2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

හිතුවක්කාර හිතවතාණෙනි.... ඒ සොඳුරු මල් මිටම තබා නුඹ සුසානය මත ඉඳින් අපි සමුගනිමු!

 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

ගෝලාකාර බෝලාකාර දන්නා මිනිසකුගේ නොදන්නා කතාව මාසයකට හමාරකට ඉහත දී දේශය හදසර අතිරේකය වෙනුවෙන් අපි ලියා තැබුවෙමු. ඒ ජූලි 30 වැනිදා පැවැත්වූ ඩබ්ලිව්. ජයසිරි අසහාය රංගධරයාගේ උපහාර උළෙලට මල් මිටක් පුදනු රිසියෙනි. එදා සිහිනයකින්වත් නොසිතූ නමුදු ඒ මල් මිට මේ සොඳුරු මිනිසාගේ සුසානය මත තබා යන්නට අපට සිදුව තිබේ.

මේ මතක මාවත දිගේ අප නැවත සැරසෙන්නේ ශ්‍රී ලාංකික චලන රූපණ කලාවේ සුවිශේෂී පෞරුෂයකට හිමිකම් කියූ ඩබ්ලිව්. ජයසිරි නම් යටගියාව සොයාය. ඔහු අපට නිතර හමු වූ වේදිකාව, රිදී තිරය සහ පුංචි තිරය තරමක් ඈත් මෑත් කොට මෙම සටහන ලියා තැබිය යුතුය. මන්ද යත් ඔහු හුදෙක් නළුවෙකුම පමණක් නොවන, සංස්කෘතික මිනිසකු බව මෙහිලා අප ඔබට පහදා දිය යුතුව තිබේ.

1965 වසරේ දිනක පුවත්පතක ගාල්ල දිස්ත්‍රික්කයේ විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් අතරේ ඩබ්ලිව්. ජයසිරි නාමය සටහන්ව තිබුණි. එය ශාස්ත්‍රය හෝ ශිල්පය කෙරෙහි පොදු සමාජයේ ඇල්ම බැල්ම නොලැබුණු කලක් විය. එහෙත් උපන් ගෙයිම හැකියාවන් උරුම කරගෙන සිටි ජයසිරි තරුණයා වික්‍රමාන්විත ජයක් ලබා සිටියේය. එදින ජයසිරි තරුණයා හනික දිව ගියේ උදෑසන රැකියාව බලා පිටත්ව ගිය සිය පියාට මෙම පුවත දන්වා සිටිනු රිසියෙනි. තමා විශ්වවිද්‍යාල ප්‍රවේශය සමත් වූ බව සිය පියාට දන්වා සිටි ඩබ්ලිව්. ජයසිරිට ලැබුණේ අපූරු ප්‍රතිචාරයකි.

“ඉතින් මට මොනවද කියන්නේ?”

එම ප්‍රතිචාරය ලැබුණේ පියාගෙනි. 60 දශකයේ ඇඳුම් මසන්නෙකුව දිවි සරි කරගත් ඩබ්ලිව්. ජයසිරිගේ පියා තුළ පවා මේ අපූරු ගෝලාකාර බෝලාකාර මිනිසා පිළිබඳ අවබෝධයක් නොවීය. ඒත් අහම්බකාරයක් නොවුණු ජයසිරිගේ හැකියාව ඔහු වෙත ජීවිතයේ තවත් මානයකට ඇදෙන දොරගුළු විවර කර තිබුණි. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් සරසවි ප්‍රවේශය සමත් වූ ජයසිරි තරුණයාගේ ගමනාන්තය ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපය විය.

දේශපාලනය ඇසුරේ පවුල් ආභාෂයෙන් දක්ෂිණාංශික අදහස් තිබුණද, කොළොම්පුරය බලා පැමිණි ජයසිරි තරුණයා ලැගුම් ගත්තේ දේශපාලනික වශයෙන් වම් ඉවුරේය. අවසානයේ ඔහු වම් ඉවුරේ නිදහස්කාමී විප්ලවීය කලාවේදියෙක් බවට පත් විය. එහෙත් ඔහුගේ දේශපාලන අභිලාෂයන් ජය ලබන රැයේම, වමේ කලාවේදීන්ගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා අවසන් හුස්ම පොද වා තලයට මුසු කොට තිබුණි. එදා ශ්‍රී ලාංකික කලාවේ යුගකාරක මිනිසුන් වූ සුගතපාල ද සිල්වා, ධර්මසිරි පතිරාජ වැනි චරිත ජයසිරි තරුණයාට ඇසුරු කරන්නට ලැබුණේ කොළඹ ගමනේ ප්‍රතිඵලයක් ලෙසිනි.

