අපි කවුරුද යැයි විමසා අපේ සැනසිල්ල පිළිබඳව ලියා ගයා, හීනවලට පණ ඇති බවද කියා ඔහු කවුරුද කියා නොකියාම, නිවී සැනසිල්ලක් නොලබාම නික්ම ගොසිනි. සේනක බටගොඩ නම් වූ සරල සුගම පද මත ජීවිතයේ අරුත තවරාලූ ගී රස මාධූර්යයට හිමිකම් කියන සොඳුරු මිනිසා වෙනුවෙන් සමුගැනීමේ සටහනක් ලියා තැබීම අප යුතුකමකි. මේ කතාව රසික ආඛ්‍යානය ගුරු කොට ඔබ වෙත ලියා තබමු.
මීට මාසයකට හමාරකට පෙර අප බී.එම්.අයි.සී.එච්. හි ප්‍රධාන ශාලාවේ බැල්කනියේ ඔහු වෙනුවෙන් බලා සිටියෙමු. මේරියන්ස් වැයුම් අතරින් බටගොඩයන් වේදිකාවට අවතීර්ණ වීම සතුටක් සේම කම්පනයක් ද හද තුළ ඇතිකළ මොහොතක් බව අද ද සිහිපත් වෙයි. වේදිකාව මැද අසුනකට බර වී ඔහු සිය ගීතාවලෝකනය ඇරඹුවේ නිදහසේ පාව යන ඔහුගේ ළයාන්විත ගී මාධූර්යයට සියුම් වේදනාවක සලකුණු තබමින් බව එදා අපට හැඟී ගියේ නිරායාසයෙනි.
අපට වර නගා අරුත් දිය නොහැකි නීතියේ අරුමැසි භාවිතාවක් හේතුවෙන් ළයාන්විතයා විටෙක ඒ සුවිසල් වේදිකාව මත ගොළු විය. කුමක් කරන්නද, ඒ මියුරු රාත්‍රියේ ඔහු වේදිකාව මත තබා අප සමඟ සහෘද වූ නලීන් පෙරේරා ඔහු වෙනුවෙන් ගයන්නට ඒ මහා මැදුරේ සුවිසල් ශාලාවේ සිටි සැමට ආරාධනා කළේය. ඉතින් අපි ගැයුවෙමු. නොනැවතී ගැයුවෙමු. සේනක බටගොඩයන් වෙනුවෙන්ම ගැයුවෙමු.
අවසානයේ ළබැඳි ස්වරයෙන් වදන් මල් කිහිපයක් අප වෙත විසිකර ස්තූතියි කියා ඔහු වේදිකාවෙන් නික්ම ගිය කනිසම තවමත් මතකයේ නොනැසී පවතී. එය හද කම්පිත කළ නිමේෂයක් වූ බව නොකියාම බැරිය. ඔහු අපට තුති පිදුවේය. අපි නැගී සිට ඔහු වෙනුවෙන් කෘතඥතා පූර්වක මිනිස් ආචාරය අත්පොළසන් ලෙසින් පිදුවෙමු. ඉදින් දැන් නැවත හමුවනු නොහැකි ලෙස දැන් ඔහු නික්ම ගොසිනි. අහම්බකාරකයක් ලෙස ඒ මතකය සදා හද තුළ ලැගුම් ගෙන හමාරය.
ගීතය යනු නූතන ලෝකය මත බලපවත්නා මහා සාහිත්‍යය කලාංගයයි. එහි අපූර්වත්වය රැඳී පවතින්නේ සරල බව සහ රසාලිප්ත බව එකිනෙකට සමපාත වූ විටදීමය. සේනක බටගොඩ යනු එම සමබර බව ගී පද රචනයේ සිට, තනු නිර්මාණය සහ ගායනය දක්වාම රැක ගැනීමට නිසඟ හැකියාවක් තිබූ සොඳුරු නිර්මාණවේදියෙකි.
දිවිසැරියේ හැට හය වැනි සැතපුම් කණුව ළඟින් හැරී, අප නොදන්නා මාවතකට පිවිසි බටගොඩයන් ශ්‍රී ලාංකික ගී රසකාමී වැඩිහිටි බාල මහලු සියල්ලන්ගේම හදවත්වල ලැගුම් ගෙන ඇත්තේ ඔහු සතු ඉහත කී අපූරු ගුණාංගය හේතුවෙනි.
එම නිසාම සේනක බටගොඩයන් සිය නිර්මාණ කාර්යය සඳහා යොදාගත් ගී පද ආර පිළිබඳව පළමුව අප යම් පමණකින් හෝ විමසා බැලිය යුතුය. ඉතාම සරල වචන මතින් ගැඹුරු අදහස් සිය නිර්මාණ තුළ ඔහු තවරා තිබේ. බොහෝ විට ජීවන ආශය වඩවාලන, නැවුම් හැඟුම්වලින් හද පුබුදුවාලන, බලාපොරොත්තුවේ දෑස්වලට කාන්තියක් එක් කරන ජනප්‍රිය ගී පද රැසක් සේනක බටගොඩයන් විසින්ම රචිතය.
