ඔන්න අද ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. රියා සහ සෑම්... මේ දෙන්නා නම් ඉතාම තරුණ යුවලක්. මේ දෙන්නා ලන්ඩන් 9 - 5 රැකියාවලට සමුදීලා තමන්ගේ ජීවිතයේ ආසාවන් සොයාගෙන යන්න පටන් ගත්ත දෙන්නෙක්. පසුගිය කාලෙ ලංකාවට ඇවිල්ලා මාසයක් විතර හිටියේ ත්‍රීවිල් එකකින් ලංකාව හතර වටේ ඇවිදින ගමන්. ඔන්න ඇවිදලා ඇවිදලා දෙන්නත් එක්ක කොළඹට සේන්දු වුණා.
“අපි හිතාමතාම කොළඹ නගරය මඟහැරලා ගියා. බලන්න මේ නගරය කොච්චර පිස්සු නගරයක්ද කියලා. ඒ නිසා අද අපි ඩ්‍රයිවින් කරන්නේ නැහැ”
තරහකින් අකමැත්තකින් නෙවෙයි, නගරයේ තියෙන කලබලකාරීත්වය සහ තදබදය දිහා බලාගෙන රිහා එහෙම කිව්වා. ඔන්න ඊට පස්සේ මේ දෙන්නත් එක්ක කොළඹ නරඹන්න හිතාගෙන කොළඹ වීදිවල සංචාරය කළා.
“මේ තමා පෙටා මාකට් එක. හැම ජාතියෙම බඩු බාහිරාදිය මෙහිදී හොයාගන්න පුළුවන්. මම හොයන්න යන්නේ සපත්තු. අපි පහුගිය මාසේම ලංකාවේ ඇවිද්දා”
ඊට පස්සේ මේගොල්ලෝ කොළඹ නගරයේ ඒ මේ අත ඇවිදින්න පටන් ගත්තා. ඔන්න දෙන්නට පොඩි බඩගින්නකුත් දැනිලා, ගියා කොළඹ තියෙන සාමාන්‍ය කෑම කඩයකට. ඕඩරේ දැම්මා බුරියානි දෙකක්.
“මෙතැන හරිම කලබලකාරීයි. ආපු ගමන් මොනවද ඕනෑ, මොනවද ඕනෑ කියලා අහනවා”
එතැන තත්ත්වය පැහැදිලි කරන ගමන් අපේ කට්ටියගේ තියෙන කලබලේ ගැන රියා ඔන්න ඔහොම කතාවකුත් කිව්වා.
“ලංකාවෙ අය කෑම කන්නේ අර විදිහට අතින්. ඒත් අපිට එහෙම කන්න බෑ, අපි උත්සාහ කළා”
ඔන්න සෑම් අමුතු කතාවක් කියද්දී කෑම එක අරගෙන එතැනට ආවා අපේ වේටර් මහත්තයා.
බිරියානි එකක් කියලා කියන්නේ ලොකු කෑම ප්‍රමාණයක්. ඇත්තටම මෙයාලා එච්චර ප්‍රමාණයක කෑම අපේක්ෂා කළේ නෑ. දැන් බිරියානි දෙකක්ම දෙන්නා ළඟ තියෙනවා.
“ලංකාවේදී දැනගන්න ඕනෑ එක දෙයක් තමයි, එක පෝෂන් එකක් ගොඩක් වෙලාවට දෙන්නෙක්ට කන්න පුළුවන් කියන එක”
මේ දෙන්නා ඇත්තටම ආදරෙන් ඉන්න දෙන්නෙක්. ලොකු කෑම එකක් කෑවොත් ගොඩක් මහත් වෙයි කියලා විහිළු කර කර රියා කෑම කෑවා. ඇත්තටම මේ බිරියානි එක දෙන්නට ටිකක් දැවිල්ලත් වුණා. කෑම කාලා හාදුවක් එහෙම දීලා මෙයාලා නැවතත් කොටුවෙ සංචාරය පටන් ගත්තා.
“මේ වීදිවල ගොඩක් ලොකු තදබදයක් තියෙනවා”
එහෙන් මෙහෙන් එකා දෙන්නා ඇඟේ හැප්පි හැප්පි, අපි බොහොම අමාරුවෙන් එහෙට මෙහෙට කැරකෙන ගමන් කොළඹ පදික වේදිකාවල වෙළෙන්දන් අතරින් ගමන් කරන ගමන් කොළඹ ගැන හිතෙන තවත් දේවල් මෙයාලා කතා කළා.
