2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා

තාත්තා කියන්නේම සංසාර මහ කන්දක්... දරු සිත් නලවන ආදරණීයම සිනමා ආමන්ත්‍රණය හොරා අංකල්

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00 63

මහ කන්දක් පාමුල හිඳ මම ඒ කන්ද දෙස නිහඬවම බලා හිඳිමි. ඒ කන්දෙහි විසල් විසිතුරු මම දකිමි. එහෙත් නොවිඳිමි. නීල පැහැසර සරින් සාරෙට දිදුලන, ගැඹුරු මුල් විහිදවූ වනස්පතියන් දරා හිඳින, රුවට රුවේ සුපිෂ්පිත මලින් ගැවසි, ළදල්ලෙන් පිබිදි, ඵලයෙන් දිලිසෙන, මහා ගල් තලා ගැඹුරේ දිය සීරා ගලා යන ඒ මහ කන්ද මට මහා පුදුමයකි. මට මහා විස්මයකි. මට මහා කතාන්දරයකි. මා නොදන්න අක්ෂර සමුදායකින් සම්මිශ්‍රිත මහා කතාන්දරයකි. එහෙත් හුදෙකලාවම මම ඒ කතාන්දරයට පෙම් කරමි. ඒ කතාන්දරයේ නම තාත්තාය.

ඒ කතන්දරය මා අසා ඇත. එහෙත් මා කියවා නැත. තාත්තා... මට මගේ ජීවිතයේ හිස් පිටුවක් පමණි. මගේ ජීවන වර්ණාවලියේ කිසිදා මා ඇස නොදිසි අවර්ණයක් පමණි. එහෙත් සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද ළය ලෙයට දැනෙන අප්‍රමාණ ස්නේහයකින් මම ඒ අකුරු සිඹිමි...

තාත්තා... එය ලෝකයේ ලස්සනම වචනයක් වග කියවූ කතාන්දරයකින් නොව ඇසූ කතාන්දරයකින් තවත් වතාවක් ලියා තබමි.

හොරා අංකල් සිනමා වියමනෙහි සමස්ත සිනමාමය විහිදුමට නොව තාත්තා යන සංකල්පය සිනමා අක්ෂර ඔස්සේ වර්ණ ගල්වාලූ ආදරවේදයට මම ඉඳුරාම පෙම් කළෙමි. රූප රාමුවෙන් රාමුවට සිනමාමය දහරාවක් ඔස්සේ හොරා අංකල් සිනමා වියමන විහිදුවාලූ දිශානතින් තව බොහෝ වූ සිනමාමය වර්ණයන්ගෙන් සහ සිනමාවේදීය අක්ෂරයන්ගෙන් සරසන්නට, හැඩ කරන්නට ප්‍රේක්ෂක හදවතින් කතාන්දරයක් සේ ලියවන්නට පිටපත සහ අධ්‍යක්ෂණය තුළ බොහෝ දේවල් කළ හැකිව තිබූ වගට විවාදයක් නැතත් එම සිනමා වියමන දරුවන්ගේ ලෝකයට තිළිණ කළ සොඳුරු සිනමා වියමනක් වෙසින් පිළිගන්නටත්, දාරක හදවත්හි ඉසියුම් සංවේදනාවන්ට ආදරණීයව ආමන්ත්‍රණය කරන්නට හදාගත් ඉඩ හසර අල්පමාත්‍රයට වුව මම ආදරයෙන් බැඳුණු නිසාත් එම සිනමා වියමන අකුරු වියමනකට අනුභූතියක් කරගන්නට මට සිත් විය.

ඒ අක්ෂරවේදයේ අකුරු අමුණන්නට පෙර තිරයෙන් එහා හිඳ හොරා අංකල් සිනමා වියමන ලාංකික රසිකාගාරයට තිළිණ කරනු පිණිස වගකීම දෙවුර දරාගත් ප්‍රධාන නිෂ්පාදක සමන් අලංකාර, අධ්‍යක්ෂ හර්ෂණ වික්‍රමසිංහ, තිර රචක නිහාල් පීරිස්, සංගීත අධ්‍යක්ෂ නවරත්න ගමගේ, නිෂ්පාදන දායකත්වය සැපයූ ආචාර්ය සුමින්ද ලොව් ප්‍රමුඛ හොරා අංකල් වගකීමේ සමස්ත එකමුතුවටත්, ඒ වෙනුවෙන් තේ කෝප්පය සෑදූ මානව ශ්‍රමයේ පටන් හොරා අංකල් වෙනුවෙන් දහදිය මාත්‍රයක් වුව වැය කළ හැම කෙනාටමත් මම ආදරයෙන් ස්තූතියි කියමි.

