2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

අලී මචං ආයෙත් ඇවිත් හලෝ.... පතලට ගිය අලීට පට්ට ගලක් හම්බ වුණාලු

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 10

ඔන්න අපේ පරණ යාළුවෙක් ලංකාවට ඇවිල්ලා. ‘අලී මචං’ Travel වලට ආදරේ කරන අයට අමතක වෙන්න විදිහක් නෑ. ලංකාවෙන් පටන් ගත්ත ලංකාවෙ ගොඩක් දෙනෙක්ගේ ආදරේ දිනාගත්ත Go With Ali චැනල් එක ගැන අපි මීට කලින් අවස්ථා කිහිපයකදීම කතා කරලා තියෙනවා.  

ඔන්න එක කාලෙක අලී අතුරුදහන් වුණා. ආයේ මතු වුණා. ඇත්තටම අපිත් හෙව්වා අලීට මොකක්ද වුණේ කියලා. මෙන්න ඊට පස්සේ එයා ලෝකයේ විවිධ රටවල්වලින් මතු වෙන්න පටන් ගත්තා. පිලිපීනය, ජපානය, නේපාලය වගේ රටවල්වල ලොකු ප්‍රේක්ෂකාගාරයක් දිනාගන්න අපේ අලී මචංට පුළුවන් වුණා. අපේ කිව්වට ඔහු ඉරාකයේ ඉපදුණු කෙනෙක්. එක්සත් ජනපද පුරවැසිභාවය තියෙනවා.

ලංකාවට ආපු අලී, Scam එකකටත් අහුවෙන්න ගියා. කොහොම හරි ලංකාවේ සංචාරය පටන් අරගෙන තියෙන අපේ මිත්‍රයා, පහුගිය දවසක අපූරු ගමනක් ගිහිල්ලා තිබුණා. ඒ තමයි ලංකාවේ මැණික් පතලක් බලන්න. අපි අද කතා කරන්න බැලුවේ එතැනදී අලීට සිද්ධ වුණු දේවල් පිළිබඳව.

මැණික් පතලක් ගාවට තමයි අලී ගිහිල්ලා හිටියේ. මුලින්ම අපේ කට්ටියට ඕනෑ වුණා, පතලට බහින්න ඉස්සෙල්ලා කරන කටයුතු ටික ඒ විදිහටම කරන්න.

“මෙයාලට ඕනෑ වෙලා තියෙනවා මාත් එක්ක සාමාන්‍ය විදිහටම වැඩේ කරන්න”

අලී එහෙම කියනකොට පතල් බහින මාමා කෙනෙක් බුලත් විටකුත් අපේ යාළුවට දුන්නා.

පුවක් කෑල්ලක් හපලා,

“ඒක තිත්තයි”

අලී එහෙම කිව්වත් අලී හොඳට ලංකාවේ බුලත් විට ගැන දන්නවා. මාමගේ අතේ තිබුණු බුලත් විටේ හුණු, දුම්කොළ, පුවක් ගැන වෙනම පැහැදිලි කිරීමක් අලී මචං කළා.

“මේ අය උදේම පතලට බහින්න කලින් පොඩි වන්දනාවක යෙදෙනවා”

අලී එහෙම කියනකොට පහන් පැලක පහනක් පත්තු කරලා පතලට බහින අය වඳිනවා.
“මේක ලංකාවේ තියෙන බොහොම අමාරුම රැකියාවක්”

ඔන්න අලී මචං පතලට බහින්න පටන් ගත්තා. අඩි 30 ක් 40 ක් විතර ගැඹුරු පතලක් මේ. අවදානම් විදිහට තමයි ඇතුළට බහින්න තියෙන්නේ. මුහුණ පාන්න වෙන අවදානමත් විශාලයි. අලී මේ හැමදෙයක් ගැනම කිව්වා.
“ඊයේ හොඳටම වැහැලා. ඇතුළේ වතුර පිරිලා තියෙන්නේ. මේ පොම්පවලින් වතුර ඉවත් කරනවා”

පතල්වල වතුර සාමාන්‍ය දෙයක්. වැස්ස නිසා කොහොමත් තෙතමනය වැඩියි. අලී පතල ඇතුළේ තමන්ගේ අවදානම් සංචාරය පටන් ගත්තා.

පතල ඇතුළේ කිහිප දෙනෙක්ම වැඩ. මේක සැලකිය යුතු තරම් විශාල පතලක්. අලී එයාලත් එක්ක ඉස්සරහට ගියා.