කොහොම හරි මෙහෙම ගිහිල්ලා මේගොල්ලෝ ඇඳුම් කඩයකට ගොඩවුණා. රියා අඟර දඟර කොමල දාලා ඇඳුම් ටිකක් ගත්තා.
“අපි අයිටම් හතරක් අරගත්තා. රුපියල් හයදහස් හත්සිය අසූවක මුදලක් අපිට ගියේ. අපෝ ලන්ඩනයේ ගණන් නම් බොහොම නරකයි”
අපේ ඇඳුම්වල ගණන් හිලව් සංසන්දනාත්මකව කතා කරපු නිසා තමයි සෑම් එහෙම කිව්වෙ.
ලංකාවට එන්න කියලා අනිත් අයටත් ආරාධනා කරන ගමන් ලංකාවේ දේශගුණයත් හොඳයි කියාගෙන මේගොල්ලෝ ආයෙත් වැඩේට බැස්සා.
“අපි චොක්ලට් ගමු. හෙට ඔයාගේ උපන් දිනය”
රියා පාරේ තිබුණු චොක්ලට් ලෑල්ලක් ළඟ නතර වෙලා චොක්ලට් ගන්න හැදුවා. ලස්සන කවරවල තිබුණට මේ චොක්ලට්වල ඇත්තටම මොනවද තියෙන්නේ කියලා අපේ අය නම් ටිකක් සැක කරනවා. සෑමුත් තමන්ගේ උපන් දිනය බව කිය කියා චොක්ලට් ගත්තා. ඒත් ඉතින් ඇත්තටම මේ දෙන්නා අරගෙන තිබුණෙ රුපියල් දෙසීයක විතර චොක්ලට්. ඒ ගැන දන්වලා තමයි ආයි ගමන පටන් ගත්තේ.
රියා ගියා සෙරෙප්පු දෙකක් ගන්න. ගාණ එක්දහස් පන්සීයයි කිව්වා. ගණන් හිලව් බලලා ඒක සංචාරකයන්ට මිල ගණන් ද කියලා අහලා මේගොල්ලෝ වැඩේ අතහැරලා දැම්මා.
ඔන්න මෙහෙම යන අතරේ රියා පොඩ්ඩක් නතරවෙලා වටේ සද්ද බද්ද වලට ඇහුම්කන් දීගෙන චූටි වෙලාවක් හිටියා.
“අහගෙන ඉන්න පුදුම ඝෝෂාකාරී බවක් තියෙන්නේ”
ඇත්තටම කොළඹ කොටුව එහෙමයි. පොඩ්ඩක් නතරවෙලා අහගෙන හිටියොත් සද්ද බද්ද ගොඩාක් තියෙනවා. හරියට අඳුරගන්නත් බෑ. රියාට සහ සෑම්ට මේ තත්ත්වය හොඳට තේරිලා තිබුණා. ඒ වුණත් ඒක විඳගන්න එයාලට හැකියාවක් තිබීම හරිම වටිනවා.
මෙයාලා මේ විදිහට කැරකිලා කැරකිලා ගියා රතු පල්ලිය ගාවට. ඒත් ඒ වෙලාවේ රතු පල්ලිය වහලා. මේ දෙන්නටම එතැන බලාගන්න ලොකු බලාපොරොත්තුවක් වුවමනාවක් තිබුණා. ඒත් ඒ අවස්ථාව අවාසනාවකට පළවෙනි වටයෙදි නම් නැති වුණා.
ඒ අස්සේ දූරියන් කෑල්ලක් රස බලන්නත් මේගොල්ලෝ අමතක කළේ නෑ. දූරියන් කන්න ගිහිල්ලා නම් දෙන්නගෙම මූණු ඇඹුල් වුණා. පස්සේ රතු පල්ලිය ළඟ රෙස්ටුරන්ට් එකට ගිහිල්ලා මේගොල්ලෝ කෝපි එකක් බිව්වා.
කොළඹ කොටුවෙ සංචාරය මේ විදියට ඉවර කරපු රියා සෑම්, නැවතත් ගොඩවුණේ ත්‍රීවිල් එකකට. මොකද මේගොල්ලෝ තමන්ගේ වාහනය කොළඹ ගමනට යොදා ගත්තේ නෑ. ඒකට හේතුව කොළඹ නගරයේ පිස්සු ඩ්‍රයිවින් මේගොල්ලන්ට බැරි වීම. අවසානයේ දෙන්නා නතර වුණේ බේරේ වැව ළඟ තවත් සංචාරයක් සිදු කිරීමේ බලාපොරොත්තුවෙන්.
• චමිඳු නිසල්