මේ විශ්වයේ මා විශ්වාස කරන විනිසුරුවන් දෙදෙනෙකි. ඒ මගේ හෘද සාක්ෂිය සහ ස්වභාවධර්මයයි. හෘද සාක්ෂියෙන් සහ ස්වභාවධර්මයෙන් පිටස්තර සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් මම මගේ හදවතේ කවුළු පියන් පත් හැර නොතබමි. මුළු ලෝකයම තමන්ට එරෙහිව නැගී සිටියත්, තම හෘද සාක්ෂිය නම් ලොව බලවත්ම විනිසුරු හමුවේ තමන්ට තමන් නිවැරදි වගට වග විය හැකි නම් ලෝකය තමන් කුරුසියක තබා ඇණ ගැසුවත් කම් නැතැයි මම සිතමි. එහෙයින්ම හොරා අංකල්හි හොරා අංකල් මා ඉදිරියේ හොරෙක් නොව මිනිසෙකි. වැරදිකරුවකු නොවන වැරදිකරුවෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතේ සියුම් ලේ නහරයෙන් නහරයට දාරක ස්නේහය දරාගත් තවරාගත් ආදරණීයම තාත්තා කෙනෙකි.
අහන්න...

ඔබට කියන්නට මට අවැසිමය. වරද කිසිවිටෙක සාධාරණීකරණය කළ නොහැකි වුවත් වරදෙහි හේතුව අතිශය සාධාරණ සහ මානුෂික විය හැකිය. ඕනෑම මිනිසකු ඕනෑම තත්ත්පරයක ඕනෑම වරදක් කිරීමට පෙළඹීමේ සිද්ධාන්තය පිටුපස ලෝකයට කිසිදා තේරුම් ගත නොහැකි වූ, අනුකම්පාවෙන් නොව සහකම්පනයෙන් ලෝකයට කිසිදා කියවා ගත නොහැකි වූ හේතු සමුදායක් ගැටගැසී තිබෙන්නට පුළුවන. වරද සාධාරණ නොවුවත් වරදට හේතුව අතිශය සාධාරණ සහ මානුෂීය වන පදනමකදී වරදෙහි දඬුවම විනිශ්චය කරන නිර්ණායක සාධාරණීකරණය කරන්නේ කවර සිද්ධාන්තයක හිඳ දැයි විමසනු මැනව. වරදට දඬුවම නොව වරදෙහි හේතුවට උත්තර පිරිනමන ලෝකයක් අප අබිමුව ප්‍රාර්ථනය වන්නේ ඒ නිසාමය.

හොරා අංකල් සිනමා වියමන මගේ සිනමාමය වින්දනාත්මක රස ඉසව් තුළ සැරිසරන්නේ එකී ප්‍රස්තුතමය වින්දනය කරණ කොටගෙනය. වඩාත් සුමට සහ සිනමාමය පැහැසර විදාහල දිශානතින්හි එම ප්‍රස්තුතය සිනමාමය වර්ණ සහ හැඩතල ගන්වා පාට කරන්නට තිබුණි නම් යන සිතුවිල්ල අවසානයේ ඉපදුණත් ‘තාත්තා’ යන උත්තරීතර මානව භූමිකාව ඔස්සේ මා නාඳුනන, මට ආගන්තුක ආදරණීය තාත්තලා මෙහෙම යැයි රිදුම් පිරිමැද මගේ හදවතට කියා දෙමින් මගේ හදවත තුළ භාව කම්පනයක් ප්‍රකම්පනීයව දනවන්නට ඒ තාත්තාට හැකි විය. ඉතින් ඒ සිනමාමය සංකල්පනාවට මේ මොහොතේත් මම ප්‍රේමණීය වෙමි. ඒ තාත්තා තාත්තාමය.

