සරෝජා... ඔයාගේ චිත්‍ර ප්‍රදර්ශනයට සියල්ල සූදානම්. චිත්‍ර අඳින්න ආසාව ඇතිවුණේ පුංචි කාලේ ඉඳන්මද?
ඔව්.. මම මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ මියුසියස් විදුහලෙන්. පුංචි කාලේ ඉඳන්ම මම චිත්‍ර අඳින්න ආසා කළා. මියුසියස් විදුහලෙන් පසුව මම රත්නපුර සුමන බාලිකා විදුහලට ඇතුළත් වෙලා උසස් පෙළ හැදෑරුවා. ඊට පස්සේ මම කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයට තේරුණා. මම වසර දෙකක් පමණ ඉංග්‍රීසි ගුරුවරියක් විදියට සේවය කළා.
චිත්‍ර අඳින්න ආසාවක් තිබුණු සරෝජා ඒ හැකියාව වර්ධනය කර ගත්තේ කොහොමද?
පුංචි කාලේ ඉඳන්ම මම චිත්‍ර අඳින්න ආසයි. ඒ නිසාම මම මහාචාර්ය චන්ද්‍රාජීවා යටතේ පාඨමාලාවක් හැදෑරුවා. ඔය අතරේ මම ආයතන කිහිපයකම සේවය කළා. 2015 වසරේදී UN (එක්සත් ජාතීන්ගේ සංවිධානයට) සම්බන්ධ වුණා. ඒ කාලය ඇතුළත මම ඉඳලා හිටලා ආසාවට චිත්‍ර ඇන්දා. UN එකේ මම වසර දහ නවයක් සේවය කළා. මම ගෙදර අය එක්ක චාරිකාවක් ගියාමත් චිත්‍ර ඇන්දා. ඒක මම විනෝදාංශයක් විදියට කරගෙන ගියා. ඒ කාලෙදි චිත්‍ර ඇඳීම පූර්ණ කාලීනව කළේ නම් නැහැ.
ඔය ආසාව වැඩි වුණේ කොහොමද?
2020 වසරේදී art camp එකකට මට රාජස්ථාන් යන්න අවස්ථාව ලැබුණා. මම එහේ ඉඳන් ලංකාවට එද්දි මුළු ලෝකයම කොවිඩ් වසංගතයට මුහුණ දීලා ඉවරයි. ඉතින් ලංකාවට ආපු මට ඒ ලැබුණු නිදහස් කාලයේ ගෙදර ඉඳගෙන චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒ ඇඳපු බොහෝ චිත්‍ර බොහෝ දෙනා අගය කළා. සමහරුන්ට මම ඒවා තෑගි කළා. 2024 අවුරුද්දේ මුල් කාලයේදී මට චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න ආසාවක් ඇතිවුණා. ඒ වෙද්දි චිත්‍ර අඳින්න මට නිදහසකුත් තිබුණා. කාලයක් තිස්සේ මම ඇඳපු චිත්‍ර එකතුවකුත් මට තිබුණා.
ඊට පෙර ඔයාට චිත්‍ර ප්‍රදර්ශනයක් කරන අදහසක් ඇතිවුණේ නැද්ද?
මෙහෙමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳිද්දි චිත්‍ර ප්‍රදර්ශනයක් කරලා ඒකෙන් එන ආදායම පාසල් ළමුන්ට හෝ වෙනත් වැඩසටහනකට බැර කරන්න මගේ හිතේ ආසාවක් තිබුණා. නමුත් ඒ සංවිධානයේ ඉඳිද්දි මට ඒක කරගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. හැබැයි ඒ හැම දේකින්ම නිදහස් වුණාට පස්සේ මගේ පවුලේ අයයි යාළුවොයි මගේ චිත්‍ර කලාවට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ හැමෝම “දැන් ඔයා චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න ඕනෑ” කියලා නිතරම මාව දිරිගැන්වුවා.
