ලංකාවට ගොඩ බැහැලා කොළඹ නගරයේ මුලින්ම ඇවිදින සංචාරකයන්ට ලංකාව දැනෙන්නෙ කොහොමද? අද අපිට හම්බවෙන මේ යුවල කියලා දෙන්න යන්නෙ ඒ ගැන. මේ දෙන්නා Dave සහ Tracey. මේගොල්ලෝ කැනේඩියන් කපල් එකක්. ලෝකය වටේම සංචාරය කරන අතරේ ලංකාවට ආවා.
“අපි ඊයේ තමා ලංකාවට ආවේ. ලංකාව ගැන හරියට දැක බලාගන්න ලැබුණේ නෑ. අද අපි ඔබට කියන්න යන්නෙ ලංකාව ගැන පළවෙනි දවසේ අපිට දැනෙන දේවල්.”
කොළඹ අවට තියෙන ස්ථාන කිහිපයක්ම සඳහන් කරපු මෙයාලා ඒ තැන්වලට යන්න ඕනෑ කියලා ත්‍රීවිල් එකකට ගොඩ වුණා.
“අපි ආපු ත්‍රීවිල් එක මිනිත්තු පහළොවක විතර ගමනකින් පස්සෙ අපෙන් රුපියල් 500 ක් ගත්තා. මම හිතන්නෙ ඒක සාධාරණ ගාණක්. ඒත් ඔයාලා ත්‍රීවිල් එකකට ගොඩවෙනවනම් ගමනට කලින් ගාණ කතා කරගන්න. ඒක තමයි හොඳම.”
වීල් එකෙන් බැහැපු ගමන්ම මෙයාලා ලබා දුන්නෙ ඒ වගේ උපදෙසක්.
“අපි දැන් ඉන්නෙ කොළඹ ගොඩක්ම වැදගත් විහාරස්ථානයක් ඉදිරිපිට. මේ තමා ගංගාරාම පන්සල. මේක නිර්මාණය වෙලා තියෙන්නෙ 19 වැනි සියවසේදි. ඉන්දීය තායි සහ ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය මේ සඳහා යොදාගෙන තියෙනවා.”
මේ දෙන්නා ඕනෑම දෙයක් විස්තර සහිතව පැහැදිලි කරන්න කැමති දෙන්නෙක්. ඒ නිසාම ගංගාරාමය ගැන සැලකිය යුතු පරිමාවක පැහැදිලි කිරීමක් මෙයාලා ප්‍රේක්ෂකාගාරයට සිද්ධ කළා.
ඊට පස්සේ මේ දෙන්නත් එක්ක ගංගාරාමය ඇතුළට ගිහිල්ලා ගොඩක් දේවල් දැක බලා ගත්තා. එහෙම බලන ගමනුත් මෙයාලා තව තවත් දේවල් ලෝකයට පැහැදිලි කරන්න අමතක කළේ නෑ.
“මෙතැන බොහොම ලස්සනයි සාමකාමීයි. අර ගහ වටේ මිනිස්සු යාච්ඥා කරනවා. ඇත්තටම මේ අත්දැකීම ගොඩක් ලස්සනයි.”
හෙමිහිට මුමුණන ගමන් තමන්ට දැනෙන විදිහට එතැන තිබුණු පරිසරය ගැන මේගොල්ලො මේ විදියට පැහැදිලි කළා. අවසාන වශයෙන් මේගොල්ලො කිව්වේ ලෝකයේ මේ කොටසේ සංචාරය කරනවනම් මේ පන්සල අමතක කරන්න එපා කියලා.
කොහොම හරි ඔන්න මේ දෙන්නගෙ ඊළඟ ගමනාන්තය බවට පත්වුණේ කොටුව දුම්රියපොළ පැත්තේ පිහිටලා තියෙන පාවෙන වෙළෙඳපොළ. අන්තර්ජාලයේ වගේම සංචාරක තොරතුරු සපයන තැන්වලත් මේක බොහොම ආකර්ෂණීය තැනක් විදියට නම් කරලා තියෙන බව අපි දන්නවා. ඒත් ඇත්තම කතාව එතැන දැන් එහෙම නැහැ.
“අපි හිතපු තරම් මෙතැන කාර්යබහුල නෑ. අද සෙනසුරාදා හින්දද? මෙතැන නිකම් මැරිලා වගේ.”
මෙතැනට ආපු ගමන්ම මෙයාලා කිව්වේ මෙහෙම කතාවක්. මේ දෙන්නට එකපාරටම තේරුම් ගන්න බැරි වුණත් මේ දිහා බලාගෙන ඉන්න ලංකාවේ ඕනෑම කෙනකුට සිද්ධ වුණු දේ ඉතාම පැහැදිලියි. දැන් කොළඹ ‘ෆ්ලෝටීන් මාකට්’ එක කියන්නෙ කිසිම විදිහකට හරිහමන් වැඩක් වෙන තැනක් නෙවෙයි. කඩ සාප්පු බහුතරය වහලා දාලා. ඒත් මේක ඇතුළෙ පුංචි වෙලාවකට හරි ඇවිදින්න මෙයාලා තීරණය කළා.