හැමදේම... ටිකෙන් ටික
වෙනස් වෙලා වසන්තයට
අලුත් අලුත් හීන මැවෙනවා...
මඟ බලා සිටිය දේවල්
මතු වෙලා... ළඟට එන්නට
හීනවලට පණක් තියෙනවා...
ගෙවිලා ගිය දේවල්
ඉදිරියේ වෙන දේවල්
වෙනසක් නැහැ සිදුවේ...
ආ ගිය මඟ... යා යුතු තැන...
දන්නේ තමා... මයි
නිදහසේ... නිමක් නැතිව
සිතුවිලි කඳ ගලා යද්දි
පෙර නුදුටුව හීන මැවෙනවා...
වෝ... වෝ... වෝ... වෝ...
මෙවන් ගී පද දුටු පමණින්ම මනසේ නිම්නාද වන්නට පටන් ගන්නේ කෙලෙසදැයි පැහැදිලි කරනු පහසු නැත. එහෙත් මේ ගී සැමදාම තරුණය. අකාලික වූ තාරුණ්‍යයක් මේ පද ස්වර රටා මත තැවරී ඇතැයි අපට සිත් වේ.
සේනක බටගොඩයන්ගේ ජීවිතය පිළිබඳව දෘෂ්ටිවාදය ඔහුගේ නිර්මාණ කාර්යය තුළින් පිළිබිඹු වූයේදැයි සංකා රසික හදවත් තුළ මතු වන්නට ද හේතු කාරණා තිබේ.
මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදියට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරැද
ගීයකි ලොව සිතුවම් කළ
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද
මේ පද පෙළ ශ්‍රී ලාංකික ආත්මය හා බැඳී ඇතැයි කීම වරදක් නොවේ. එතරම්ම මේ පද පෙළ ශ්‍රී ලාංකික ගී රසවතුන් වෙත සමීපය. ඇසෙන තැනක දී මුව’ග මිමිණෙන මෙම පද අතරින් සිය ජීවිත පිළිබඳ මතාකාවලෝකනයක් සිදු කරන්නට, ජීවිතය පිළිබඳ ප්‍රශ්න කර සිටින්නට අප බොහෝ දෙනකුට සිතෙන්නට ඇත. මෙවන් පද විචාරන්නට විචාරකයන් අවැසි නැත. මේ පද හදවත හරහා හමා යන මන්ද මාරුතයක් හා සමය.
මෙම පද පේළිවල රසය, සරල බව මෙන්ම කෙටි බවද අනන්‍ය ආකෘතියක් ගොඩනගා ඇතැයි විටෙක සිත් වේ. එම ආකෘතියටම ගැලපෙන අපූරු ස්වර රටා මුසුව ද සේනක බටගොඩයන් අතින්ම සිදුවීම සැබැවින්ම අපූරුය. එම නාද රටා අතර සිය අනන්‍යතාවය සලකුණු කොට තබන්නට මේ අපූරු කලාවේදියා සමත් වූ බව ශ්‍රී ලාංකික සංගීතඥයන් විසින් දෑත ඔසවා පිළිගත යුතු සත්‍යයකි. එහෙත් සීමාන්තික වූ මේ ශානරය, මෑත වසරවලදී ජනප්‍රිය ධාරාවට එළඹෙන තුරුම නිසි ඇගයුමකට පාත්‍ර වූයේ නැත.
එසේම ඔහු නික්ම ගිය පසුව අද ද එවන් ඇගයුමක් රසික අප තුළ මිස, ශ්‍රී ලාංකික ගී කලාවේ ගලිවරයන් වෙතින් බටගොඩයන් වෙත ලැබේදැයි අපි නොදනිමු. මෙවන් සටහනක් ලියා තැබීමට පවා අප උනන්දු කරනු ලැබුවේ එම නොදන්නා ගමන බව අවසානයේ ලියා තබමු.
ඉතින් සේනක බටගොඩ සහෘද කලාකරුවාණෙනි, ඔබ තබා ගිය අතළොස්සක් වූ නිර්මාණ අපට සැනසෙන්නට, ජීවිතය හඳුනා ගන්නට මතු මතුත් අපට උපකාරී වනු ඇත. තරු පිරි අහසේ නුඹ කී සඳ අවසන නුඹම විය.
රූ... අහසේ... තරු දිලුණට...
නෑ... එළියාක්... හඳ වාගේ...
ජීවිතයට මොනවා තිබුණද...
නෑ... කිසිවාක් නුඹ වාගේ
සැනසෙන්නම් මා...
නුඹ ළඟ නම් හැම මොහොතෙම...
හඳුනා ගන්නට... ජීවිතයම...
• චමිඳු නිසල් ද සිල්වා