2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා

කඳු පල්ලම් නගින බහින තුන්දෙනෙක්

 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 7

ලංකාවට ඇවිල්ලා තමන්ගේ චූටි දුවත් එක්ක ත්‍රීවිල් එකකින් යන පුංචි පවුලක ලස්සන කතාවක් අපි කලින් දවසකත් අරගෙන අවා. මෙයාලට පිටරටකදී හම්බුණොත් ලංකාවේ යාළුවෙක් එක්ක ලංකාවේ ගෙදරකට ගිහිල්ලා ගත්ත අපූරු අත්දැකීමක් ගැන තමයි එදා කතාව තිබුණේ. අද මේගොල්ලෝ අපිට කියන්නෙ ශ්‍රී ලංකාව තුළ ත්‍රීරෝද රථයකින් සංචාරය කිරීම පිළිබඳව. 

“අපි පුංචි පවුලක් අපි ලෝකෙ වටේ සංචාරය කරනවා. එහෙම කරන්නේ අපේ දුව ශාන්තිට අත්දැකීම් දැනුම මතක එකතු කරන්න බලාපොරොත්තුවෙන්”‍

සුපුරුදු විදියට මෙයාලා අද කතාව පටන් ගත්තෙත් ඔන්න ඔහොමයි. මේ වෙනකොට ලංකාව සම්බන්ධයෙන් Travellers අතර නිර්මාණය වෙලා තියෙන මතයක් තමයි ත්‍රීරෝද රථයකින් රට වටා ගමන් කරන්න පුළුවන් අපූරු හැකියාවක් ශ්‍රී ලංකාව සතුව තියෙනවා කියන එක. ඔන්න කොහොම හරි මේගොල්ලොත් ලංකාවේ ඇතුළෙ ගමනාගමනයේ යෙදෙන්න තෝරගෙන තිබ්බේ වීල් එකක්. ඒක මෙයාලා රෙන්ට් එකට අරගෙන මෙයාලමයි පැදගෙන ගියේ.

“අපි කඳුකරය හරහා නුවරඑළියෙන් පල්ලම් බහිනවා. ඇත්තටම ගොඩක් ලස්සන දේවල් මේ මාර්ගයේ දැක බලාගන්න පුළුවන්. ඒ වගේම ත්‍රීවිල් එකේ ගමන නිසා අපිට පවුලේ කාලය ගොඩක් තියෙනවා. අපි ගොඩක් වැදගත් සංගීත පවුලේ සංවාදවල නිරත වුණා”‍

කොහොම හරි මේ පුංචි පවුල ත්‍රීවිල් එකෙන් ඇවිල්ලා නතර වුණේ දකුණු මුහුදු තීරයේ. වැලිගම සංචාරක කලාපය තමයි මෙයාලා නවාතැන් සඳහා තෝර ගත්තේ.

“මෙහෙ සර්ෆ් බෝඩ් සෑහෙන්න තියෙන කඩවල් තියෙනවා. මේ බලන්නකෝ. මේක ඇත්තටම ලස්සන මුහුදු තීරයක්. කොහොම නමුත් මේ හරිය අද නම් රැල්ල එච්චර හොඳ නෑ”‍
මේ පවුලේ ඔක්කොම වැලිගම වෙරළේ සහ ටවුමේ හොඳට කරක් ගැහුවා. කෑම බීම ගන්න එහෙමත් ගියා.

ඊට පස්සේ මේ ගොල්ලෝ කඹුරුගමුව වෙරළ තීරයටත් ගියා.

“මෙතන ගල් පරකින් වටවුනු ස්වභාවික නාන තටාකයක් වගේ එකක් නිර්මාණය වෙලා තියෙනවා නිල්පාට වතුරත් එක්ක. ගොඩක් ලස්සනයි. මෙතන ශාන්තිට බොහොම නිදහස් ලස්සන විනෝදකාමී තැනක්”‍

මේ වෙරළ තීරයේ ඇවිදිමින් කරමින් ගොඩක් විනෝද වුණා මේ පවුලේ අය. විශේෂයෙන්ම චූටි දුව හිටියේ ගොඩක් සතුටින්. ඊළඟට මේ ගොල්ලෝ කොළඹ පැත්තට යන්න ගාලු‍ පාර දිගේ ගමන ආරම්භ කළා.

ඊළඟ නවාතැන වුණේ උණවටුන වෙරළ තීරය.