“බලන්න මෙයාලා ඉල්ලම සොයනවා. මේ වගේ ආයුධ තමයි පතල කනින්න මේගොල්ලෝ භාවිත කරන්නෙ”

පතල කනින අයව පෙන්න පෙන්නා ඒගොල්ලෝ කරන දේවල් පිළිබඳව අලී තමන් දන්න විදියට ලෝකයට පැහැදිලි කළා. පතල ඇතුළේ කඩා වැටීම වළක්වන රබර් ලීයෙන් හදපු ආරුක්කුව ගැන පවා අලී කතා කළා.
“2015 මේ ප්‍රදේශයේ මේ වගේ පතලක් කඩා වැටිලා හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තිබුණා. මේක ජීවිතය පිළිබඳ විශාල අවදානමක් අරගෙන කරන රැකියාවක්”

ලංකාවේ මැණික් ව්‍යාපාර, එහි ආර්ථික වටිනාකම් සහ ප්‍රමාණයන් පිළිබඳවත් තොරතුරු අලී ඉදිරිපත් කළා. ඇත්තටම මේ වැඩසටහන අලී සාමාන්‍යයෙන් කරන වීඩියෝ එකට වඩා ශ්‍රී ලංකාවේ මැණික් සහ පතල් පිළිබඳ කරපු වාර්තා වැඩසටහනක් වගේ.

බටයක් ඔස්සේ උඩ පහළ සිද්ධවෙන සන්නිවේදනයත් අලීට එකතු කළේ අපූරු අත්දැකීමක්. උඩ කට්ටිය කෑගහද්දි අලීත් ඒවට උත්තර දුන්නා.

“සුබ උදෑසනක්”
“කොහොමද?”
“බොහොම හොඳින්”

අලී ලංකාවෙදි පසුගිය වතාවේ ඉගෙන ගත්ත වචන පාවිච්චි කරන කොට, පතලේ අයටත් හරි පුදුමයි. සන්නිවේදන ක්‍රමවේදය පිළිබඳවත් ලෝකයාට පැහැදිලි කරන්න අලී අමතක කළේ නෑ.
“බලන්න මෙතැන තියෙනවා තව බටයක්. මේ ඔස්සේ ඉහළින් පිරිසිදු වාතය පහළට එවනවා”

පතල් කැණීම්වලදී හමුවෙන මාරාන්තික විස සහිත ගෑස් වර්ග තිබෙන බව අපි අහලා තිබෙනවා. ඒ නිසා තමා මේ වගේ දේවල් භාවිත වෙන්නේ. අලී මචං ඇත්තටම ඒ පිළිබඳවත් හොඳ අධ්‍යයනයක් කරලා තමයි මෙතැනට ඇවිල්ලා තිබුණේ.
පතල ඇතුළේ තවත් ගොඩක් දේවල් අලී බැලුවා. අවදානම් තැන්වලට පවා ගිහිල්ලා ඒ දේවල් ළඟින්ම නිරීක්ෂණය කළා. සැලකිය යුතු වෙලාවක් පතල ඇතුළේ ගත කරපු අලී, පස්සේ බොහොම අමාරුවෙන් පතලෙන් ගොඩට ආවා.

පතල්කරුවන්ගේ දුක, ඔවුන්ට තියෙන ප්‍රශ්න පිළිබඳව අලී දිගින් දිගටම කතා කරන්න පටන් ගත්තා. පතලක් තුළ වැඩ කරන කකුල් කැඩුණු පියෙක් සහ ඔහුගේ දියණිය පිළිබඳව කතාවකුත් අලී මේ වැඩේ ඇතුළෙම වාර්තා කළා. මේ අයට ලැබෙන වැටුප පිළිබඳව අලී නම් හිටියේ බොහොම කනගාටුවෙන්.

ඔන්න ඊට පස්සේ අලී ගියා ඉල්ලම් ගරන තැනට. ටිකක් වෙලාවක් එතැන ගත කරන කොට හම්බවුණා ගලක්. ඒක පැනස් ගලක් කියලා තමයි අවට හිටපු අය කිව්වේ.
“වටිනාකම කීයක් විතර වෙනවද?”

“රුපියල් ලක්ෂයක් විතර වෙනවා”
අලීගේ මේ අමුතු වැඩ බලන්න ආපු කට්ටිය කිව්වා.

ඊට පස්සේ සුපුරුදු විදියට විහිළුවක් කරපු අලී ගල සාක්කුවේ දාගෙන යනවා කියලා කිව්වා. හැමෝම ඒකට හිනා වුණා.

ඔන්න කොහොම හරි අලී පතලෙ කට්ටියට සමු දෙන්න තීරණය කළා. හැබැයි නිකම්ම නෙවෙයි. පතලේ වැඩ කරන, මහන්සිවෙන එතැන හිටපු දහ දොළොස් දෙනකුට රුපියල් 5000 බැගින් ලබා දෙන්න අලී කටයුතු කළා. තමන්ට උදව් කිරීම පිළිබඳව ඒ හැමෝටම අලී මචං නිහතමානීව සුපුරුදු විදිහට උදව් කළා.

ඊට පස්සේ අලී පිටත් වුණේ මැණික් ගැන වෙළෙඳපොළේ තවත් තොරතුරු හොයන්න. කොහොම වුණත් පතලෙදි ලැබුණු ගල මිලදී ගන්න අලීට මේ වෙනකොටත් අවස්ථාවක් ලැබිලා තිබුණෙ නෑ. ඒ සඳහා ප්‍රධාන ගැනුම්කරුවාගෙන් අවසර ගන්න ඕනෑ බව පතලෙ අය කිව්වා.

• චමිඳු නිසල්