තනියම ලෝකෙ වටේ ‘ට්‍රැවල්’ කරන ගැහැනු ළමයෙකුට ලංකාව කොච්චර සුදුසුද?
ඔන්න ඔය ප්‍රශ්නෙ අහගෙනම තමයි අද අපිට හමුවුණු, මේ චීන තරුණිය ලංකාවේ සංචාරය පටන් ගත්තේ. කොළඹින් තමයි සංචාරය ආරම්භ වුණේ.
“මම යනවා දුම්රියෙන් අහංගම. පෙනෙන විදිහට ඒක පැය තුන හතරක ගමනක්”
තුන් රෝද රථයක නැගිලා කොළඹ ස්ටේෂමට එන ගමන් බයන්කා ජී කියන තරුණිය අපිට කිව්වා. මෙතැන දි ත්‍රිරෝද රථයේ රියැදුරු මහත්තයා ඇගේ වතගොත ටිකක් හොයලා බැලුවා. එතැන දී තමා මුල් වතාවට ඇය චීන ජාතික තරුණියක් බව කිව්වේ.
ඔන්න කොහොම හරි මෙයා ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට් එකක් ගන්න කවුන්ටරයට ගියා. පළමු පන්තියේ අහංගමට ටිකට් එකක් තමා ඉල්ලුවේ. කොහොම වුණත් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පළමු පන්තිය ටිකක් නැහැ. ඒ නිසා ඇයට ලැබුණේ දෙවැනි පන්තිය ටිකට් එකක්. ලංකාවේ ආරක්ෂාව ගැන දැන කියා ගැනීම ලොකු උවමනාවක් වුණු නිසාම මෙයා ටිකට් පරීක්ෂකවරුන්ගෙන් දුම්රිය නවත්වන වේදිකාව සහ ස්ථානය, වෙලාව වගේ දේවල් ගැන ප්‍රශ්න කළා.
“දුම්රිය නවත්වන්නේ පස්වැනි වේදිකාවේ. දහයහමාරට දුම්රිය එනවා”
ඒ පැහැදිලි කිරීමෙන් මේ චීන තරුණිය සතුටට පත් වුණා. ඇත්තටම අපේ අය අවංකව සහ උවමනාවෙන් කරුණු පැහැදිලි කරලා දුන්නා.
කොහොම හරි මේ තරුණිය එතැන තිබුණු පොඩි කැන්ටිමට ගිහිල්ලා බීම එකකුත් ගත්තා. මෙතැනදිත් මුදලාලි සහ ඇය අතර සංවාදයක් ඇතිවුණා. අපේ කඩේ මුදලාලිට ඕනෑ වුණා ඇයගේ වතගොත, ආපු රට, විස්තර ටිකක් දැනගන්න. ඉතින් අවංකවම ඇය ඒ ප්‍රශ්නවලට උත්තර ලබා දුන්නා.
“මට කියන්න පුළුවන්ද හරියටම දෙවැනි පන්තියේ දුම්රිය මැදිරි නවත්වන්නෙ කොතැනද කියලා”
කඩේ මුදලාලි මහත්මයාගෙනුත් මෙයා මේ විදිහට ප්‍රශ්න කළා. ඔහුත් බොහොම ආචාරශීලී විදියට ඇයට දුම්රිය මැදිරි නවතින ස්ථානය පෙන්නලා දුන්නා.
කොහොම හරි දුම්රිය නැවැත්තුවට පස්සේ මේ තරුණිය දුම්රියට ගොඩ වුණා. ඇගේ බඩු බාහිරාදිය ඉහළ රාක්කවලට දාගන්නත් අපේ අය උදව් කළා.
“මට ජනේලේ ළඟ ආසනයක් ලැබුණා. කොහොම වුණත් මෙතැනට එච්චර හොඳට පේන්නේ නෑ. මේ ‘ෂීට්’ එක හොඳයි”
කලබලකාරී ගතිය සහ ටිකක් තදබදය වගේ අපහසුතා තිබුණත් සමස්තයක් විදියට මේ ගමන ගැන ඇය හිටියේ හරිම සතුටින්.
මේ තරුණිය YouTube ඇතුළු තමන්ගේ සංචාරක ජීවිතය සම්බන්ධව ප්‍රසිද්ධ Vlog සෑහෙන්න ප්‍රමාණයක් කරලා තිබුණා. චීනය සම්බන්ධ වීඩියෝ තමයි වැඩිපුරම දකින්න ලැබුණේ. ඊට අමතරව තායිලන්තය, ඉන්දුනීසියාව, ඩුබායි, බොස්නියා, බෙලරූස්, තුර්කි, රුසියාව වගේ රටවල්වලත් මෙයා සංචාරය කරලා තියෙනවා දැකගන්න පුළුවන් වුණා.