රක්ත වර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරි දහරාවක් බවට පරිවර්තනය කළ හැකි, ඒ ආදරවේදයේ මහිමය මෙතෙකැයි මෙපමණකැයි කිසිදා නිර්වචනය කළ නොහැකි ප්‍රේමණීය ස්නේහයක් දරුවකු වෙනුවෙන් ළය දරා හිඳින අම්මා කෙනෙක්ගේ පපුවේ උණුහුම ඔබ විඳ ඇත්නම්... අම්මා යනු කවුරුන්දැයි මම ඔබට නිර්වචනය කරන්නේ ඇයි? සැබැවින්ම ඒ ළය උණුහුම මගේ ජීවිතයේ මතක සෙවණැලි සමුදායෙන් බොහෝ දුරස් වූ හෙයින්ම ඒ ස්නේහය පණ ගැහෙන හදවතින් ඔබ හදවත හමුවේ චිත්‍රණය කරන්නට මම ආදරයේ අකුරු නොදනිමි. ඒත් ලොව සුන්දරම මාතෘත්වයේ සඳක් මට මේ සිනමා වියමන තුළින් මුණගැසේ.

ආදරය සඳ එළිය සේ යැයි කියන්නට මම ප්‍රිය වෙමි. සඳ එළිය යනු සොබාදහම මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් තිළිණ කළ නිකළැල් සහ පාරිශුද්ධම ආදරයේ සංනිදර්ශනයයි. මක් නිසාද යත් සඳ එළිය වනාහි අල්පමාත්‍ර අංශුමාත්‍රයකිනුදු කිළිටි නොවූ ස්වභාවදහම සතු නිකළැල්ම වස්තුවයි. එහෙයින් ආදරය විෂයෙහි ගෙනහැර දක්වන්නට සඳ එළිය තරම් සංනිදර්ශනයක් ලොව තවත් නම් හමු නොවේ.

සොබාදහම යනු අසිරිමත් ගුරු ගීතයකි. සොබාදහම යනු මා හඳුනාගත් අසිරිමත්ම දාර්ශනිකයෙකි. විශ්වයේ සියලු විනිශ්චයන් තම පපු තුරුලේ හොවා ගනිමින් ඉපදෙන ළදල්ලකින් ජීවිතයත්, මැලවී අතු අගිස්සකින් ගිලිහෙන කොළයකින් මරණයත් දක්වා ජීවිතයේ සියලු සත්තාවන් සහ නියතයන් නිහඬවම කියා දෙන ඒ විශ්මිත ගුරුවරයාණන් මවාලූ කිසිදු අහම්බකාරකයක් අපට හමු නොවේ. එනයින්ම අහම්බයක් වූ කිසිදු හමුවීමක්, සමුගැනීමක් හෝ සංසිද්ධියක් ජීවිතයේ කිසිදා හමු නොවේ. මේ සියලු මානවීය සහ විශ්වීය සිද්ධාන්තයන් හොරා අංකල් සිනමා වියමනේ වර්ණය තුළ තවරාලූ ප්‍රවේශයට ඉඳින් මම ප්‍රිය වෙමි.

හොරෙක් කොහොමද අංකල් කෙනෙක් වුණේ? දරුවකුගේ ලෝකයේ නිර්මලත්වය සහ අසිරිමත් ප්‍රබෝධය ඔබ හඳුනාගත යුත්තේ එතැන් සිටය. මානුෂවාදී මනෝවිද්‍යාත්මක න්‍යාය ලෝකය හමුවේ තැබූ කාල් රොජර්ස් නම් මනෝවිද්‍යාඥයාට අනුව මේ ලෝකයට පැමිණෙන පළමු තත්පරයේදී මානව හදවත යනු පවිත්‍ර සුදු කොළයකි. ඒ සුදු කොළය කිළිටි වෙන්නේ සමාජය නැමැති සම්මිශ්‍රණය තුළ සැරිසරන ජීවන ගමන තුළය.

