දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ බෆලෝ ට්‍රැවල්ස් සිනමා පටයට බන්දුට සම්බන්ධ වෙන්න හිතුණෙ ඇයි? ඒ
පිටපත නිසාද? අධ්යක්ෂවරයා නිසාද?
නැහැ... මම මේකේ පිටපත දැක්කේ නැහැ. මම මේ නිර්මාණයට සම්බන්ධ වුණේ විශ්වාසය නිසයි.
නිර්මාණයට දායක වුණාට පසුව ලබපු අත්දැකීම් කොහොමද?
තාම අත්දැකීම් ලබලා නැහැ. අත්දැකීම් ලබාගන්න නම් රසිකයන් අතරට මේ චිත්‍රපටය යන්න ඕනෑ. දැන් මේක රසිකයන් වෙත යමින් තියෙන්නෙ. සිනමා හලෙන් සිනමා හලටයි රසිකයන් වෙත යන්නෙ. අද සිංහල චිත්‍රපට නරඹන්න සිනමාහල් වෙතට රසිකයන් එන්නෙ මේක දැනගත්තොත් විතරයි. ඒක නිෂ්පාදක මණ්ඩලය සහ සිනමා හල බලාගත යුතු වෙනවා.
සිනමා හල කරන්නෙ ව්‍යාපාරයක්. ලයිට් බෝඩ් එකෙන් දේශීය සිනමා කර්මාන්තයට ලයිට් බිල ගෙවන්න උදව් කරන්නෙ නැහැ. ඒ නිසා ලයිට් බෝඩ් එකේ මිල ඒ අයට ගැටලුවක්. ඊට අමතරව පෙන්නද්දී විනෝද බද්ද ප්‍රශ්නයක්. ඒ වගේ දේවල් ගැන ඔවුන් සිතනවා. ඒ අයට මේ කතන්දරේ හොඳද නැද්ද කියලා අදාළ නැහැ. සෙනඟ ආවොත් ටිකට් දෙනවා. නැත්නම් ටිකට් ටික හෝල් එකේ වේලෙනවා. එහෙම සිංහල සිනමාවක් තමයි දැන් පවතින්නෙ.
නමුත් ඒ කාලේ එහෙම වතාවරණයක් තිබුණෙ නැහැ. එහෙම නේද?
නැහැනේ... මම චිත්‍රපටයක මුලින්ම රඟපාද්දී තිබුණු සිංහල සිනමාව දැන් නැහැ. මම මුලින් චිත්‍රපටයක රඟපාද්දී සිනමාවේ ඉන්න සෙනඟ අද නැහැ. එහෙම හිටපු මිනිස්සුත් අද නැහැ. එහෙම සිතුවිලි එක්ක පාසල් ගිය ළමයිනුත් අද නැහැ. නමුත් මම මේ යුගයෙත් තාමත් රඟපානවා.
ඔබ බොහෝ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට සම්බන්ධ වුණු කලාකරුවෙක්. දමිත් ෆොන්සේකා කියන්නෙ මොන විදිහේ අධ්‍යක්ෂවරයෙක්ද?
ඔහුව ඇත්තටම තක්සේරු කරන්න බැහැ. කෙනෙක්ව තක්සේරු කරන්න බැරි වෙනවා කියන්නෙ එතැන හරි වටිනාකමක් ගොඩනැගෙනවා. ඔහුව හඳුනා ගන්න අමාරුයි. තාම ඔහුව හඳුනා ගනිමින් ඉන්නෙ. ඒ විශ්වාසය තමයි තියෙන්නෙ. මේ වෙද්දි අධ්යක්ෂවරුන් තිස් හතක් යටතේ මම චිත්‍රපට කරලා තියෙනවා. බෆලෝ ට්‍රැවල්ස් කියන්නෙ චිත්‍රපට අනූ එකක් කරපු මගේ අනූ දෙවැනි චිත්‍රපටයයි. මේ වෙද්දී මම යුග පහක් පැනපු රංගන ශිල්පියෙක්.
බෆලෝ ට්‍රැවල්ස් චිත්‍රපටයේ බන්දු සමඟ විදෙස් ජාතික නළුවෙක් රඟපානවා. ඔහු මොන වගේ කලා ශිල්පියෙක්ද?
ඔහු කලාකරුවකුට වඩා අව්‍යාජ සුදු මහත්තයෙක්. කෙනෙක් රඟපාන්න කලින් මනුස්සයෙක් වෙන්න ඕනෑ. සැබෑ මනුස්සයෙක් වීම, අවංක වීම, චරිතයකට ඇතුළු වෙන්න පුළුවන්කම තිබීම, ඒක ආරූඪ කරගන්නෙ නැතුව රඟපෑම වගේ දේවල් අවශ්‍ය වෙනවා. ආරූඪ වෙන්නෙ තොයිලයකයි. රඟපාන්නෙ තොයිල් උන්නැහේලා නෙවෙයි. නමුත් ඔහු අව්‍යාජ ඉංග්‍රීසි මිනිසෙක්. අව්‍යාජ විජාතිකයෙක් විදිහටයි මම ඔහුව දකින්නෙ. ඒ අව්යාජකමේ ලොකු උතුම් බවක් තිබුණා. ආතර් කියන ගමේ මනුස්සයා හයර් කාර් එකක් තියාගෙන ගමේ ජීවත් වෙනවා. මම රඟපෑවේ ආතර්ගේ චරිතයයි.