විශ්වවිද්‍යාලයේ නාට්‍ය සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ජයසිරි හට සුගතපාල ද සිල්වා හමුවූයේ ඩබ්ලිව්. ජයසිරි සංගමයේ කටයුතු අතරේය. පළමු හමුවීමම මධුවිත සාදයකින් කෙළවර වී ළබැඳි මිතුදමක් සුගතපාල ද සිල්වා සමඟ ඇතිකර ගැනීමට ජයසිරි සමත් විය. එය කොතරම් කුළුපග මිතුදමක් වීද යත්, ‘හරිම බඩු හයක්’ නම් සලකුණුගත වේදිකා නාට්‍ය නිර්මාණයේ දෙවැනි නිෂ්පාදනයේ චරිතයක් සඳහා පණ පොවන්නට ඩබ්ලිව්. ජයසිරි සමත් වූයේය.

විශ්වවිද්‍යාලයේ කෙළවරක කුඩා පෙට්ටි කඩයක දුම්වැටියක් දල්වන අතරේ ජයසිරි හට හමුවුණු මිතුරා ධර්මසේන පතිරාජ විය. පතීගේ මිතුදම ජයසිරි නම් රංගධරයා බිහිවීම විෂයේ බලපෑම් සහගත විය. ධර්මසිරි පතිරාජ නම් සිනමාධරයා බිහිවීමට ඉක්බිති ජයසිරි සහ ඔහු ළබැඳි මිතුරෝ වූහ. මරදානේ නවාතැනක එක්ව විසූ මේ අපූරු මිතුරු හවුලේ තවත් කිහිප දෙනෙකු වූ අතර, ශ්‍රී ලාංකික කලා ඉතිහාසයේ සලකුණුගත මිනිසෙකු වන සයිමන් නවගත්තේගම ද මෙම රසවතුන්ගේ හවුලේම සාමාජිකයෙක් වූයේය. වර්තමාන රස කාමය කොට එම කලා සහෘදත්වය පිළිබඳ සියුම් ඊර්ෂ්‍යාවක් සහ අසීමාන්තික ආදරයක් ඇතිවන්නේ නිතැතිනි. පුංචි තිරයේ චරිත කිහිපයකින් පමණක් ඔහුව කියවා ගන්නා වර්තමානිකයන්ට, ඩබ්ලිව්. ජයසිරි නම් මිනිසා කොතරම් ගැඹුරක් බරක් සහිත මිනිසෙක් වීදැයි කියා දීම අපගේ යුතුකමකි.

ඩබ්ලිව්. ජයසිරි නම් අපූරු මිනිසාගේ ජීවිතය එකම ධාරාවක ගලා නොගියේය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවයට එක්වීම ඔහුගේ ජීවිතයේ තවත් එක් සුවිශේෂී පරිච්ඡේදයක් සටහන් කළේය. කලක තමන්ගේ ගුරුවරයා වූ මහාචාර්ය ගම්ලත් ඇතුළු කොට තිලක් සුධර්මන් ද සිල්වා, එඩ්වින් ආරියදාස ආදී මහා පෞරුෂයන් සමීපව ඇසුරු කිරීමට ජයසිරිට අවස්ථාව උදා වූයේ ගුවන්විදුලිය හේතු කොටගෙනය. එකල ගුවන්විදුලියේ විකාශනය වූ ‘රූපණ’ නම් ජනාදරයට පත්වූ වැඩසටහන හරහා රූපණ කලාව පිළිබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයකට ජයසිරි හට අවකාශය උදා වූයේය. එහෙත් ’71 කැරැල්ල සහ එවක දේශපාලනය විසින් ජයසිරිගේ ගුවන්විදුලි ජීවිතය උදුරාගනු ලැබීය.

