“මන්දාරා” සිනමා පටය සාර්ථකව දින හැත්තෑ පහකට වැඩි කාලයක් ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. අධ්‍යක්ෂවරයා හැටියට මේ සාර්ථකත්වය ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් ඇත්තටම හරිම සන්තෝසයි. මීට පෙර මම නිර්මාණය කළ “ආදරණීය කතාවක්”,”දේදුණු ආකාසේ”, සිනමා පට දෙකම දින සියය පසු කරමින් ප්‍රදර්ශනය වුණා. ඉතින් මගේ තුන්වැනි චිත්‍රපටය වන “මන්දාරා” චිත්‍රපටයත් දින සියය පසු කරයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ප්‍රේක්ෂකයන්ගේ හදවතට සමීප වන නිර්මාණයක් කරන්න ලැබුණා කියන ආඩම්බරය සහ නිහතමානී සතුට මගේ හිතේ තියෙනවා.
“මන්දාරා” චිත්‍රපටය නිර්මාණය වුණේ කොයි කාලයේද?
මේ චිත්‍රපටය රූගත කිරීම් 2019 වසරේදී වගේ ආරම්භ කළා. නමුත් ඒ අතරේ ඇතිවුණු කොවිඩ් වසංගතය, රටේ පැවති අර්බුද ඇතුළු විවිධ හේතූන් නිසා චිත්‍රපටය ටිකක් ප්‍රමාද වුණා. එහෙම නොවුණා නම් “දේදුණු ආකාසේ” චිත්‍රපටයට අවුරුදු දෙකකට පසුව “මන්දාරා” ප්‍රදර්ශනය කරන්න තමයි බලාපොරොත්තු වුණේ.
සිනමා නිර්මාණයක් අවසානයේ එය තිරගත කිරීමට වර්තමානයේදී විවිධ අර්බුදකාරී ගැටලුවලට මුහුණ පාන්න සිදු වෙනවා. මේක හරිම අපරාධයක්. අධ්‍යක්ෂවරයෙක් විදිහට මේ පවතින තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?
චිත්‍රපටයක් කළාට පසු එය ප්‍රදර්ශනය කරගන්න අවස්ථාව තියෙනවා. නමුත් ප්‍රදර්ශනය කරන්න ලැබුණට ඒ සඳහා කිසිම ක්‍රමවේදයක් ලංකාව ඇතුළෙ නැතිකම නිසා අපිට සහ සිනමා ශාලාවලට ලැබිය යුතු විශාල ලාභ ප්‍රමාණයක් අහිමිවෙලා යනවා. මැද පෙළේ චිත්‍රපටයක් ගත්තත් ඒ චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට පාඩු නොලබා ජාම බේරා ගැනීමේ අවස්ථාව මේ තියෙන අවිධිමත් ක්‍රමවේදය නිසා අහිමිවෙලා යනවා. ඉස්සර අපි චිත්‍රපටයක් තෝරාගත් ප්‍රදර්ශන මණ්ඩලයට පෙන්වද්දී හැම සිනමා ශාලාවකටම ප්‍රදර්ශන වාර තුනම ඒ චිත්‍රපටය වෙනුවෙන් ඉඩ ලබා දෙනවා. ඒ දර්ශන වාර තුන අද වෙද්දී එක සිනමා පටයක් වෙනුවෙන් හෝ කිසිම සිනමා ශාලාවක් ලබා දෙන්නේ නැහැ. සිනමා ශාලා ගත්තොත් ඔවුන් තමන්ගේ සිනමා ශාලාව නඩත්තු කරගෙන යන්න විශාල උත්සාහයක් ගන්නවා. හැබැයි අපි මේ තුන්ගොල්ලන් තුන් තැනක ඉඳගෙන තමයි මේ උත්සාහය ගන්නෙ. ප්‍රදර්ශන මණ්ඩලය, සිනමා ශාලා, සිනමා නිෂ්පාදකයන් වෙන වෙනමයි වැඩ කරන්නේ. ඇත්තම කිව්වොත් නිෂ්පාදකයන්ට ඊට වැඩිය දෙයක් නම් කරන්න බැහැ. ඔවුන් හොඳ නිර්මාණයක් කළාට පස්සේ ප්‍රදර්ශනය කිරීමේ වගකීම ඒ ප්‍රදර්ශන මණ්ඩලයටයි තියෙන්නේ. නොමිලේ ලැබෙන වෙළෙඳ භාණ්ඩය ඒ විදිහට ප්‍රදර්ශනය කිරීම සිනමා ශාලාවල වගකීමයි. එයින් ඔවුන් ද ලාභයක් ලබා ගනිමින් නිෂ්පාදකයන්ටත් ලාභයක් ලබා දීම කළ යුතු වෙනවා. එහෙම ක්‍රමවේදයක් දැනට නැහැ. ඒ නිසා දේශීය චිත්‍රපටයට ලැබිය යුතු දර්ශන කාලය අඩුවෙලා තියෙනවා.
