2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා

හරියට ලියන්න - වෙලාවට ගෙවන්න

 2024 ඔක්තෝබර් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 38

ශ්‍රී ලංකාවේ තිර රචනා කලාවේ අනාගතය පිළිබඳ විටෙක පහන් හැඟු‍ම් මෙන්ම තවත් විටෙක යම් සංතාපයක් ද දැනෙමින් තිබේ. සිනමාව සහ රූපවාහිනිය පෙරටු කොටගත් මෙම සුවිශේෂී කලා මාධ්‍යයේ වර්තමානය සහ අනාගතය පිළිබඳ සංවාදයක් ගොඩනැගීමට අප අදහස් කළේ එබැවිනි. ලේඛකයකු සහ තිර පිටපත් රචකයකු ලෙස නැගී එන තරුණයෙකු එම සංවාදය සඳහා අපි සම්බන්ධ කර ගතිමු. රූපණ කලාව පිළිබඳ ශාස්ත්‍රීය හැදෑරීමක් සහිත විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යයන ආයතන කිහිපයකම බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඔහු නමින් ප්‍රියනාත් විදානපතිරණය.

බයෝ, සකූගේ කතාව, සී.යූ, ඉත්තෝ, අනන්තා, නාඩි, සූරිය නෑයෝ වැනි මෑත කාලීනව ජනාදරයට ලක්වූ වෙනස් හැඩතල සහිත ටෙලි නිර්මාණ රැසකට තිර පිටපත් රචනයෙන් දායකත්වය සපයා ඇති ප්‍රියනාත් විදානපතිරණගේ සිනමා නිර්මාණ කිහිපයක් ද තිරගත වීමට නියමිතය. ඒ අනුව මෙම සංවාදයේදී ශාස්ත්‍රීය දැනුමැති තරුණ තිර පිටපත් රචකයකු සිය කර්මාන්තය පිළිබඳ පළ කරන අදහස නිරූපිතය.

මේ මොහොතේ ලංකාවේ තිර පිටපත් රචනා කලාවේ හැඩය ගැන ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක්ද?

ලංකාවේ තිර රචනා කලාව, මේ වෙද්දි යම්කිසි හොඳ පැත්තකට ගමන් කරමින් තිබෙන ආකාරය පෙනෙන්න තියෙනවා. ගුණාත්මකභාවය සම්බන්ධයෙන් යම්කිසි විවේචනාත්මක අදහස් තිබුණත්, වෘත්තියක් විදිහට, තිර රචකයා යන වෘත්තියට යම්කිසි ආකාරයකට නිසි තැන ලැබෙමින් තිබෙනවා. ඒක තවමත් සියයට සියයක් සිදුවී නැතිවුණත්, මේ ගමන් මඟ සුබදායී කියලයි මගේ හැඟීම. ටෙලිනාට්‍ය චිත්‍රපට තිර රචකයා, මේ වෙද්දි ඉතිහාසයට සාපේක්ෂව, යම්කිසි බලවත් භූමිකාවක් අත්පත් කර ගනිමින් සිටිනවා.

තිර රචනා වෘත්තියේ වෘත්තියභාවය ඇති කිරීම සඳහා, ශ්‍රී ලංකා තිර රචකයන්ගේ සංසදය විසිනුත් යම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මම හිතන්නේ ඒක හොඳ දෙයක්.

අතීතයට සාපේක්ෂව වර්තමානයේ දකින්න ලැබෙන ධනාත්මක සහ ඍණාත්මක ලක්ෂණ ගැන කතා කළොත්?

අතීතයට සාපේක්ෂව ඉහත කාරණාව ධනාත්මක වුණත්, බිහිවෙන නිර්මාණවල ගුණාත්මකභාවය අතින් යම්කිසි පසුබෑමක් තියෙන බව පෙනෙන්න තියෙනවා. නමුත්, එය හුදෙක් තිර රචකයාගේ පමණක් වරදක් බව මා සිතන්නේ නැහැ. ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් සලකා බැලු‍වොත්, ලංකාව තුළ එය හැඩගැහිලා තියෙන යම්කිසි ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය ඇතුළේ, ගුණාත්මක යමක් කරන්නට වුවමනා වුණත්, තිර රචකයාට, සමහරවිට අධ්‍යක්ෂවරයාට පවා, එසේ කරන්න අපහසු තත්ත්වයන් නැතුවා නොවේ.

ලෝකයේ මේ කලාවට තියෙන්නෙ මොන වගේ තැනක්ද?