සරෝජාගේ චිත්‍රවලට වැඩි වශයෙන් යොදාගෙන තියෙන්නේ තද පාටයි?
ඔව්... මම හරි ආසයි විවිධ පාටවලට. විශේෂයෙන් තද පැහැයට මම ගොඩක් කැමතියි. ඒ වගේම එක එක නිර්මාණවලට, විලාසිතාවලට මම හරි ආසයි. විශේෂයෙන් මණ්ඩල (Mandala) චිත්‍රවලට මම හරි ආසයි. ඒක හරියට භාවනාවක් වගේ. ඒක හිත නිවන චිත්‍ර කලාවක්. ඒ නිසා ඒකට තමයි මගේ වැඩිපුර කැමැත්ත තිබුණේ. බෞද්ධ සහ හින්දු ආභාෂයෙන් ආපු චිත්‍ර කලාවක් විදියට ඒ කලාව හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඒවා නිදහසේ අඳිද්දි හරියට හිත නිවන භාවනාවක් වගේ කියලයි මට හිතෙන්නේ. ඒ චිත්‍ර මගේ ළඟ වැඩිපුර තියෙද්දි ගෙදර අය මට “චිත්‍ර ප්‍රදර්ශනය කරමු”යි යෝජනා කරද්දි මටත් ඒකට ආසා හිතුණා.
ඔයාගේ පවුලේ අයටත් චිත්‍ර ඇඳීමේ හැකියාව තියෙනවා නේද?
ඔව්... මට සහෝදරියන් තුන් දෙනෙක් සහ සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. ඒ අයට චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි ඒ අය මම තරම් චිත්‍ර කලාවට වැඩි නැඹුරුවක් දැක්වුවේ නැහැ. මම චිත්‍ර අඳිද්දි මාව පුදුම විදියට දිරිමත් කළා. මම චිත්‍රවලට සම්බන්ධ කිසිම රැකියාවක් ඊට පෙර කරලා තිබුණේ නැහැ. ඔය අතරේ ‘රිදී විහාරය’ නම් කෘතියේ චිත්‍ර නිර්මාණය පැත්ත කළේ මමයි.
සරෝජා පවත්වන චිත්‍ර ප්‍රදර්ශනය ගැනත් විස්තර ටිකක් කියන්න?
මෙම චිත්‍ර ප්‍රදර්ශනය ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ වුණා. එදාට සම්බන්ධ වෙන්නේ ආරාධිත අමුත්තන් පමණයි. ඊට අමතරව ඔක්තෝබර් 5 වැනිදා සහ 6 වැනිදා මහජන ප්‍රදර්ශනයක් විදිහට විවෘත වෙනවා. මම මේ චිත්‍ර ප්‍රදර්ශනය නම් කළේ ‘භාවනාව’ (Meditation) නමින්. ඒ දින දෙකේදි උදේ 10 සිට සවස 6 දක්වා විවෘතව පවතිනවා. චිත්‍ර ප්‍රදර්ශනය පවත්වනු ලබන්නේ කොළඹ The Harold peiris gallery එකේදි. මෙහිදී චිත්‍ර හතළිස් පහත්, පනහත් අතර ගණනක් නැරඹීමට අවස්ථාව ලැබෙනවා. ඒ අතරට මණ්ඩල චිත්‍ර, විහාර සිතුවම් නිර්මාණ වගේම විවිධ චිත්‍ර නිර්මාණ ඇතුළත් වෙනවා. හිතේ ප්‍රශ්නයක් තියෙන වෙලාවක හිත නිදහස් කරගන්නත් චිත්‍ර අඳින්න පුළුවන්. ඒක හරියට භාවනාවක් වගේ. ඉතින් පොඩි වෙලාවක් වෙන් කරගෙන මේ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස මම හැම දෙනාටම ආරාධනා කරනවා.
• දිශානි ජයමාලි