මේ චිත්‍රපටය රූගත කිරීම් කළේ කලකට උඩදී නේද?
මේ නිර්මාණය කරලා දැන් අවුරුදු තුනහමාරක් හතරක් විතර වෙනවා. මේ චිත්‍රපටයේ රඟපාන්න ලෑස්ති වෙද්දි මගේ මීට පෙර කළ චිත්‍රපටය තිරගත වෙලා අවුරුදු තුනක් විතර වුණා. අවුරුදු තුනකට පස්සේ බෆලෝ ට්‍රැවල්ස් රූගත කිරීම් කළේ. ඒ කියන්නෙ අවුරුදු හතක් පමණ රසිකයන්ට මාව සිනමා හලකින් මුණ ගැහුණෙ නැහැ. ඒ අතරේ ඔය අතේ ගෙනියන හතරැස් කෑල්ලේ මාව දකින්න ඇති. හැබැයි ඒවා මම කියලා දාපුවා නෙවෙයි. ඒ නිසා සිනමා හල ඇතුළේ මාව දකින්නෙ අවුරුදු හතකට විතර පසුවයි.
බෆලෝ ට්‍රැවල්ස් රූගත කිරීම් අවසන් කරලත් නැවත කොටස් කිහිපයක් රූගත කිරීම් කළා නේද?
ඔව්... බෆලෝ ට්‍රැවල්ස් රූගත කිරීම් අවසාන කරලා දෙබස් කවලා මූලික සංස්කරණය කළා. දවසක් ඒ මූලික සංස්කරණය කළ කොපියක් අතේ තියාගෙන “අපි දැන් සංස්කරණය කරලා ඉවරයි. බන්දු අංකල් පොඩ්ඩක් මේක බලමුද?” කියලා දමිත් කිව්වා. මම ඔහුගේ ගෙදර ගියා. අපි ප්ලේන්ටියක් බිබී ඔහුගේ ගෙදර ලැප්ටොප් එකෙන් ඒ සංස්කරණය කළ කොපිය බැලුවා. චිත්‍රපටය ඉවර වුණා. මට කතා කරගන්න බැරි වුණා. මම බිම බලා ගත්තා. මට මතක හැටියට වතුර එකකුත් බිව්වා. මගෙන් ඔහු “මොකද?” කියලා ඇහුවෙත් නැහැ. ටික වෙලාවකින් “ආයෙ මේකෙ ෂූටින් තියෙයිද කියලා මට පොඩි බයක් තියෙනවා...” කියලා විතරක් කියලා අපි දෙන්නා හිනා වුණා. ඒ වෙද්දි පසුබිම් සංගීතය මුසු කරලා තිබුණේ නැහැ. එදා බත් කටක් කාලා මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලත් මම ටිකක් නිහඬයි. හැබැයි ඒ නිහඬ බව ගැන මම දමිත්ට කිව්වෙ නැහැ. ඒ නිහඬ බව ඔහු තේරුම් ගත්තා. දමිත් නැවතත් අවශ්‍ය කොටස් කිහිපයක්ම රූගත කිරීම් කරලා නිර්මාණයට එකතු කරලා නැවත සංස්කරණය කළා. ඔය අතරේ වැස්සට අහුවුණා. කොරෝනාවට අහුවුණා. එවැනි හේතූන් නිසා නිර්මාණය ටිකක් කල් ගත වුණා.
දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ බෆලෝ ට්‍රැවල්ස් මේ වෙද්දි බන්දුගේ ආදරණීය රසික රසිකාවියන්ට නැරඹීමට අවස්ථාව තියෙනවා. ඔවුන්ට යමක් කියමු?
මේ චිත්‍රපටය මම පහුගිය දවසක one galle face සිනමා හලේදි නැරඹුවා. ඒ තමයි ඒ සිනමා හලේ වාඩිවෙලා මම මුලින්ම චිත්‍රපටයක් බලපු දවස. අනේ ඇවිදින්න පුළුවන් නම්, දරු පැටවුන්ව නිවාඩු දවසක ගෙනියන්න පුළුවන්කමක් තියෙනවා නම්, මෙතෙක් මම රඟපෑ කතන්දර අතර ඉහළම පෙළේ කතන්දරයක් බලන ගමන් දන්නෙම නැතුව ඉළ ඇට කැඩෙන්න හිනා යන සිනමා පටයක් වන බෆලෝ ට්‍රැවල්ස් දකින්න එන්නැයි මම මේ රටේ මගේ ආදරණීය රසික රසිකාවියන්ට ආරාධනා කරනවා. මේක මිනිසත් බව, අව්‍යාජ බව, තණ්හාව නැතිකම, මිනිසුන්ගේ විශ්වාසය ගොඩනැගෙන අහිංසක ප්‍රතිපත්තින් තියෙන කතන්දරයක්. නළු නිළි කණ්ඩායමම ඉතා දක්ෂ විදියට මෙහි රඟපානවා. ඒ දක්ෂකම නිසාම තමයි ඉළ ඇට කැඩෙන්න හිනා වෙන්න පුළුවන්.
• දිශානි ජයමාල