ප්‍රියන්ත... “මන්දාරා” ගොඩනැගුණේ කොහොමද?
“මන්දාරා” ගොඩනැගීම ඇරඹුණේ මීට අවුරුදු කිහිපයකට කලින්. ”ආදරණීය කතාවක්” සහ ”දේදුණු ආකාසේ” කළාට පස්සේ තමයි මගේ හිතේ “මන්දාරා” වස්තු බීජ ගොඩනැගුණේ. මුලින්ම ප්‍රතිවීර චරිතය තමයි මගේ හිතේ ඇඳුණේ. ඒ කාලයේදීම බිමල්ට වගේම මාත් එක්ක තිර රචනා කළ වජිර කස්තුරිට මේ ගැන කිව්වා. මේ සඳහා සත්‍ය සිදුවීමක් මූලිකවම පාදක වුණා. කලුබෝවිල රෝහලේ නැතිවෙච්චි බබා ගැන කතාන්දරයක් පත්තරයක දැකලා එතැන් සිට මම මේ කතාව ගොඩනැගුවා. ඒකට අපි විශේෂයෙන් තිර රචනය ශෛලය පාවිච්චි කරලා මේ සිනමාත්මක නිර්මාණය ගොඩනැගුවා.
“මන්දාරා” චිත්‍රපටයේ නිෂ්පාදක මහේන් පෙරේරා ඔබට මුණගැහුණේ කොහොමද?
මහේන් පෙරේරා කියන්නෙ විශිෂ්ට නිෂ්පාදකවරයෙක්. මහේන් පෙරේරා මහතා “දේදුණු ආකාසේ” ප්‍රදර්ශනය කරන කාලේදී ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කළා. “දේදුණු ආකාසේ” චිත්‍රපටය ස්වර්ණවාහිනිය විසින් නිෂ්පාදනය කළ සිනමා පටයක්. මහේන් මහතා සමඟ තමයි ඒ චිත්‍රපටය සම්බන්ධව කතාබහ කරන්න මට අවස්ථාව ලැබුණේ. එතැනදී ඔහු එක්ක ගොඩනැගුණු මිත්‍රත්වය අද දක්වා පවතිනවා. මගේ ඊළඟ චිත්‍රපටයත් නිෂ්පාදනය කරන්නේ ඔහුයි. ඒ කාලයේදී ස්වර්ණවාහිනියට ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරලා දෙන්න මගෙන් ඉල්ලීමක් කළාම ඔහුගේ ඉල්ලීම ඉවත දමන්න තිබුණු අකමැත්ත නිසාම මම “සකූගේ කතාව” ගොඩනැගුවා. ඒක අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණා. ඒකෙන් අපේ මිත්‍රත්වය තහවුරු වුණා. ඔහු ස්වර්ණවාහිනයෙන් සමුගත්තාට පසුව “ප්‍රියන්තගේ අලුත් චිත්‍රපටය මම නිෂ්පාදනය කරන්නම්” කියලා තමයි “මන්දාරා” චිත්‍රපටයට නිෂ්පාදක විදියට ඔහු සම්බන්ධ වුණේ.
“සකූගෙ කතාව” ටෙලිනාට්‍යයේ සකූ “මන්දාරා” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වෙනවා. ඒක ප්‍රබල චරිතයක්. සහේලි ගැන ප්‍රියන්තට තිබුණු විශ්වාසය කොහොමද?
