2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

වැස්ස! ඒක අමුතුම ලල් එකක්

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

වැස්ස කියලා කියන්නෙ කොයි කාලෙත් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් අවුස්සන සොබාදහමේ මැජික් එකකට. ඉතින් මචෝ මේ මැජික් එක වටා මිනිස්සු හදාගත්ත එක එක Trend තියෙනවා. මේ ගත වෙන්නෙ වස් කාලෙ අන්තිම දවස් නිසා ඒ ගැන ටිකක් වෙනස් විදියේ කතාබහක් ඇති කරගන්න අපි හිතුවා. එහෙනම් මචෝ අපි බලමු වැස්සෙ ගන්න ආතල් ගැන ආතල් කතා ටිකක්.

වැස්සට ආතල්ම විදිහට කරන්න පුළුවන් වැඩක් තමයි රස්නයෙන් කෝපි කෝප්පයක් හරි රස්නයට බොන්න පුළුවන් තවත් මොනවා හරි පානයක් හරි එක්ක පොතක් කියවන්න පටන් ගැනීම. ඒක ඇතුළෙ වෙනම ආතල් එකක් තියෙනවා. ඉස්සර ගොඩක් දෙනෙක් මේක හුදෙකලාවේ කළත්, දැන් Social Media ඇවිල්ලා නිසා මේ වැඩේ කරන සමහරු ෆොටෝ එකක් සමාජ මාධ්‍යයට උඩුගත කරන්නත් අමතක කරන්නෙ නෑ. ඒ නිසාම වැස්සට පොතක් කියවීම ජනප්‍රිය Trend එකක් වෙලා තියෙනවා.
වැස්සට පොතක් කියවනකොට සිද්ධවෙන තවත් පට්ටම දෙයක් තමයි, ඒ පොත තුළ තියෙන චරිත, හැඟීම් වගේ දේවල් බොහොම තදින් අපිට දැනීම. වැස්ස තමයි ඒ අමුතු දැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන්නෙ.

වැස්ස දිහා ඔහේ බලාගෙන ඉන්න එකත් වැස්ස දවසකට කරන්න පුළුවන් තවත් ආතල් වැඩක්. කොටින්ම කිව්වොත් වැස්ස දිහා බලාගෙන මනෝ පාරක් ගහන එකේ පොඩි ලල් එකක් තියෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ වැස්ස අපේ මතකවලට ලොකු බලපෑමක් එල්ල කරනවා. මතක අවදි කරගෙන අතීතයේ සැරිසරන්න වැස්ස අපූරු අවස්ථාවක්. මේ වැඩේටත් ආසා කරන ගොඩක් දෙනෙක් දැන් දැන් ඉන්නවා. මිනිස්සු ඉස්සර ඉබේම සොබාදහමට කැමති වුණත්, දැන් තාක්ෂණය සහ කාර්මීකරණයත් එක්ක සොබාදහමෙන් ඈත්වෙලා. ඒත් ඒ ඈත්වීම නිසාම හති වැටෙන මිනිස්සු දැන් වැස්ස දිහා බොහොම ආදරයෙන් බලන බවක් අපිට පෙනෙන්න තියෙනවා.

අනෙක් පැත්තට මචෝ වැස්ස කියන්නෙ ගොඩක් සාහිත්‍ය නිර්මාණවලට හේතු වුණු මැජික් එකක්. කුඩලිගම කවියා මේකට අපූරු හේතුවක් වැස්ස ගැන ලියවුණු එයාගේ කවි පන්තියකම කියලා තියෙනවා. “මුළු ජීවිතය සතු සිහි කටයුතු සිද්ධී... සිදුවූ සේ හැඟෙයි මහ වැසි පවතිද්දී...”‍ ඉතින් මචෝ වැස්සට කවි සින්දු ලියැවෙන්නෙ නැතුව තියේවිද? වෙලාවකට වැස්සම කවියක්.

වැස්සට තියෙනවා අමුතු ප්‍රේමාන්විත බවක්. ඒ නිසාම තමයි වැස්සට මේ තරම් මැජික් දේවල් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් දෙගොඩතලා යන ගංවතුරේ නම් මේ වගේ දේවල් කරන්න අමාරුයි. ඒත් කොතැනක වුණත්, කොහොම වුණත්, වැස්ස විඳින කෙනෙක්ට වැස්ස විදින්න බාධාවක් නෑ.

