2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ගී ලියන්න, කවි ලියන්න, තනිකම, පාළුව, මට පාර කියලා දුන්නා - Preethi Randeniya

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 117

හේතුවක් අවැසිමද? 
මට කියන්න හේතුවක් අවැසිමද?

ආදරේදැයි නොඅසා ආදරය කරන්නට හේතුවක් අවැසිමදැයි මට කියන්න... 

හේතු විරහිතව කොන්දේසි විරහිතව මම ආදරය කළ සහ ආදරය කරන මගේ ලෝකයේ ආදරවන්තයන් සහ ආදරවන්තියන් අතර ඇය ද හිඳී. මා ආලය කළේ ඇයට නොවේ. සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද දැනෙන ආදරයේ ස්නේහයේ ආලයේ අහුමුළු අස නැවතී ඇය ලියන, ඇය ලියූ කවි ගී වලටය. කවි, කතන්දර, නවකතා, පොත් අතර රැඳුණු ඇගේ ලේඛනයේ හෘද සංවේදී ඉසව්වන්ටය.

ප්‍රාණසම ස්වාමී
කිමදෝ පමා... 

ඈ ලියූ ඒ ගීය කී වතාවක් මා ඇසුවේදැයි මගෙන් නොඅසන්න. ඒ තරමටම ඒ ගී පද අතරෙහි මා තනි වූ තත්ත්පර අපමණය.
නොඉල්ලා බිඳකදු ස්නේහය ප්‍රාණසම ප්‍රේමයෙන් පිරිමින්ට පෙම් බඳින, පිරිමින්ට පෙම් කරන ගැහැනුන් මට හමුවූයේ ඉතිහාස පරිච්ඡේද, කුරුටු ගී, නවකතා, සිනමා රූපකාරක, කවි, ගී, සින්දු අතර පමණක් නොවේ. ජීවමාන මේ විශ්වයේ බොහෝ තැන්හිදී මට එවන් ගැහැනුන් හමු වී ඇත. හමුවෙමින් ද පවතී. හමුවීමට ද නියමිත යැයි විශ්වාස කරමි. මගේ ආත්මය කනිමින් මා විසින් මා සොයන කල්හි ද වරෙක මට එවන් ගැහැනියක හමු වේ. පිරිමි පපුවක උණුහුමෙන් සැනසී ආත්මයම දන් දී ප්‍රේමය අල්පමාත්‍රයක් පමණක් ඉල්ලා හිඳින ගැහැනු හිත තුරුල් කරගෙන ඇත්තටම

ප්‍රාණසම ස්වාමී
කිමදෝ පමා
කී වරක් ඇසුවාදැයි මට මතක නොහේ.
කොයි දේසෙ කොයි දීපෙ හිටියා ද දන්නෙ නෑ
මගෙ කුසට එනතුරා ඔබව හඳුනන්නෙ නැහැ
සංසාරෙ පුරුද්දට ආවාද දන්නෙ නෑ
මවක් වෙනතුරා මට
මවු සෙනෙහෙ දැනුණෙ නෑ...

ඈ ලියූ ගී අතර අතිශය ආදරණීය ශ්‍රාවක ළෙන්ගතුකමක් ලද ගීයකි ඒ.
ඇය හදවතින් හදවතට ගී පද සංකල්පනා ඔස්සේ අපමණ මානවීය මනෝභාවයන් ආමන්ත්‍රණය කළාය.
නොඅසන්න හිමි සඳේ
සැරසෙන්නෙ කිම මෙසේ
ඔබෙ සිරගෙයින් මිදී
යමි යළි නොඑන සේ
නොකියන්න යළි යළි
නවතින්න පෙර ලෙසේ
ඔබෙ නපුරු කුරිරුකම්
රිදවූ තරම් ඇති