ලෝකයේ අසුන්දර නියතයන් සහ නිර්මිතයන් දැන හඳුනා ගන්නට පෙරාතුව ආදරය තුළ සියල්ලක් දකින සහ විඳින දරුවකුට හොරා යනු ද තවත් එක් මිනිසෙක් පමණි. හොරා යනු සමාජ සම්මතය තුළ වන නිර්වචනය හඳුනා ගන්නට තරම් මෝරා නොගිය ඒ ළපටි හදවත් අබිමුව හොරා යනු තවත් එක් නමක් පමණකැයි සිතේ. ඒ නමට අංකල් යන ආදරණීය ආමන්ත්‍රණය ඒ දරු පැටවුන් අමුණන්නේ ඒ නිසාමය. එහෙයින්ම හොරා අංකල් යන ආමන්ත්‍රණයේ සිටම දාරක මානසිකත්වය මේ යැයි කියන්නට ප්‍රයත්නයක් දරන්නේ නම් එය එක්තරා ප්‍රශංසනීය සිතුවිල්ලක් නොවේදැයි මට සිතේ.

කවි, කතාන්දර, නැලවිලි ගී අසමින් මව් උකුලේත්, සෙනෙහස් ඕවිල්ලේත් නලවාලූ දරුවන් වෙනුවෙන් සිහිනයෙන් සිහිනය සිහින මුතුහරක් අමුණාලූ ලස්සනම ආදරණීයම ස්නේහසාර ලෝකයක් නිමැවුම, දරුවන්ට දරුවන් වෙසින්ම දරුවන්ට දරුවන් වෙසෙසින්ම ආදරය කරන අම්මා කෙනකුගේ සහ තාත්තා කෙනකුගේ ප්‍රාර්ථනය වග හොරා අංකල් සිනමා වියමන කියන විස්මිත අපූරුව හදවතට දැනෙන සංවේදනාත්මක ස්වරය අබිමුව මේ මොහොතේත් මගේ හදවත ඉකිගසයි.
තම දියණියගේ පාද අප්‍රාණිකත්වය හමුවේ එතෙක් සමාජ සම්මතයන් හමුවේ නිවැරදිකරුවෙක් වූ ඒ තාත්තාට හොරෙක් වීම වරදකාරී නොවන වරදකි. මුවදොරක් හමුවන තෙක් ගලා යන ජීවිතයේ ගඟ දෑල නැවතුම් සේම මඟ අවුරාලන වෙහෙසකර හමුවීම් ද කොතෙකුත්ය.

මට කියන්න
ඔබට හමුවීද...
සම්මුතික මරණයක් මිස මරණයක්!

භවයෙන් භවය සංසාර නැවතුම් සොයමින් යන මේ ජීවන සුවිසැරිය තුළ ඔබට හමුවීද?

අවසානයක් මිස කෙළවරක්!

කියන්න කිසිදා ඔබට හමුවීද?

අවසානයක් මිස කෙළවරක්!

සියල්ල අවසන් වන ලෝකයක කිසිවක් කිසිදා කෙළවර නොවන වග ඔබ හඳුනා ගත්තෙහිද?

ආදරයත් ප්‍රේමයත් ස්නේහයත් නොබිඳෙන තාක් සසර මඟ සිතුවිලි සරණිය භවය නම් හුයකින් ගැටගැසී යළි යළිදු පුරුදු නුපුරුදු සුපුරුදු ස්නේහ පාරමිතාවන් සහ ප්‍රාර්ථනාවන් තුළ කවරාකාර හෝ සසර ගනුදෙනුවක් පිණිස මුණගැසෙන වග ඔබ විශ්වාස කරන්නෙහිද? බැඳීමක් යනු, හමුවීමක් යනු, සමුගැනීමක් යනු, යළි යළිදු හමුවීම පිණිස ප්‍රාර්ථනාවක් යනු, මරණයෙන් නොමැරෙන ඒ සදාතනික බන්ධනයන්හි සොඳුරුතම සේම අඳුරුතම ඵලයයි. හමුවන පළමු තත්ත්පරයේත් ඇසට ඇස යා වූ සංසාර සංවේදනාවන්හි නැවතුමේ සිට ඇරඹුම සනිටුහන් වී ස්නේහයෙන් නොගිලිහේවායි පැතුමෙන් අත අත නෑර අල්ලා ගන්නා අත්වැල් යනු සංසාර මන්දිරයන්හි ශේෂ ප්‍රාර්ථනා මිස අන් කිසිවක්ම නොවේ.