උදාහරණයක් විදිහට කුඩයක් නැතුව මහ පාරේ වැස්සක තෙමෙන කෙනෙක්ට ඒක කරදරයක් වුණත්, ඒ තුළින් වෙනම ආස්වාදයක් දැනෙන්න පුළුවන්. වැස්සට පාරක ටවුමක කාර්යාලයක හිටියත් වැස්ස නිසා ඇතිවන අමුතු හැඟීම්වලින් මිදෙන්න අපිට බැහැ. ඒත් ඒ වගේ තැන්වලදී ඒ හැඟීම් එක්ක ඇලෙන්න අපි සූදානම් නෑ. එහෙම සූදානම් වුණොත් වැස්සත් එක්ක එකතුවෙලා ඕනෑම තැනක ඉඳන් වැස්ස විඳින්න පුළුවන්.

ඒ වගේ දේවල්වලට අමතරව ගෙදර කට්ටිය එකතුවෙලා වැස්සට කෑමක් හදන එකත් වෙනම ආතල් වැඩක්. මේකත් පොඩි Trend එකක්. ලෝකෙ වටේ ගොඩක් අය මේ වැඩේ කරනවා. ලංකාවෙත් මේ වැඩේ කරන්න ආසා අය අපි දැකලා තියෙනවා. වැස්සට කෑමක් හදාගෙන, ඒ කෑම කාලා ඒක රසවිඳින එක ඇත්තටම වෙනම කලාවක්. වැස්ස දවසට හදන කෝපි කෝප්පය වුණත් තමන්ම හදාගන්නවා නම් ඒකෙ වෙනම ගතියක් තියෙනවා.

අනෙක් අතට වැස්ස කියලා කියන්නේ හොඳ කයිවාරුවක් ගහන්න අපූරු වෙලාවක්. හදවතට ඉතාම ළබැඳි අය එක්ක සමීපව කතාබහ කරන්න වැස්ස වෙලාව ලොකු උත්තේජනයක් සපයනවා. සමහර ප්‍රශ්න විසඳගන්නත් වැස්ස භාවිත කරන්න බැරිකමක් නැහැ. ඇත්තටම ඒ වැඩේ කරන්න නම් ඔයා වැස්ස එක්ක තදින් ආත්මීයව බැඳිච්ච කෙනෙක් වෙන්න ඕනෑ. හැබැයි කෙනෙක්‍ වැස්සත් එක්ක හිතල හිතලා හිත ලෙඩ වෙන්නත් බැරිකමක් නෑ.
සමහරු නම් මෙහෙම කියනවට කැමති නැති නැති වෙයි. වැස්ස කියලා කියන්නේ වෙලාවකට මත්වන සුළු දෙයක්. ඒ නිසාම සමහරු වැස්සෙ මත්වෙන්න උත්සාහ කරනවා. ඒකත් වැස්ස එක්ක බැඳුණු වෙනත් සංස්කෘතික සෞන්දර්යාත්මක කෑල්ලක් විදිහට දකින්න පුළුවන් නම් තමා වටින්නේ. කොහොම වුණත් මේකත් Trend එකක් වෙලා තියෙනවා දැන් දැන්.

අනෙක් අතට වැස්සට කට්ටිය කරන ලොකුම වැඩේ තමා නිදාගන්න එක. ඒක නම් ඉතින් නොකරපු අය නැති තරම්. ඇත්තටම ඒක Trend එකකට එහා ගියපු පුරුද්දක්. කොහොම වුණත් වැස්සට චුට්ටක් නිදාගත්තට කමක් නෑ. හැබැයි මුළු වැස්සටම නිදාගත්තොත් ඔයා මගහරින්නෙ ජීවිතයේ සුන්දරම අවස්ථාවක් වෙන්න පුළුවන්. වැස්ස කියලා කියන්නේ මිනිස්සුන්ට තමන්ගේ ජීවිතවල සෞන්දර්ය විඳින්න සොබාදහමෙන් ලබාදුන් තෑග්ගක්. ඒ නිසාම වැස්සෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

• චමිඳු නිසල්