අසිරිමත් සිරියාවන්ත කුල ගෙයක සැනසුම පතා සපැමිණෙන බොහෝ ගැහැනුන්ගේ ගැහැනු පපු අවුලුවන ලසෝ ගින්දරක සදාකාලික ප්‍රස්තුතය ඈ ගී මුතුහරේ එක් ගී මුතු ඇටයකට අනුභූතිය වූයේ එහෙමය. ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක... මට එසේ සිත් වෙයි. ඉඳින් කවර යස ඉසුරු ලද්දත් ප්‍රේමය ප්‍රේමය වෙසින්ම, ප්‍රේමය ප්‍රේමය වෙසෙසින්ම නොලද යම් ගැහැනියක් ලොව කොතැනක හෝ වෙත්නම් ඈ හදවත පුරා ඇතිවන හිස්තැන්, ඒ හිස්තැන් අවුලන, නැතිනම් ඒ තනිකම් අවුලන උණුහුම්ම ගින්දර ඈ ඉසියුම්ම වෙසින් ගීයකට ප්‍රස්තුත කරගත් අයුරු අරුමය.

මගේ නිවසේ තිබුණු මැණිකක්
නුඹේ දෝතට පිරිනමමි මම
දියණියේ
සෙනෙහසින් පිළිගන්න
ආදරෙන් රැකගන්න
අද පටන් උරුමය ඔබෙයි
ඒ මහඟු මැණික දුවේ

චන්ද්‍රලේඛා පෙරේරාට, උරේෂා රවිහාරිට, ඉන්දිකා උපමාලිට, සමිතා මුදුන්කොටුව ආදී පරපුරකට ගයන්නට ගී ලියූ ඈ ඒ ගීය ලියුවේ නන්දා මාලිනියට ගයන්නටය. රූකාන්ත ගුණතිලක ගැයූ පැට්ටන් එකා අමුතුම මිහිරක් දැනවූ ගීය තෙක් ඈ ලියූ ගී බොහෝ වෙත්. ඇගේ හදවත් යාය මත සිත්තම් වූ කුරුටු ගී ඇය විනිවිද මට කියවන්නට ඒ ගී මට පාර කියයි. සංවේදී ආදරණීය ළතෙත් හිතක් ඇති ගැහැනියක වූ... ලාංකික සිනමාවේ මහා පුරුෂයෙකුට පාද පරිචාරිකාවක් වූ... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තමන් පෙම් කළ, තමන්ට ස්වාමි වූ පිරිමියා වෙනුවෙන් මව්වත් ස්නේහයක් ළය දරාගෙන ඒ කුල ගෙය රකිනු රිසින් වගකීම් සමුදායක් දෙවුර දරාගත් අප්‍රමාණ කැපකිරීමක් සහ පරිත්‍යාගයක් පතිනි භූමිකාව තුළ සිදු කරමින් බොහෝ දේ ඉවසිලිවන්තව දරාගත් මට හමුවූ සොඳුරුතම ගැහැනියකි ඈ... ඇය මෙතුවක් ගී ලියූ, ගී සේම කවි, කතාන්දර ලියූ... නිළියක ලෙස අතීත සිනමා පිටු අතරෙහි නම ලියූ ප්‍රීතිය. පතිනි වරම් ලද පසු ප්‍රීති රන්දෙණියය.

ප්‍රීති.. මට කියන්න ඔබ තුළ හිඳි කිවිඳිය, ඔබ තුළ හිඳි ගී පද ලියන්නිය, ලේඛිකාව ඔබට දැනෙන්න ගත්තෙ කොහොමද?

