2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ආදරණීය ගුරු ආශිර්වාදයෙන් ඔපවත් වූ සුන්දර වෙස් මංගල්‍යය

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 227

ආදරණීය ගුරු මෑණියනි, මගේ කලායතනයේ දරුවන්ගේ වෙස් මංගල්‍යය (පුතාලා දෙන්නෙක් හා දුවලා හතළිස් හතරක් ශීර්ෂාභරණ පළඳිනවා) ජූලි 12 වැනිදා රත්නපුර මහා සමන් දේවාලයේ දී. මම අද මේ තැන ඉන්නේ අපේ ආදරණීය මිස් ඇතුළු සියලුම ගුරුවරුන් මට දුන්න ශිල්පය නිසයි. මට ආසයි මගේ ගුරු මෑණියන් මේ අවස්ථාවට සහභාගි කරවා ගන්න.

දයානි පතිරණ හේමදාස මහත්මිය වෙත එම පණිවිඩය එවා තිබුණේ මීට වසර 35 කට පෙර ජාතික තරුණ සේවා සභාවේ බෙල්වුඩ් රූපවාහිනී ගම්මානයේ දී ශිල්ප හැදෑරූ ප්‍රියංගිකා සෝමරත්න කියන ආදරණීය දියණියයි.

ඒ සමයේ දී තම පුතු ශාස්ත්‍රපති උපාධිය සඳහා අයැදුම් කිරීමේ කටයුතු සඳහා සූදානමින් සිටි කාර්යබහුල කාලයක් වුවත් දයානි ගුරු මෑණියන් කෘතවේදී යහපත් ඇවතුම් පැවතුම් ඇති ප්‍රියංගිකා දියණියට තමන් සුභාශිංෂණ එක් කළ යුතුම යැයි යන සිතුවිල්ලේ පසුවූවාය. “අම්මට යන්න පුළුවන් අර නැන්දගේ උත්සවයට. ඇප්ලිකේෂන් එක දාන දවසෙම රෑ flight එක ගමු” යහපත් ගුණදම් ඇති පින්වත් පුතුන් හැදූ කල අම්මාවරුන්ට ලැබෙන ආදරය සහයෝගය එහෙමය.

ලංකාවට පැමිණි දිනට පසු දා දයානි මහත්මියත් ඇගේ පුතුත් රත්නපුරයට යන විටත් ප්‍රියංගිකා දියණිය සලංගෙයි පූජාවේය. මගේ මිස් දැන් කොහෙද? පැයෙන් පැයට එසේ අසමින් ප්‍රියංගිකා බලා සිටියේ ආදරණීය ගුරු මෑණියන් පැමිණ තම සිසු දරුවන්ට ඒ නොකිලිටි ආදරණීය හදවතේ ආශිර්වාදය පිරිනමන තෙක්ය. දරුවන්ගේ නමස්කාර පූර්ව භක්ත්‍යාදරය විඳිමින් දරුවන් වෙත ආශිර්වාදය පිරිනැමූ දයානි ගුරු මෑණියන් එදින සවස බෝධි පූජාවටත් හඟල පේ කිරීමේ උත්සවයටත් සහභාගි වූවාය. ශීර්ෂාභරණ පැළඳූ දරුවන්ට පායිම්පත පිරිනැමුවේද දයානි ගුරු මෑණියන්ය.

චාරිත්‍රානුකූලව පායිම්පත පළඳවා සියලු චාරිත්‍ර මැනවින් ඉටුකර විහාරස්ථානයේ සිට පාවහන් නොපැළඳ පා ගමනින් ඇය ඇතුළු පිරිස මහ සමන් දේවාල බිමට පැමිණියහ. එදින හමු වූ චමරි, රසිකා, ගයනි, හේමන්ත යන බෙල්වුඩ් සිසු දරුවන් සේම ඉරානි මාලි වැනි මිතුරු හමුවීම් ද ඇය සිහිපත් කළේ තුටිනි. එම සොඳුරු උත්සවයේ සංවේදීම දසුනක් වූයේ දයානි ගුරු මෑණියන් සහ ප්‍රියංගිකා දියණිය එක්ව නර්තනයේ යෙදුණු අවස්ථාවයි. එය ප්‍රියංගිකා තම දයාබර ගුරු මෑණියන් වෙත දැක්වූ ගෞරව පූර්ව ඉල්ලීමකි.

1989 සිට 1992 තෙක් ඩිප්ලෝමාව අවසන් කළ ඇය 1992 සැප්තැම්බර් 1 වැනි දින ප්‍රිය - රංගන කලායතනය ආරම්භ කළේ දරුවන් අට දෙනකුගෙනි. අද දරුවන් 150 ක් පමණ ඇයගෙන් ඉගෙනීමට පැමිණීම සතුටට කරුණකි. පසුගිය දිනෙක කලා විභූෂණ කීර්ති ශ්‍රී ජනරංජන සම්මානයෙන් පිදුම් ලද ඇයගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.. තව තවත් දක්ෂ කලා ශිල්පීන් ශිල්පිනියන් බිහි කිරීමට වාසනාව ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා... ඒ දයානි පතිරණ හේමදාස ගුරු මෑණියන්ගේ හෘදයාංගම ආශිර්වාදයයි.

• සංජීවිකා සමරතුංග