2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

ළය ලෙය කළඹන ආදරවේදයක්! ගැහැනියකගේ හද මඬලට අමතන සංවේදීම ඇමතුමක් සිහින නෙළුම් මල්

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

සපැමිණි මොහොත මිස එළඹෙන්නට බලා හිඳින තත්ත්පරය අවිනිශ්චිතයකි. අනපේක්ෂිතයකි. ඉතින් ජීවිතය යනු දහස් සංඛ්‍යාත තත්ත්පර සමුදායක එකතුවක් නම් සිහින, පැතුම්, බලාපොරොත්තු, ඉල්ලීම් සහ බලා හිඳීම් යනු ඒ තත්ත්පර අර්ථයෙන්, සාරයෙන් සහ රසයෙන් සරසාලන ජීවන තිළිණයන්ය.

බැඳීම් තුළ ගැටගැසෙන ජීවිත අස්වද්දනු පිණිස බලා හිඳින අප්‍රමාණ සිහින අතර ළය ලෙයටම බැඳුණු සම්, මස්, ලේ, නහර, ඇට මිඳුළු විනිවිද දැනෙන ලෙයෙන් සහ කිරෙන් උපදින කිරි සිහිනය හුදෙක් සිහිනයෙන් එහාට ආදරවේදයක සුවඳවත් ආත්ම ප්‍රකාශනයකි.

එහෙත් සිහින සිහිනයෙන් ගිලිහී ගිලිහුණු සිහිනම ජීවිතයේ පාර දිගේ ඇවිද යද්දී, යළි යළිත් හමුවෙද්දී, ඉපදුණු කඳුළු මතම සිනහ මල් පූදිද්දී, ජීවිතය කොතරම් නම් මනරම්දැයි මම ඔබට කියනු කිම... දියණියකගේ, බිරිඳකගේ, ගැහැනියකගේ හදගැස්ම තුළ ගෙවී යන චමත්කාරවත් සිහිනයක් ප්‍රස්තුත කරගෙන නිමැවුණු සිහින නෙළුම් මල් සිනමා වියමනට ප්‍රස්තුත වන්නේ එවන් සෞන්දර්යාත්මක ජීවන විවරණයකි.

ශමීර නාඔටුන්නගේ සිනමාමය අක්ෂරවේදය තුළ නිෂ්පන්න සිහින නෙළුම් මල් අතිශය සංවේදී දිශානතියක් කේන්ද්‍රීයව රිදී තිරය සරසන සිනමා රූපකාරයක් ලෙස හැඳින්වීම වඩාත් නිරවද්‍යය.

මෝරන තල මල සේම සාර සුබාවට දළුලද්දී ජීවිතය මනරම්ය. චමත්කාරයේ රන් රේඛා ඉරණමට පෙරවදන් ලියද්දී ජීවිතය ලස්සනය. එහෙත් ඒ මනරම් වූත්, ලස්සන වූත්, ජීවිතය සෑම තත්ත්පරයක ඇසි දිසි යථාර්ථයක් නොවේ.

සංසාර ගිරි දුර්ගයේ අනේක වූ මංමාවත්හි ඇවිද යද්දී මානව ප්‍රකාශන සහ අප්‍රකාශන අතරෙහි අපි ජීවිතයටත් ප්‍රේමයටත් සංවේදී වූ බන්ධනයන්ගෙන් බැඳෙන්නෙමු. ප්‍රේමයෙන් විහිර්මුක්ත වූ සඳ, ප්‍රේමය ප්‍රේමය වෙසින්ම, ප්‍රේමය ප්‍රේමය වෙසෙසින්ම මුණ නොගැසුණු කල ආදරය ඉවතලන අමුතුම වියරුවකින් අවැසි වැසි ද අපි ඉල්ලා හිඳින්නෙමු. මානව සන්තානයේ ප්‍රකෘතිය එයයි.

අවැසි වැසි නොවැසි සඳ
නොවැසි වැසි අවැසි සඳ

ජීවිතය තුරුල්ලේ හොවාගෙන සතපනු පිණිස සිහින සොයාගෙන ඉගිල්ලීම මානව සමාරම්භයේ සිටම විශ්වීය සංසිද්ධියකි. චමත්කාර වෙසින් ජීවිතය හමුවන්නේ සිහින තුළ ජීවිතය සොයා ආ මොහොතකය. ඉතින් චමත්කාරය යනු කුමක්ද? සියලු සෞන්දර්යන්ගේ හරය එක්වූ තැන චමත්කාරයයි.

එහෙත් ජීවිතය යනු කිසිදු විටෙක අප ඉල්ලා හිඳින, අප ප්‍රාර්ථනා කරන, අපට ඇවැසි සියලු සමුදායන්හි සම්මිශ්‍රණයක් හෝ නිමැවුමක් නොවේ.