මගේ ජීවිතයේ පරිච්ඡේද එකකින් එකකට වෙනස් වෙන තැන් බොහෝමයි කියලා හිතෙන තැන් තියෙනවා. පුංචි දවස්වල මම ජීවත් වුණේම සොබාදහමත් එක්ක පුදුමාකාර සතුටකින්. දරුවෙක් විදිහට හිතේ හැටියට මම සෙල්ලම් කළා. ළමා විය වින්දා. තරුණ වියත් එක්ක මම නිළියක් වුණා. වේදිකාවෙන් සිනමාවට ආවා. ඒත් සිනමාවේ ගමන තුළ ආරම්භයක් සනිටුහන් කරන්න විතරයි මට සිදුවුණේ කියලා හිතෙනවා. තුරුණු වියේදීම බිරිඳක් වෙන්න, මවක් වෙන්න මගේ ඉරණම තීන්දු වෙලා තිබුණා. ඒ සියල්ල මම සතුටින් ඉවසීමෙන් දරාගත්තා. ඒත් රවී නළුවෙක් විදිහට හුඟාක් කාර්යබහුල වෙද්දී පාළුවක්, හිස්තැනක්, තනිකමක් දැනෙන තැන් ජීවිතය මට පිරිනමද්දී මම හුඟාක් පොත් කියවන්න පුරුදු වුණා. කවි, කතන්දර පොත්, නවකතා ලියන්න මගේ හිත ආසා කළේ ඒ ලේඛනය මට පාළුවක්, හිස්තැනක්, තනිකමක් දැනෙන තැන් මගෙන් මඟහැරවූ නිසා. ළමා කතන්දර පොත් 35 ක් විතර මම ලියුවා. මම ඇත්තටම හරි සංවේදී හිතක් තියෙන කෙනෙක්. මානව හැඟීම් හරි සියුම් විදිහට ස්පර්ශ කරන්න, ඕනෑම කෙනෙක්ගේ දුකට, කඳුළට, හිනාවට ළං වෙන්න මට පුළුවන්. ඒ සියල්ල තුළ මම මා තුළ හුස්ම ගන්න ලේඛිකාව දැන හඳුනා ගත්තා කියලයි මට හිතෙන්නේ.

ලේඛනය කියන එක, ලේඛකයෙක් ලේඛිකාවක් වීම පුදුමාකාර ආත්මීය නිදහසක් විදිහටයි මට දැනෙන්නේ. සියල්ල අවසානයේ මේ ලෝකයේ හැම කෙනෙක්ම ඉල්ලා හිඳින්නේ සතුට. නිර්මාණකරණය ඔබ වෙත රැගෙන එන සතුට ඔබට දැනෙන්නේ කොහොමද?

මම අතින් ලියැවෙන්නේ මගේ හදවතටම දැනෙන දේවල්. මගේ ජීවිතය තුළ මම විඳින දේවල්, නැත්නම් මේ ලෝකය තුළ මම දකින දේවල්, මගේ සමීපතමයන් විඳින දේවල්, මගේ සමීපතමයන් මට කතා කරලා කියන දේවල්. ඉතින් ඒ බොහෝ දේ හරි සංවේදීයි. හරි මානුෂිකයි. මගේ කවි, ගී, කතන්දර කෙනෙක් රසවිඳිමින් මට දක්වන ප්‍රතිචාරය මට ඇත්තටම ආත්ම තෘප්තියක්. මගේ පුංචයි ආච්චයි ළමා පොත කිහිප වතාවක් මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වුණා. ඒ පුංචි කාලයේ මගේම ජීවන අත්දැකීම්. කොයි දේසෙ කොයි දීපෙ හිටියාද දන්නෙ නෑ ගීතය මාසයක් ඇතුළත විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් අසා තිබුණා. මට හිතාගන්න බැරි ප්‍රතිචාර ලැබුණා. දරුවකු කුස දරා හිඳින මවකගේ සිතුවිල්ල මම ගීතයකට ඇමිණුවේ. ඇත්තටම නිර්මාණකරණයෙන් ලැබෙන ආත්ම තෘප්තිය මෙච්චරක් කියලා වචනවලින් කියන්න මම දන්නෙ නැහැ. ඇත්තටම මට වෙලාවකට හිතෙනවා මොකක්දෝ සංසාර පුරුද්දක් විසින් මාව නිර්මාණකරණය වෙතට ගෙනත් ඇරලුවා කියලා.

තුරුණු වියේදීම ඔබ පතිනියක ලෙස, මවක ලෙස දෙවුර දරාගත් භූමිකාවන්හි ස්වරූපය සහ වගකීම් සමුදාය ඇත්තටම ඔබට දැනුණේ කොහොමද?

