2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ගෝවා-රාබු හරි හරියට පිස්සු හැදෙයි කෑවොත් ..ආ...

 2024 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00 45

අපේ සුදාලට මතක ඇති අපි දකුණු කොරියාව ගැන Y Trend සෑහෙන්න ප්‍රමාණයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මචෝ South Korea කියන්නෙ මේ වෙනකොට ලෝකේ Trend හදන කර්මාන්ත ශාලාවක් වගේ රටක්. කලාව, සංගීතය, තාක්ෂණය පොඩ්ඩක් අමතක කරමුකෝ. මෙන්න බොලේ තව එකක්. කොරියන් කෑම පිස්සුව.

මේ සීන් කෝන් එක තේරුම් ගන්න කොරියාවට යන්න ඕනෑ නෑ. ලංකාවේ හැම ටවුමකම මේ වෙනකොට නිර්මාණය වෙමින් තියෙන කොරියන් කෑම විකුණන කඩවල් ටික දිහා බැලුවනම් සුදාලට මේ සීන් කෝන් එක තේරෙයි. ඒ වගේම කොරියානු කෑම වර්ග විකුණන ලංකාවේ Online shop ප්‍රමාණය දිහා බැලුවමත් අපි කියන්න යන කතාව තේරුම් ගන්න එච්චර අපහසු වෙන්නේ නෑ.

ඇත්තටම මචෝ මේක ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකය පුරාම මේ මොහොතේ සිදුවෙමින් තියෙන පෙරළියක්. චීන, ඉන්දියානු, ඉතාලි ආහාර තමයි සංස්කෘතියක් විදියට ලෝකය පුරා විශාල වශයෙන් පැතිරිලා තිබුණේ. පස්සේ තායිලන්තය වගේ රටවලුත් තමන්ගේ ආහාර සංස්කෘතිය ජාත්‍යන්තරයට අරගෙන යන්න සමත් වුණා. ඒත් මචෝ කොරියාව ගැන නම් පසුගිය දශකවල එච්චර ලොකු අවධානයක් යොමුවෙලා තිබුණෙ නෑ. ඒත් මේ වෙනකොට සීන් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා.
කොරියානු ටෙලි කතා, කොරියානු පොප් සංගීතය වගේ ප්‍රධාන දේවල් නිසා කොරියානු සංස්කෘතිය පසුගිය අවුරුදු දහයක පහළොවක කාලය ඇතුළේ වේගයෙන් ලෝකයට නිරාවරණය වුණා. කොරියාවේ මිනිස්සු අඳින්නෙ පළඳින්නේ කොහොමද, කන්නේ බොන්නේ කොහොමද, හැමදෙයක් ගැනම ලෝකයේ අවධානය යොමුවෙන්න පටන් ගත්තෙ මේ සීන් කෝන් එකෙන් පස්සේ. මේ සියල්ලේම ප්‍රතිඵලයක් විදිහට තමයි, කොරියානු කෑම ලෝකය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ.

මීට කාලෙකට ඉහත අපි කතා කළා, කොරියානු ආහාර සංස්කෘතියේ එක්තරා අංගයක් වෙලා තියෙන Muk Bang ගැන පිස්සුව ගැන. මේ සංස්කෘතිය ඇතුළේ කට්ටිය අධික ලෙස ආහාර ගන්න එක, ඒවාට වීඩියෝ හදන එක සහ මේ ඔස්සේ අලුත් තරු නිර්මාණය වෙන එක ගැන ඒ දවස්වල අපි සුදාලත් එක්ක කතා කළා. මේ සීන් එකත් කොරියානු ආහාර සංස්කෘතිය ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම කොරියානු ජනප්‍රිය තරු මේ ජනප්‍රියත්වයට ලොකු හේතුවක් වුණා.
කොහොම හරි මේ වෙලාවේ ජනප්‍රියම කෑම වර්ග, ඒවායේ ස්වභාවයන් සහ ඒවා කන බොන විදිහ ගැන අපි මීළඟට අවධානය යොමු කරමු මචෝ. Buldak Ramen කියන ක්ෂණික නූඩ්ල්ස් වර්ගය තමයි, මේ දවස්වල ලෝකය පුරා අතිශයින්ම ජනප්‍රියම කෑම බවට පත්වෙලා තියෙන්නේ. ඇත්තටම මචෝ රාමෙන් වර්ගත් එක්ක තමයි, අලුතින් නිර්මාණය වන කොරියානු ආහාර සංස්කෘතියේ විශාල පදාසයක් බැඳිලා තියෙන්නෙ.

රාමෙන් වර්ග ගත්තම විශාල ප්‍රමාණයක් තියෙනවා. එක එක වෙළෙඳ නාමවලින් ජනප්‍රිය වුණු ඒවත් තියෙනවා. පොදුවේ රාමෙන් වර්ගීකරණය ප්‍රධාන සුප් එක හදන විදිහ අනුව. එහෙම බැලුවොත් ප්‍රධාන වර්ග හතරක් තියෙනවා. ෂෝයු, ටොන්කොට්සු, මිසෝ සහ ෂියෝ. ජපාන චීන සංස්කෘතිවලත් මේ ආහාරපාන තියෙනවා. කොරියානු එක තමයි මේ වෙනකොට ජනප්‍රියම.