කොහොම හරි අහංගමින් බැස්සට පස්සේ දුම්රිය ස්ථානයේ දී පොඩි අවුලක් වුණා. මේ තරුණිය තමන්ගේ ස්ථානය පෙන්නලා ත්‍රිරෝද රථයකින් ගාණ ඇහුවා.
“රුපියල් පන්සීයක් වෙනවා”
“අපෝ එච්චර වෙන්න බැහැ. මට පෙන්නන්නෙ මිනිත්තු තුනක් විතරයි”
කොහොම හරි මෙතැන ඇතිවුණු සංවාදය කෙළවරේ ඇය කිව්වේ තමන් තනියම යනවා කියලා.
“එතැන මාව ‘ස්කෑම්’ එකකට අහු කරගන්න හැදුවේ. කොහොම වුණත් එකේ විනෝදයක් තිබුණා.
එළියට ආපුවාම එහෙම කතාවක් කියලා රුපියල් හාරසීයකට වීල් එකක් කතා කරගෙන ඇය ඒකට ගොඩ වුණා.
කොහොම හරි මේ වීල් එකෙන් වෙන් කරගත්ත හෝටලේ ළඟට ආවා. රියැදුරු මහත්තයා ආයෙත් ගමනක් යන්න ඕනෑ වුණොත් කියලා අංකයත් දුන්නා. කොහොම හරි බඩු ටිකත් අරගෙන ගේට්ටුව ළඟට යද්දී රියැදුරු මහත්තයා ආයෙ පස්සෙන් ඇවිල්ලා මොකද්දෝ ගැජට් එකක් ඇයට දුන්නා වීල් එකේ අමතක වෙලා දාලා ගිහිල්ලා කියලා. ඇය ඒ ගැන ඔහුට ස්තූතිවන්ත වුණා.
“ඉස්සරහ දවස් දෙකේ මට මේක නැතිවුණා නම් ලොකු පාඩුවක් වෙනවා”
එහෙම කිය කියා මේ චීන තරුණිය හෝටලයට ඇතුළු වුණා.
මේ හෝටලේ ඇයට ලැබුණේ ඉහළ මහලේ ඉතාම මනරම් මුහුදු දර්ශනයක් පෙනෙන කාමරයක්.
“මෙතැන බෙදාගන්න ‘බෝයි ෆ්‍රෙන්ඩ්’ කෙනෙක් හරි යහළුවෙක් හරි හිටියා නම්”
කියලා ඇයට ඉබේටම කියැවුණේ, එතැන තිබුණු අපූර්වත්වය දැකලා. ඇත්තටම මුහුදු දර්ශනය වගේම ඉතාමත් නිදහස් වටපිටාවක් තියෙන වීදුරුවලින් එළිය බලන්න පුළුවන් අපූරු ස්ථානයක් තමයි ඇයට ලැබිලා තිබුණේ.
කොහොම හරි පස්සේ පහළට බැහැලා බලනකොට පහළ දර්ශනයත් හරිම ලස්සනයි. මේ සංචාරක තරුණිය හැම දර්ශනයකම අපූර්වත්වය පිළිබඳ කතා කරන්න අමතක කළේ නැහැ. මුහුදු සීමාවේ හිටවපු දඬුවල ඉඳගෙන බිලී බාන අපේ ධීවරයෝ ගැන ඇත්තටම මෙයාටත් ඇතිවුණේ කුතුහලයක්. මෙතැන තියෙන ‘යුනික්නස්’ එක ගැන ඇය කතා කළා.
කොහොම හරි ඇය එදා දවස ගත කළේ මේ සුන්දර හෝටල් පරිශ්‍රයේ. පස්සේ දවසේ අවදි වෙලා උදෑසනම පෝෂ්‍යදායී ආහාරවේලක් ගන්න මේ චීන තරුණිය අමතක කළේ නැහැ.
“මට ටවුන් එකට යන්න ඕනෑ. ටවුන් එක ගැන ටිකක් හොයලා බලන්න ඕනෑ. ඒ ගැන මට කිසිම අදහසක් නැහැ”
ඔන්න ඊට පස්සේ මේ ගමනට ඇය තවත් මිත්රයෙක්ව හවුල් කරගෙන තිබුණා. ඔවුන් නගරය බලා පිටත් වුණා.
ඔය විදිහට තමයි මේ අපූරු සංචාරය පිළිබඳ පසුගිය සතියේ කතාව අවසාන වුණේ. ඉදිරි සතියක දී ඇය ලංකාවේ දී මුහුණ දෙන අභියෝග සහ ඒවා ජය ගන්නා ආකාරය ගැන අපි තවදුරටත් කතා කරමු.
• චමිඳු නිසල්