සිනමාවට ආව ගමනේ මුල්ම කාලයේ දී මම විවාහ වුණා. විවාහයත් සමඟ සිනමාවට ආයුබෝවන් කීවා. විවාහ වී ටික කලකින්ම මම අම්මා කෙනෙක් වුණා. තුරුණු වියේදීම දරුවන් තුන් දෙනෙක්ගේ අම්මා කෙනෙක් වුණා මම. මාව විවාහය තුළ දැඩි වගකීමකින් බැඳීමකින් බැඳ තැබුවේ මට හිතෙනවා අම්මා කියන ඒ භූමිකාව කියලා. ගැහැනියක් මවක් වීම තුළ කොයි තරම් පරිත්‍යාගයක්, කැපකිරීමක්, දරාගැනීමක් කරන්න ඕනෑ ද කියලා මම ඉගෙන ගත්තා. යම් ගැහැනියකට විවාහය යම් සිරගත වීමක්, පාළුවක්, හිස්තැනක් විදිහට දැනෙන තැනක් ආවත් මම හිතන්නේ දරුවන් සමඟ ජීවිතය යා වෙද්දී මිදෙන්න බැරි බැඳීමකින් ගැහැනියකට විවාහය දරාගන්න සිදු වෙනවා. ඇත්තටම මම බිරිඳක් මවක් යන සියලු භූමිකාවන් සතුටින් බාරගත්, සතුටින් දරාගත් ගැහැනියක්.

ඔබ බිරිඳක් වුණේ රටක් නොදන්න පිරිමියකුට නෙවෙයි. මුළු රටක්ම දන්න මහා නළුවෙකුට. විශේෂයෙන් තුරුණු වියේ දී තරුණියන්ගේ ගැහැනුන්ගේ දැඩි ආකර්ෂණයට ලක් වූ පිරිමියෙක්ට. එහෙම පිරිමියෙක්ට බිරිඳක් වීම, එහෙම පිරිමියකු පිළිබඳ දැනෙන අයිතිය පිළිබඳ හැඟීම ඔබට දැනුණේ කොහොමද?

ඇත්තටම නළුවෙක්ට, තරුණියන්ගේ ගැහැනුන්ගේ ආකර්ෂණයට ලක්වෙන පිරිමියෙක්ට බිරිඳක් වීම කියන්නේම සරල සුන්දර කාරණයක්ම නොවෙයි. එය හරි දුෂ්කර අත්දැකීමක් වගේම වාසනාවක් කියලා දැනෙන තැන් තියෙනවා. රවීගේ අම්මා කියපු විදිහටත් රවී කියන්නේ පුංචි කාලේ ඉඳන්ම සුවිශේෂී චරිත ලක්ෂණ තිබුණු චරිතයක්. එයාට හොඳ පෞරුෂත්වයක් තියෙනවා. එයාට සාමාන්‍යයෙන් අනික් අයගෙන් වෙනස් වෙන චරිත ලක්ෂණ තියෙනවා. ඉතින් මම එයාව තේරුම් ගත්ත, එයාට අවශ්‍ය සියලු දේ නොපිරිහෙලා ඉටු කළ, එයාව ආදරයෙන් දරාගත්, තේරුම්ගත්, ඉවසාගත්, එයාව රැකගත් බිරිඳ වුණා. මුල් කාලේ එයා එක්ක විශේෂ තැන්වලට ගියාමත් මාව දන්නෙ නැති අය ඉන්නවා. සමහරවිට මාව පෙරළගෙන ගිහින් එයාව බලනවා, අතගානවා, කතා කරනවා. ඉතින් හිතට වේදනාවක් දැනුණු තැන් මට එහෙම තැන්වලදි දැනුණා. ඒත් මම එයා හැමෝම ආදරය කරන නළුවෙක් නේද කියන අවබෝධයෙන් ඒ යථාර්ථය තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන නිහඬව ඒ පසුබිම දරා ගත්තා. ජීවිතය තුළ මට දැනුණු හැඟීම් විශේෂයෙන් මාව පොත් කියවන්න, ලියන්න සහ සංගීතය කෙරේ නැඹුරු වෙන්න හේතු වුණා. ඒ සියල්ල හිත නිවන තැන්.

සිනමා නිළියක් ලෙස දුර ගමනක් යන්න ඔබට සමහරවිට හීනයක් තියෙන්න ඇති. ඒ හීනය අහිමිවීම හෝ අහිමි කරගැනීම ඔබට කවදා හෝ වේදනාවක් විදිහට දැනිලා තියෙනවද?