“මෙතැන රෙස්ටුරන්ට් කිහිපයක්ම තිබුණා. ඒත් මෙතැන තමා කට්ටිය හිටියෙ. ඒ නිසා අපි මෙතැන නතර වුණා. ඔයාලත් සංචාරයක් කරද්දි කාර්යබහුලම රෙස්ටුරන්ට් එකේ නතර වෙන්න. ගොඩක් වෙලාවට ඒක හොඳයි.”
මෙහෙම කිව්ව මෙයාලා පාවෙන වෙළෙඳපොළ කෙළවරේ තියෙන රෙස්ටුරන්ට් එක ගාව නතර වෙලා එළිමහනේ මේසයක වාඩි ගත්තා. මෙනූ කාඩ් එක ගෙනාවම චිකන් කොත්තුවකුයි එළවළු කොත්තුවකුයි තමයි මේගොල්ලො ඇණවුම් කළේ.
“කොත්තු කියන්නෙ ශ්‍රී ලංකාවේ ‘නැෂනල් ඩිෂ්’ එකක්. මේවා හදන්නෙ රොටි සහ එළවළු, මස් වගේ දේවල් දාලා.”
කොත්තුව අරගෙන එන්න කලින් පුළුවන් විදියට මේගොල්ලො කොත්තු ගැනත් පැහැදිලි කිරීමක් කළා. ඔන්න ඊට පස්සේ මේ දෙන්නට කොත්තු අරගෙන ආවා. රතු පාටට තිබුණු කොත්තු සැර බව බැලූ බැල්මටම පෙනුණා.
“මට දහඩිය දානවා. නහය තෙත්වෙලා. ඒත් මේක බොහොම රසවත්.”
එහෙම කියන ගමන් තමයි මේ දෙන්නා කොත්තු කෑවේ. ලෝකය වටේ ඇවිදිද්දි ඒ ඒ රටවල්වල ආහාර සංස්කෘතිවලට අදාළ කෑම බීම කන්න වෙන බව මේ දෙන්නම හොඳට තේරුම් අරගෙන තිබුණේ.
මේ දෙන්නගෙ ඊළඟ නැවතුම වුණේ කොළඹ කොටුව. දෙන්නත් හරස් වීදි දිගේ ඇවිදින්න පටන් ගත්තා.
“මෙතැන ඕනෑම දෙයක් තියෙනවා. සපත්තු, සුවඳ විලවුන්, කෑම බීම, නැති දෙයක් නෑ. ඔයාලට මොනවද ඕනෑ?”
“අපිට ඕනෑ වෙන්නෙ සුවනියර්ස්. ඒත් අද තාම පළවෙනි දවස.”
මෙහෙම කියව කියවා ඇවිද්ද මේගොල්ලො කොටුවෙ රතු පල්ලිය ළඟටත් ආවා. ඊට පස්සෙ මේ දෙන්නට වාසනාව ලැබුණා පල්ලිය ඇතුළ බලන්න.
“මේක විශාල පල්ලියක්. තට්ටු හයක් තියෙනවා. හය දහසකට විතර පහසුකම් සපයන්න පුළුවන්. සිකුරාදාට මෙතැනට දහතුන් දාහක් විතර එනවා කියලා තමයි කියන්නෙ”
හරි වැරැද්ද පැහැදිලි නැතත් අපිත් ටිකක් පුදුම වෙන කතාවක් තමයි මෙයාලා පල්ලිය ගැන නම් කිව්වෙ.
පල්ලිය බලලා කොටුව මාකට් එකෙත් පොඩ්ඩක් ඇවිදලා මේ දෙන්නා එළියට ආවා.
“මම දැක්ක හොඳම මාකට් එකක් තමා මේක. අපිට පෞද්ගලික නිදහසක් තියෙනවා. ලෝකයෙ මේ වගේ අනිත් මාකට්වලට ගියාම අපිව අල්ලනවා, භාණ්ඩ ගන්න කියලා කරදර කරනවා. ඒත් මෙතැන එහෙම නෑ. ඒ නිසා මම මේ මාකට් එකට කැමතියි.”
මේ කපල් එකේ හිටපු ගැහැනු ළමයා මෙහෙම කියනකොට පිරිමි කෙනා කිව්වෙ මාකට් එකේ ගත කරපු හැම මොහොතක්ම හරිම අපූරුයි කියලා.
ඊළඟට මේගොල්ලො ගියේ නෙළුම් කුලුන බලන්න. එතැනදිත් මේ දෙන්නා බොහොම විනෝද වුණා. මේ දෙන්නා ගාලුමුවදොර පැත්තටත් ගියා. කොහොම හරි හතර වටේම කරක් ගහපු මේ දෙන්නා අවසානයේ කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“ශ්‍රී ලංකාවේ මිනිස්සු උණුසුම් සහ වැදගත් අය.”
• චමිඳු නිසල් ද සිල්වා