මහා කන්දක් සදිසි දිව්‍යමය ප්‍රේමයකින් ඒ තාත්තා දියණිය වෙනුවෙන් අප්‍රමාණ වගකීම් සමුදායක් දෙවුර දරාගන්නේ ඒ සංසාර යාත්‍රාවේ හුරුපුරුදු බන්ධනය නිසා යැයි ඒ තාත්තාගේ පපුවට රිංගා නතර වූ ඇසිල්ලේ මගේ පපුවේ පිරිසිඳි සිතුවිල්ලයි.
විනිශ්චයෙන් එහාට මනුෂ්‍යත්වය රන්වන් වෙසින් සුදිලෙන විට දිලිසෙන දෙපයින් මනුසත් යායෙහි ඇවිද යන්නට මව්පියන්ට පාර කියන ආදරණීය සහ සුබවාදී දරුවන් හොරා අංකල්හිදී අපට මුණගැසේ.

දරුවන්ට ආදරය කරන්න
එහෙත් ඔබගේ සිතුම් සිහින
සහ අභිලාෂ දරුවන්ට
නොදෙන්න
මක් නිසාද යත් ඔවුන්ට ඔවුන්ගේම
සිහින ආකල්ප සහ අභිලාෂ
ඇති හෙයිනි.

ඛලීල් ජිබ්රාන් නම් ලේඛකයා වරක් එසේ ලියා තැබුවේය. සිග්මන් ෆ්‍රොයිඩ් නම් මනෝවිද්‍යාඥයා මනුෂ්‍ය සිත අයිස් කන්දකට උපමා කරලූයේය.

මහා සාගරයකින් වැසී ඇති ඒ මහා අයිස් කන්දේ සුවිසල්ම වපසරිය තුළ සිතුවිලි ප්‍රකෘතියේ වර්ණ ස්වර සමුදායකි. සයුර මස්තකයට නොපැමිණ, එහෙත් විනිවිද දෑසින් හඳුනාගත හැකි සිතෙහි කලාපය තුළ බොහෝ දුර යා නොවූ එදා මෙදා තුර සිතුවිලි සරණියකි. ඇසට ප්‍රකෘතියෙන් හමුවන අයිස් කන්දේ මතුපිට විසල් නොවූ ගැඹුර තුළ චින්තනයේ සොඳුරුබරම සංකේන්ද්‍රණයකි.

ඉඳින් මිනිස් සිතේ අප්‍රමාණ දිශානතින් තුළ නියත දහමට අවසඟව යා හැකි සහ නොහැකි ඉසව්වන් අතර භව සක්මන යනු ගිරි දුර්ග වනපෙත් අතර මාවතක් සොයා යමින් යන ඉරණම් ගමනකි. ගෙවාලන මේ තත්ත්පරය අවසන ඉපදෙන ඊළඟ තත්ත්පරය යනු අවිනිශ්චිතයකි. අනපේක්ෂිතයකි. එහෙත් මඟහැරිය නොහැකි සත්‍යයකි. යථාර්ථය යනු මිනිසා විසින් නිර්මාණය කළ සංකල්පයක් වූ හෙයින් ඒ යථාර්ථය මඟහැර සත්‍යයේ තත්ත්පරය අස අප නැවතිය යුතුමය. සිනමාවේදය තුළ දෝලනය වන්නේත්, චිත්‍රණය වන්නේත්, ප්‍රතිබිම්බගත වන්නේත්, මානව චිත්තවේගයන්හි, චින්තනයන්හි, සංකල්පනාවන්හි නානාවිධ වර්ණ සහ හැඩතලයි. ආදරය සහ අනාදරයයි. හමුවීම්, වෙන්වීම්, සමුගැනීම් සහ මඟහැරීම් අතර සරල හා ගැඹුරු සංසිද්ධීන් සමුදායයි. පෙනෙන දෙය විනිවිද දකින සියල්ලෙහි අඳුර සහ ආලෝකයයි. සොඳුරු සහ අඳුරු වෘතාන්තයයි. ඒ සියල්ල තුළ හොරා අංකල් මනුෂ්‍යත්වයේ අමුතු කතාන්දරයක් ප්‍රේක්ෂකාගාරය වෙත තිළිණ කර ඇති වග මගේ හැඟීමයි.

• සංජීවිකා සමරතුංග