ඔන්න ඉන්නවා ලෝකයම පාසලක් කියලා හිතාගෙන තමන්ගේ පුංචි දුවට ලෝකය පුරා විවිධ සංස්කෘතීන්ගේ, විවිධ මිනිස්සුන්ගේ අත්දැකීම් සොයා දෙන්න සංචාරය කරන අපූරු පවුලක්. මේ පවුලට අහම්බයෙන් මුණගැහෙනවා ශ්‍රී ලාංකිකයෙක්ව. ඉතින් මේ මිත්‍රත්වය ඔහු සමඟ ලංකාවේ සිදු කරන සංචාරයක් දක්වා වර්ධනය වෙනවා. ඇත්තටම මේක හරිම ආදරණීය සුන්දර කතාවක්.
චමින්ද කියන්නේ කටාර්වල හෝටලයක සූපවේදියෙක්. මේ පවුලට ඔහුව මුණගැහෙන්නෙ එහිදී. චමින්ද සහ මේ පවුල අතර සංවාදයේදී ලංකාව ගැන මොන මොනවා හරි කියැවෙනවා. අන්තිමට මේ පවුලේ අය තීරණය කරනවා ලංකාවට යන්න.
ලංකාවට මෙයාලා එද්දි චමින්දත් කටාර්වල ඉඳන් ලංකාවට එන්නේ මේගොල්ලන්ට මගපෙන්වන්න බලාගෙන. මේ පවුලේ ඉන්නවා චූටි දෝණි කෙනෙක්. එයා හරිම ආදරණීය, අලුත් අත්දැකීම් හොයන, ලස්සනට කතා කරන, කුතුහලයෙන් පිරුණු කෙනෙක්. තාත්තා තමා Vlog එක කරන්නෙ.
මෙයාලා පළවෙනි දවසේ නතර වෙන්නේ හෝටලයක. එහා පැත්තේ අලි නානවා. පූල් එක තියෙන්නේ මෙහා පැත්තේ. දුව පූල් එකේ හිටපු කට්ටියත් එක්ක අලි නාන දිහා බලාගෙන ඉන්නවා.
අම්මයි තාත්තයි මේ දේ බලාගෙන ඉඳලා මෙහෙම කතා වුණා.
“ශාන්ටි අර බලන්න එයා ඉන්න හැටි. එයා මිනිස්සුන්ට බය නෑ. ඇත්තටම හරිම කූල් පුදුම සහගත ජීවන කුසලතාවයක් එයාට තියෙන්නේ”
කොහොම හරි මෙයාලත් එක්ක ගමනට චමින්ද ත්‍රීවිල් එකකුත් අරගෙන ඇවිල්ලා තිබුණා. පහුවදා මේගොල්ලෝ ගියේ අලි සෆාරියක්. දෝනි ගොඩක් බලාපොරොත්තු ඇතිව තමයි හිටියේ.
කොහොම හරි මේ සෆාරියේ මුලින්ම මෙයාලා අලියකුට කන්න දුන්නා. ඊට පස්සේ තමයි අලින්ගේ පිටේ ගමන පිටත් වුණේ. හැබැයි මේ ගමන අතරතුර තාත්තට ලොකු වේදනාවක් දැනිලා තිබුණා.
“අපි මුලින් දැනගෙන හිටියේ නෑ. අපි පරක්කු වැඩියි. ඇත්තටම මේක කරුණාවන්ත දෙයක් නෙවෙයි. මම මේක නිර්දේශ කරන්නෙ නෑ කාටවත්”
හරිම සුන්දර හදවත් තියෙන මෙයාලා අලින්ගේ පිටේ නැගලා යන්න සිද්ධ වුණත්, ඒ ගමන ගැන හිටියේ කම්පාවකින්. මේ විදියට අලින්ව පාවිච්චි කරන එක පිළිබඳ ඇත්තටම මෙයාලා ගොඩක් දුක් වුණා.
ඊළඟට මේගොල්ලෝ පිටත් වුණේ චමින්දගෙ අම්මලගෙ ගෙදර.
“අපි ‘එක්සයිට්’ වෙලා තියෙන්නේ. කන්දක් උඩ තියෙන චමින්දලගේ අම්මලාගේ ගෙදර යන්නේ. ඇත්තටම මේක දේශීය අය වැඩිපුර ඉන්න ප්‍රදේශයක්. මේක දේශීය අත්දැකීමක්”
අතරමඟදී පොඩි වැස්සකුත් ආවා. කොහොම හරි මේගොල්ලෝ ගිහිල්ලා බැස්සා.
අපි කිසිම විදිහකින් හිතපු නැති හරිම සුන්දර තැනක තමයි චමින්දගෙ අම්මලාගේ ගෙදර තිබුණේ. කන්දක් දෙකක් උඩට නගින්න තිබුණා.