සුගතපාල ද සිල්වාගේ නාට්‍ය නිර්මාණවල නළුවෙකු බවට පත්වෙමින් කරළියට පැමිණි ජයසිරි තරුණයා ධර්මසේන පතිරාජගේ සිනමාවතරණයේ සමීපතමයෙකුගේ භූමිකාවක් රඟ දැක්වීය. ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ නිර්මාණය සඳහා තිරයෙන් මෙපිට දායකත්වයක් සැපයූ ජයසිරි, ‘එයා දැන් ලොකු ළමයෙක්’ නිර්මාණය සඳහා දායකත්වය එකතු කළේ රංගධරයකු ලෙසිනි. බඹරු ඇවිත් සිනමා නිර්මාණය සඳහා ගී පද රචකයෙකු ලෙසින් දායකත්වය සැපයීමට ද ඩබ්ලිව්. ජයසිරි නම් සොඳුරු මිනිසා වාසනා වරම් ලද්දේය.

වරක් මධුවිත සාදය අතර පතිරාජයන් ඔහුව කාමරයකට දමා දොර වසා, ගීතය ලියා නිමවන තුරු එයින් නික්මෙන්නට අවසර නොදුන් බව ජයසිරි නොයෙක් වර පවසා තිබිණි. පතී සමඟින් ඓතිහාසික නිර්මාණ කිහිපයක් සඳහාම දායකත්වය සැපයීමට ඩබ්ලිව්. ජයසිරි වාසනා වරම් ලද්දේය. සොල්දාදු උන්නැහේ, පාර දිගේ ඒ අතරින් මෙහි සලකුණු කොට තැබිය යුතු නිර්මාණයි. තවදුරටත් ඩබ්ලිව්. ජයසිරි යනු ශ්‍රී ලාංකික සිනමාවේ, වේදිකාවේ සහ පුංචි තිරයේ එක්තරා යුගයකට අයත් සුවිශේෂී චරිතයක් බව කීමට සාක්ෂි සාධක ඕනෑ නොවේ.

ජීවිතයම කලාව කොටගත් ජයසිරි, වරක් තවත් නිර්මාණයකට සිදු කළ ආයෝජනය ඔහුගේ ඉරණම පවා වෙනස් කළේය. එහි ප්‍රතිඵලය වූයේ සියල්ල හැර දමා වසර කිහිපයක් අරාබිකරයේ රැකියාවක් සොයා නික්ම යාමයි. දිවි සරිකර ගත හැකි පමණට යමක් කමක් උපයා නැවත මව්රට පැමිණියද, කලාව කිසි විටෙක ජයසිරි අමතක කර නොදැමුවේය. ඉකුත් දශක හතරකට අධික කාලය පුරාවටම ඔහු සිය ආත්මය දිය කර හැරියේ ශ්‍රී ලාංකික කලාව නම් වූ ක්ෂීර සාගරය තවත් රසවත් කරනු රිසියෙනි.
සාහිත්‍ය පත පොත නිතර ඇසුරු කළ ඩබ්ලිව්. ජයසිරි විටෙක කෙටිකතාකරුවෙක් හා නවකතාකරුවෙක් ලෙස ද සාහිත්‍ය ලෝකය වෙත ප්‍රවේශ විය. මනා කියැවීමක්, දැනුමක් තිබූ කලාවේදියෙකු ලෙස පමණක් නොව, දෘෂ්ටිවාදයක් තිබූ මිනිසෙකු ලෙස ද ඩබ්ලිව්. ජයසිරි නම් ගෝලාකාර මිනිසා අරුත් ගැන්වීම සුදුසුය. විටෙක ශ්‍රී ලාංකික දේශපාලනයේ වම් ඉවුරේ විප්ලවීය සටන් සගයෙකු ලෙස කරළියට පැමිණි ඩබ්ලිව්. ජයසිරි, සිය දෘෂ්ටිවාදය දේශපාලන වේදිකාව මත පවා නිර්භයව පැවසීය.

ඔහු නික්ම යන මොහොතේ ඔහු පැතූ දේශය කරා කෙමෙන් අප මව්රට ගමන් කරමින් සිටියේය. ඇතැම් විට අවසාන සුසුම් අතරේ පවා ඔහුට එය දැනුණා විය හැකිය. මරණයෙන් පවා දුක් නොවන මිනිසෙකු වූ ඩබ්ලිව්. ජයසිරි නමින් සතුටින් නික්ම ගිය බව සිතා, අවසන මේ වදන් මල් මිට ඔහුගේ සුසානය මත අපි තබා එමු.

• සටහන - චමිඳු නිසල් ද සිල්වා