්‍යයක් බවයි.
කෙසේ වෙතත් නූතන සාහිත්‍ය ලෝකයේ සිදුවූ දැවැන්තම පරිවර්තනය සිනමාව සහ නවකතාව අතර ගොඩනැගුණු අන්තර් සම්බන්ධය යැයි කීම වරදක් නැතැයි අපට හැඟේ. පරිකල්පනයේ සීමා මායිම් දෙකක් හරහා මේ අපූරු සාහිත්‍යාංග ද්විත්වය ගමන් කොට ඇත. කෙසේ වෙතත් නවකතාව සහ සිනමාව අතරින් ඉඳුරාම වඩාත් සාර්ථක කවරක් දැයි කීමට සාහිත්‍යකාමී රසවතකු ඉදිරිපත් නොවනු ඇත.
• සටහන - චමිඳු නිසල් ද සිල්වා