ලෝකයේ තිර රචකයාට හිමි තැන ගැන කතා කළොත්, එය ලංකාවට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. නාමාවලියේ තිර රචකයාගේ නම දෙවැනි හෝ තෙවැනි ප්‍රමුඛතාවයට අනුව ස්ථානගත කිරීමේ සිට, පූර්ව ප්‍රචාරක පට, පෝස්ටර්, ගෙවීම්, ඇතුළු බොහෝ කාරණා සම්බන්ධයෙන් තිර රචකයාට ඉහළ වටිනාකමක් ලෝකය තුළ ලැබෙනවා. නමුත් මේ වටිනාකම ඔවුන්ට ඉබේ ලැබුණු දේවල් නෙවෙයි. මෙකී අයිතින් වෙනුවෙන්, ඔවුන්ගෙන් ඉටුවන සේවාව වෙනුවෙන්, නියමිත වටිනාකම සහ ගෙවීම සම්බන්ධයෙන් ඔවුන් නිරන්තරයෙන්ම සටන් කර තිබෙනවා.

පසුගිය කාලයේ පැවති හොලිවුඩ් තිර රචකයන්ගේ වැඩවර්ජනය එයට හොඳ උදාහරණයක්. ලංකාවේ තිර රචනා වෘත්තිය ඉහළ තලයකට ඔසවා තැබීම සඳහාත්, තිර රචකයන්ගේ අයිතින් දිනා ගැනීම සඳහාත් සාමූහික එකතු වීමක් අත්‍යවශ්‍යමයි.

ශ්‍රී ලාංකික තිර පිටපත් රචකයෙක් විදිහට ඔබ තෘප්තිමත්ද?

අවංකවම සඳහන් කළොත් 100% ක් තෘප්තිමත් කියන්න බැහැ. සමහර අවස්ථාවලදී අපට වැඩ කරන්න සිදුවන පසුබිම්, කොන්දේසි සහ වියදම් සීමාවන් මෙන්ම අනෙකුත් බොහෝ කාරණා නිසා තිර රචකයාට තමන්ගේ නිර්මාණාත්මක වපසරිය පටු කර ගැනීමට සිදුවන අවස්ථා බොහොමයි. නමුත් වර්තමානය වන විට, විකල්ප මාධ්‍යයන්ගේ වර්ධනයත්, ජාත්‍යන්තර නිර්මාණ නැරඹීම නිසා ප්‍රේක්ෂකයන්ගේ ඇතිවී තිබෙන විචාරාත්මක බලපෑමත් අපේ ක්ෂේත්‍රයට මහත් වාසියක් වෙයි කියා මා සිතනවා.

ලෝකයේ නිර්මාණය වන ඉහළ ගණයේ නිර්මාණ රසවිඳින ප්‍රේක්ෂකයා, ලංකාවේ නිර්මාණකරුවන්ගෙනුත් එවැනි නිර්මාණ බලාපොරොත්තු වන බවක් පෙනෙන්න තිබෙනවා. එය ඉතා යහපත් තත්ත්වයක්. මේ නිසාම, නිෂ්පාදකවරුන්ට මෙන්ම ටෙලිවිෂන් නාලිකාවලටත්, තම ප්‍රේක්ෂකයාව රඳවා තබා ගැනීම සඳහා ඉදිරියේදී මෙතෙක් නොගත් අන්දමේ, විප්ලවීය නිර්මාණාත්මක තීරණවලට එළඹෙන්න සිදු වේවි. එය ඉතා යහපත් තත්ත්වයක්.

සාධනීය වෙනසක් වෙනුවෙන් මොනවද අපිට කරන්න තියෙන්නෙ?

සාධනීය වෙනසක් සඳහා තිර රචකයාගේ පැත්තෙන් වගේම නිෂ්පාදකවරුන් සහ නිෂ්පාදන ආයතන හෝ ටෙලිවිෂන් නාලිකා පැත්තෙන් සිදුවිය යුතු දේවල් තිබෙනවා. නියමිත වෙලාවට ගෙවීම් සිදුවිය යුතු අතර තිර රචකයාට හිමි වෘත්තිය ගරුත්වය ලබාදීමට අනිත් පාර්ශ්ව කටයුතු කළ යුතුයි. නමුත් මෙහි අනික් පැත්ත වන්නේ, එකී වෘත්තිය ගරුත්වය සහ අනෙක් කාරණා දිනා ගැනීම සඳහා තිර රචකයා කොතරම් දුරට තමන්ගේ රාජකාරිය ඉටු කරනවා ද යන්නයි.

• චමිඳු නිසල් ද සිල්ව