කොරියානු Shin Ramen වගේ මේ වෙනකොට රටවල් සීයකට වඩා වැඩි ප්‍රමාණයක විශාල වශයෙන් අපනයනය කරන බව කොරියානු වාර්තා හෙළිදරව් කරනවා. ලෝකයෙම ප්‍රසිද්ධ කොරියානු Street food එක තමා Treok - Bokki කියන්නෙ. එතකොට Kimchi කියන්නෙ ගෝවා, රාබු වගේ එළවළු, මිරිස්, සීනි සහ තව අමුද්‍රව්‍ය දාලා කාලයක් පැසීමට ලක් කරලා හදන කෑමක්. මේකත් ඇත්තටම පිස්සු හැදෙන ආතල් කෑමක්.

අන්තර්ජාලය පැත්තෙ හොයලා බැලුවොත් ඔයාට පිස්සු හැදෙයි. මේ කොරියානු කෑම ඩිජිටල් ලෝකය ඇතුළේ හිතාගන්න බැරි ප්‍රමාණයකින් ජනප්‍රියයි. ලිපි විතරක්ම දහස් ගාණක් මේක ඇතුළෙ තියෙනවා. වීඩියෝ නම් හිතාගන්නත් බෑ. යුරෝපය ඇත්තටම මේ සීන් එකට පිස්සු වැටුණු එක පට්ටම සීන් කෝන් එකක්.

මේ ජනප්‍රියත්වය ගැන කතා කරනකොට විශේෂයෙන්ම ලෝකය පුරා ආහාර හදන ප්‍රසිද්ධ තරු වගේම සූපවේදීන් අමතක කරන්න බෑ. දැන් එයාලා කාටවත් කොරියානු ආහාරවලින් තොරව පැවැත්මකුත් නෑ. දැන් ලෝකය පුරා මේ වගේ චරිත හැමෝම කොරියානු කෑම හදන විදිහ ගැන වීඩියෝ කරන්න පටන් අරගෙන. ඒ අස්සේ සාමාන්‍යයෙන් ටික් ටෝක් එකේ ඉන්න අයත් මේ කට්ටියව Follow කරලා ගොඩ යන අවස්ථා තියෙනවා. ඒ නිසා එයාලත් මේ කොරියානු පිස්සුවට නිකම්ම එකතු වෙලා.
පැය 24ම Open Korean Convenient Store වල කෑම කන්න, කොරියන් street food කන්න එහෙම travel කරන අයත් ඉන්නවා. ඇත්තටම මචෝ මේක ටික් ටොක් එකේ වෙනම Trend එකක්. අපිට මේ කතා ටිකක් අපබ්‍රංස වගේ වුණාට කොරියානු උණ තියෙන අයට නම් මේ දේවල් ඇල් වතුර වගේ පැහැදිලියි. වැඩේ කියන්නේ කොරියානු උණ නැති අයත් දැන් මේ සීන් එකට සෙට්වෙලා ඉන්න එක. කෑමනේ මචං.. බ්‍රෝ රසයි නම් කොහොමත් එකයි.

දැන් අපි පොඩ්ඩක් ආයෙ ලංකාව පැත්තටම එමු. ලංකාවේ අපේ නංගිලා අක්කලා තමයි මේ කොරියානු කෑමවලට පිස්සු හැදිලා ඉන්නේ. ලංකාවෙත් මේවා සම්බන්ධව සමාජ මාධ්‍ය තුළින් වීඩියෝ කරන සැලකිය යුතු පිරිසක් ඉන්නවා. පොඩි පොඩියට කඩ දාගෙන මේවා විකුණන නංගිලා ඉන්නවා. කොළඹ කොටුවේ තොගයට විකුණන ලොකු කඩ සාප්පුත් තියෙනවා.

ලංකාවේ කොරියානු ආතල් එක කොරියානු කලාව නිසාම හැදිච්ච එකක් නෙවෙයි. ලංකාව කොරියාවට ශ්‍රමිකයන් සපයන ප්‍රධාන රටක් බවට පත්වීමත්, ලංකාවේ සැලකිය යුතු දෙනෙක් කොරියාවේ ජීවත් වීමත් මේ ආතල් එක වැඩි කරලා තියෙනවා. කොරියාවේ ජීවත්වෙන ලංකාවෙ අය මේ වෙද්දි වීඩියෝ Vlog කරනවා. ඉතින් මචෝ ඒවායිනුත් මේ කෑම බීමවලට මාර ජනප්‍රියත්වයක් ලංකාව තුළ හැදෙනවා. කොරියානු අවන්හලුත් බිහිවෙමින් තියෙන්නෙ. ඉස්සරහට තවත් වැඩි වේවි. අනේ ඉතින් පුළුවන් නම් කොරියානු සංචාරකයෝ ටිකකුත් ගෙන්නන්න අපේ නංගිලා අක්කලා අයියලා මල්ලිලා ටිකක් ට්‍රයි කරන්න ඕනෑ. එහෙනම් ආයේ හම්බවෙමු. ටටා බායි... අදට ඔය ඇති.

• චමිඳු නිසල්