ඔව්... මට හීනයක් තිබුණා සිනමා නිළියක් විදිහට ලස්සන දුර ගමනක් යන්න. ඒත් විවාහය තුළ මම අත්හැරියේ ඒ හීනය. ඒත් ජීවිතය එහෙම තමයි. සමහරවිට එක් වටිනා යමක් ලබාගන්න තවත් වටිනා යමක් අත්හරින්න සිදුවෙනවා. මහා නළුවෙකුට බිරිඳක් වීමේ ඉරණමක් මගේ දෛවයේ ලියැවිලා තියෙන්න ඇති. විවාහ වෙද්දි අපි දෙන්නා තීරණය කළේ ටික කාලෙකින්ම සිනමාවෙන් සමුගන්න. මම ඒක කළා. ඒත් රවී සිනමාවෙන් සමුගත්තෙ නෑ. එදා ඒක මට විශාල දුකක් විදිහට දැනුණා. ඒත් අද දක්වා මේ සිනමාව වෙනුවෙන් කළ මෙහෙවර, රවීට ලැබෙන ආදරය දකිද්දි එදා මම ඒ දරාගත්ත වේදනාව ගැන කනගාටුවක් හිතෙන්නෙ නෑ. ඔහු වෙනුවෙන් මා කළ කැපකිරීම් සහ පරිත්‍යාග ගැන සතුටක් දැනෙනවා.

ප්‍රීති ඔබ ආදරය නිර්වචනය කරන්නෙ කොහොමද?

ඇත්තටම ආදරය හමුවෙන තැන්වලදි එය රැකගන්න. ආදරය කියන්නෙ පරිත්‍යාගශීලීව කරන පූජාවක් වගේ උතුම් දෙයක්. වචනවලින් ආදරය ප්‍රකාශ කරන, ආදරය ආදරය විදිහට දැනෙන්න හරින තැන් ජීවිතයේ දී හමුවෙනවනම් එය වටිනාකමක්, වාසනාවක්. ආදරය ආදරය විදිහට දැනෙද්දි ජීවිතයේ රිදෙන තැන් හරි අඩුයි. ජීවිතයක රිදෙන තැන් සුවපත් කරන්න ආදරයට පුළුවන්.

රවීන්ද්‍ර රන්දෙණිය කියන මහා කලාවේදියාණන් වෙනුවෙන් කැප කළ ජීවිතය, අදටත් කැප කරන ජීවිතය තුළ ප්‍රීති ඔබ හරි ආදරණීයයි, පරමාදර්ශීයි. කියන්න අද දවසේ ජීවිතය දැනෙන හැටි?

රවී වගේම මමත් අද වියපත්. ජීවිතයේ තව ටික කාලයක් අපි දෙන්නටම තියෙනවා. ඒ කාලය තුළ රවීට හුඟාක් හොඳින් ඇවිදින්න ලැබිලා රවී සුවපත් වෙනවා දකින්න මම හරි ආසයි. ඒක මගේ පැතුමක්. මම හැමදාම උත්සාහ කළේ වචනයකින්වත් කාගෙවත් හිතක් නොරිදවා ඉන්න. අදත් එහෙමයි. මම ආසයි අද දරුවන් නව පරපුර තමන්ගේ දක්ෂතා ඔස්සේ වටිනාකම් රැකගෙන ලස්සන ගමනක් යනවා දකින්න. මරණය කොයි විදිහට මාව හොයාගෙන එයිද මම දන්නෙ නෑ. මම ප්‍රාර්ථනා කරන්නේ සුවදායක වෙහෙසකර නොවන මරණයක්. ඇත්තටම මම දැන් ජීවිතය තුළ පරිණත ගැහැනියක්. සතුට තමයි තවදුරටත් මගේ ප්‍රාර්ථනාව. දෛවය හෝ අපිට නොපෙනෙන බලවේගයන් තියෙනවා අපේ ජීවිතය පාලනය කරන, මෙහෙයවන. ඒ කවරකට හෝ මෙතෙක් මට දුන් ජීවිතයට මම ස්තූතියි කියලා කියනවා.

• සංජීවිකා සමරතුංග
• සුමුදු හේවාපතිරණ