සිනහව කඳුළ හා යා වෙන්නේත්
දුක සැප හා යා වෙන්නේත්
සතුට වේදනාව හා යා වෙන්නේත්
සැනසුම සුසුම හා යා වෙන්නේත්
එහෙයින්මය.
ප්‍රේමය ප්‍රේමය වෙසින්ම
ප්‍රේමය ප්‍රේමය වෙසෙසින්ම

හමුවූ තැන ප්‍රේමය රිදුම් විරහිතය. එහෙත් වේදනාවන් හෝ රිදුම් තුළින් වියුක්ත ප්‍රේම කතා ලියැවුණේවත්, ලියැවෙන්නේවත් නැත. මක් නිසාද යත් සියලු බැඳීම් උපදින්නේම රිදුම් හා ඈඳීගෙනය. ප්‍රේමය උපදින්නේම විරහව වේදනාව, සමුගැනීම හා මඟහැරීම හා යාවීගෙනය.

දිනෙක ප්‍රේමයේ මුල් සිඳ බිඳ දැකිය හැකි තත්ත්පරයක් සපැමිණෙන්නේ නම් සංසාර රැහැන් පටම ඒ මොහොතේ බිඳී යයි. මක් නිසාද යත් සංසාරය භවයෙන් භවයට ගැටගසන්නේම ප්‍රේමයත් ප්‍රේමය හා ඈඳුණු නිර්මිතයනුත් වන හෙයින්මය.

එහෙත් යථාර්ථයෙන් ඔබ්බට යථාර්ථයේ සියලු පැහැසර විනිවිද සත්‍යයේ ධවල පුෂ්පය නෙලන්නට පා නොතියා අපි සියලු වේදනාවන්, සියලු අහිමිවීම්, සියලු මඟහැරීම් හා සියලු අහිමි කිරීම් තුළ නැවත නැවතත් ජීවිතය හා ප්‍රේමයම හොයන්නෙමු. ආදරවේදයන් ලියන්නට පසුවදන් හා පෙරවදන් වෙනුවෙන් ප්‍රේමණීය අක්ෂර සොයන්නෙමු. එහෙත් සොයන සියල්ල හමු නොවූ කල්හි වේදනාවම උපදියි...

එහෙත් ජීවිතය යනු සොයා යාම මිස අන් කිසිවක්ම නොවේ. සොයා යාම තුළදී මිස අන් කිසිම තැනකදී ජීවිතය හමු නොවේ. එහෙයින් අත්හැරෙන තැන් දරාගෙන අහිමිවීම් පිළිගනිමින්, සියලු අහිමිවීම් පිළිගනිමින්, සියලු අහිමිවීම් තුළම නැවත නැවතත් හිමිකම් සොයා යා යුතුය. නිවෙන පහන් වෙනුවෙන් නවමු පහන් ජීවිතය මත දල්වාලිය යුතුමය. ඉතින් සිහින නෙළුම් මල් තුළ ඇය සොයන්නේත් ඒ සිහින ප්‍රාර්ථනා නෙළුමකි.

සිහින යනු නිරපේක්ෂ සම්මුතියක් නොවේ. සිහින උපදින්නේ හදවත් යාය මත ප්‍රාර්ථනා  පොද වැහි සිහිලේය. ඈ තුළ උපදින්නේ රක්ත වර්ණ රුහිරු දහරා ශ්වේත වර්ණ කිරි දහරාවක් බවට පරිවර්තනය කර ඇගේ ළය ලෙය තුළින් සුපිෂ්පිත දාරක පුෂ්පයක් උපද්දවන සිහිනයයි. එහෙත් දරු පැටවකු කුස මඬලට වඩම්මවන්නට තරම් පින්සාර හිමිකම් ජීවිතයේ කවර හෝ නිර්ණායකයන් හෝ තීරකයක් විසින් අහිමි කරද්දී ඈ අහිමිවීම් තුළත් හිමිකමම සොයා යයි.

සිනහව හදවතටම දැනෙන්නේ කඳුළෙහි අරුත, කඳුළෙහි හැඩය දන්නා හිතකටය. ආදරයේ වටිනාකම, ආදරයේ සෞන්දර්යය, ආදරයේ සුවඳ, වඩාත්ම දැනෙන්නේ ආදරය කිසිදා නොවිඳි හදවත්වලටය. මානව චිත්තවේගයන්හි විවිධ දිශානතීන්, වර්ණයන් සිනමාමය අක්ෂරවේදයක් තුළ දිගහරින ශමීර සිහින නෙළුම් මල් තුළින් වඩාත් සංවේදී ප්‍රවේශයක සිට රටේම දියණිවරුන්ට, අම්මාවරුන්ට සහ සමස්ත ගැහැනුන්ට අමතන හෘද සංවේදී සිනමාමය ආමන්ත්‍රණය සැබැවින්ම සොඳුරු වෙත්.

• සංජීවිකා සමරතුංග