කෝපි ගස්, තේ වතු මැදින් මේගොල්ලෝ ලොකු ගමනක් ගියා. වැස්සත් එක්ක මඟ දෙපැත්ත කොළ පාටට හරිම ලස්සනයි. ඇත්තටම ඒ ගෙදර පිහිටලා තිබුණේ මෙච්චර කාලෙකට දැක්ක ලස්සනම තැනක. ගල්පඩිවලින් නැගලා උඩහට ගිහිල්ලා දියකඩිති පහු කරලා තමයි ඒ ගෙදරට එන්න වුණේ. මේ ආදරණීය පවුල පුදුම විදිහට සතුටු වුණා.
මේ ගෙදර අයත් ඒගොල්ලන්ව හරිම ආදරයෙන් පිළිගත්තා.
“මේක චිත්‍රපටයක් වගේ. ඒත් ඇත්තක්”
මේගොල්ලෝ කතා වුණා. අවට පරිසරය දැක්කම ඇත්තටම මෙයාලට පිස්සු හැදුණා. මෙයාලව පිළිගන්න පුංචි කෑම මේසයක් හදලා තිබුණා, චමින්දගේ අම්මා.
එතැන තිබුණේ ආස්මීයි, තවත් රස කැවිලි ටිකකුයි. ශාන්ටි ආස්මී කන්න ගොඩාක් කැමති වුණා. ඒක හරිම රසවත් අත්දැකීමක් බව හැමෝටම තේරිලා තිබුණේ. එළියට ඇවිල්ලා නැවතත් වටපිටාව බලපු තාත්තා, නිවසේ පිහිටීම අවට තියෙන ගල්තලාවන්, පුංචි පුංචි දියඇළි වගේ තැන් ගැන පුදුම වර්ණනාවක් කළා.
ලංකාවේ අපිටත් පුදුම හිතෙන විදිහෙ තැනක පිහිටලා තිබුණු මේ නිවස, මෙරැටියන් විදිහට මේ අයටත් එකතු කළේ මහ පුදුමාකාර හැඟීමක්. කොහොම වුණත් එයාලා අපේ මිනිස්සු ගැන, අපේ පරිසරය කියන දේවල් එක්ක අපිටත් ආඩම්බරයක් දැනුණා.
මේ ගෙදර හිටියා පුංචි දරුවෙක්. ගෙදර අයයි මේගොල්ලොයි ඔක්කොම එකතුවෙලා එයාව නැලෙව්වා. චූටි දෝනි එයාට හාදුවකුත් එකකුත් දුන්නා.
ඊට පස්සේ මෙයාලා වෙනුවෙන් රසවත් කෑම වේලක් ගෙදර අය හදලා තිබුණා. මේ රසවත් කෑම වේල මේගොල්ලෝ රස බැලුවා. අල කිරි හොද්ද ගැන විශේෂයෙන්ම කතා කළා.
කාලා ඉවර වුණාම දෝනිට තවත් ආස්මී එකක් කන්න හිතුණා. එයා ඉතින් කාටවත් බය නෑ. එයා ගිහිල්ලා ඒක ඉල්ලා ගත්තා. ඊට පස්සේ ගත වුණේ පවුලේ අයත් එක්ක කතාබහ කරමින්, දරුවන් සුරතල් කරමින් මේගොල්ලෝ ගත කරපු සුන්දර කාලය.
ලස්සන කාලයක් ගත කරලා මේගොල්ලෝ ඊට පස්සේ මේ පවුලට සමු දීලා එන්න සූදානම් වුණා. මේ සමුදීම ඇතුළෙත් හරිම අපූරු සුන්දරත්වයක්, ආදරණීය බවක් තිබුණු බව අපි දැක්කා.
“ඔයාලා දන්නවා චමින්ද ආවේ අපිට එයාගේ රට පෙන්නන්න කියලා. නමුත් ගතවුණු පැය 24 ඇතුළේ අපිට දැනුණේ අපි ඔක්කොම පවුලක් කියලා”
මේ පවුලෙන් සමුගන්න අවස්ථාවේදී අම්මා කිව්වේ ඒ විදියට.
ඇත්තටම සුන්දර රටක සුන්දර මිනිස්සු විදියට අපිට මොනවද කරන්න බැරි කියලා මේ වීඩියෝව අවසානෙදි අපිටත් හිතුණා. මේ වගේ ආදරණීය අව්‍යාජ මිනිස්සු ලෝකය ඉදිරියේ අපේ රට ඉහළටම ඔසවලා තියෙනවා. ඒ වගේම ලෝකයේ තැන් සොයා මේ විදියට අපූරු සංචාරයක නිරත වෙන මේ අයත් අපේ හිත් ආදරෙන් පුරවනවා.
තවත් සතියක මේ පවුලේ සංචාරය ගැන කතාවක් අරගෙන එන්නම්.
• චමිඳු නිසල් ද සිල්වා