සහේලිට අවුරුදු තුනේ පමණ සිට මම ඇයත් සමඟ වෙළෙඳ දැන්වීම් කළා. පසුව ඇයව “දේදුණු ආකාසේ” චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තා. සකූගේ කතාවටත් එකතු වුණා. ඔය කාලය ඇතුළත සහේලි මාව තේරුම් අරගෙන හිටියේ. ඒ විදිහට සහේලිව අඬවන්න ඕනෑ නම් මම මොනවද කියන්න ඕනෑ කියලා මම දැනගෙන හිටියා. ඒ වගේ හුරුපුරුදු බවක් අපි අතර තිබුණා. ඒක ලොකු විශ්වාසයක් වුණා. ඇය කුඩා දැරියක් විදියට නෙවෙයි, විශේෂ රංගන ශිල්පිනියක් විදියට මට හඳුන්වන්න පුළුවන්.
“මන්දාරා” චිත්‍රපටයේ එක් දර්ශනයකදී සහේලි දුම්රිය හා දිව යන දර්ශනයක් තියෙනවා. ඒ දර්ශනය රූගත කිරීම් කළේ කොහොමද?
ඒක රූගත කිරීම් කරන්න කලින්ම අපිට ඒ වෙනුවෙන් ලොකු සූදානමක් තිබුණා. ඒක සංවේදී දර්ශනයක් වගේම ත්‍රාසජනක අත්දැකීමක්. ඔය දුම්රිය රියැදුරු මහතා වන සුසිල් අයියා අවුරුදු විසි පහක් තිස්සේ අත්දැකීම් ඇති කෙනෙක්. එතුමයි මායි මේ ගැන බොහෝ දේ කතාබහ කළා. ඔය කෝච්චිය දවස් හතරක් ඇල්ලට ගෙනිහින් රූගත කිරීම් කළා. මුලින්ම මම සහේලිට දුවලා පෙන්නුවා. ඒ වගේම එයින් ඒ පුංචි හිතේ බය නැති කරලා විශ්වාසයක් ඇති කළා. ඊට පස්සේ මම සහේලි එක්ක එක පාරක් දිව්වා. පසුව ඇය තනියම පෙරහුරුවක් කරලා අවසානයේදී ඒ දර්ශනය රූගත කිරීම් කළා. රූගත කිරීම් කරද්දි අපිට පොඩි තිගැස්මක් තිබුණට මට සුසිල් අයියා කෙරෙහි ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වගේම අපි ආරක්ෂක කටයුතු සූදානම් කරලයි තිබුණේ. ඉතාමත් අපහසු රූගත කිරීමක් වුණත් ඒක ඉතා සාර්ථක වුණා.
මේ දිනවල සිනමා ශාලාවලට ප්‍රියන්ත, සහේලි ඇතුළු පිරිස යනවා. ඒ ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
මම ගිහින් ඈතට වෙලා බලාගෙන ඉන්නවා. ඒ අය මුලින්ම බිමල්ට “අපි ඔයාට කැමති නෑ... ඔයා නපුරු කෙනෙක්” කියලා බැණගෙන එනවා. හැබැයි ඒ අයම ඊට පස්සේ, “ඒ භාරතනේ... මේ ඔයානේ... අපි ඔයාට හරි ආදරෙයි” කියලා කියනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඇත්තටම සතුටුයි.
“සූර්ය සුළඟ” අවසානයිද?
ඔව්... “සූර්ය සුළඟ” මේ දවස්වල මම ඉවර කරමින් ඉන්නවා. ඒක ලබන වසරේදී තිරගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මේඝ සූරියආරච්චි සහ නවක නිළියක් රඟපානවා. ඊට අමතරව අපේ විශිෂ්ට, ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගණනාවක් සහභාගී වෙනවා. මම කළ චිත්‍රපට තුනටම වඩා සම්පූර්ණ වෙනස් චිත්‍රපටයක් විදිහට “සූර්ය සුළඟ” හඳුන්වන්න පුළුවන්.
• දිශානි ජයමාල