“අපි එක ලස්සන වෙරළ තීරයක් දකිනවා. ඊළඟට තව එකක්. දවස ගානෙම ලස්සන වෙරළවල් හමුවීම රූටින් එකක් වෙලා.”

ඇත්තටම ලස්සන වෙරළ තීරයන්වල නිමක් නැති ගාළු පාරේ මේ චාරිකාවේ අත්දැකීමෙන් මේගොල්ලෝ මත්වෙලා හිටියේ. උණවටුනේ නැවතුණු වෙලාවේ මෙයාලා ටිකක් අමුතු වැඩක් කළා.

මේ පවුලෙ අම්මයි තාත්තයි ඔවුන් ගත කරන ජීවිතය පිළිබඳ කතා කරන්න පටන් ගත්තා. මෙයාලගේ වීඩියෝ අතර පේන්න තියෙන විදිහට මෙයාලා ඉස්සර බස් එකක් අරගෙන තමන්ගේ රටේ සංචාරය කරලා තමා මේ සංචාරක දිවි පෙවෙතට හුරු වෙලා තියෙන්නෙ. “ඔබ නිවාඩුවක් ගත කරන්න එන කෙනෙක් සහ ට්‍රැවල් කරන කෙනෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. තාවකාලිකව තමන්ගේ වගකීම් පැත්තකට තියලා සතියක දෙකක විවේකයක් ගත කරන්න තමයි ගොඩක් දෙනෙක් එන්නේ. ඒත් අපි එන්නේ ඊට වඩා වැඩියෙන් දේවල් අත්දකින්න. අපිට හැම දවසක්ම අලුත් හැම දෙයක්ම අලු‍ත්”‍

තමන්ගේ ජීවිතය ගැන මේ දෙන්නා වැඩි වැඩියෙන් කතා කරන්න පටන් ගත්තා. මිනිස්සුන්ට උදව් කරමින් මිනිස්සු සමඟ වැඩ කරමින් ගමන් කරන මේ ජීවිතය පිළිබඳ ඒගොල්ලෝ ගොඩක් තෘප්තිමත් බව තමා කිව්වේ. ඒගොල්ලන්ට වගකීම් අඩු බවත් ඒත් මේ ජීවිතයටම විශේෂ වුණු වගකීම් තියන බවත් ඒගොල්ලො අපිට මතක් කරලා දුන්නා. “ට්‍රැවල් කරනවා කියලා කියන්නේ ට්‍රැවල් කරන එකට. දේවල් දකිනවා සහ අත්දකිනවා. ඒත් එ්ක කොහොමටවත්ම සරල, පහසු දෙයක් නම් නෙවෙයි. ඒත් සුන්දර දෙයක් ”‍

එයාලගෙන්  කියවු​ණේ මෙන්න මේ වගේ කතන්දර.

මේ අතර මේගොල්ලෝ තමන්ගේ ව්ලොග් එකේ විශේෂ කොටසක් ලංකාවේදී සංචාරය කරන්න ත්‍රීවිල් එකක් රෙන්ට් එකට ලබාගන්නේ කොහොමද කියන එක පෙන්නන්නත් වෙන් කරලා තිබුණා. මෙතැනදී මේගොල්ලෝ පැහැදිලි කරා ලංකාවේ ත්‍රීරෝද රථයකින් සංචාරය කිරීමේ තියෙන වාසිය. ඒ වගේම ලංකාවෙදි දැකගන්න පුළුවන් දේවල් පිළිබඳව.

කොහොම හරි අවසානයේදී මේ අය සූදානම් වුණේ කොළඹ ගමනින් පස්සේ ලංකාවට සමුදෙන්න. සමස්තයක් විදිහට මෙය ආදරණීය පවුල ලංකාව පිළිබඳව ලෝකෙට කිව්වේ ආදරණීය කතාවක්. ලංකාවේ පරිසරය කාලගුණය කඳු වැටි මුහුදු වෙරළවල් මිනිස්සු හැම දෙයක් පිළිබඳවම මෙයාලා කතා කරේ හරිම ප්‍රසාදයකින්.

ශාන්තිගේ තාත්තා මෙහෙම කිව්වා.

“මම ගොඩක්ම තෘප්තිමත් වුණේ අපි කරපු කඳු නැගීම්වලදී. ලස්සන දියඇල්ලක් උඩට අපි නැග්ගා. ඒවගේම සීගිරි ගලත් තරණය කළා. ඒ හැම දෙයක්ම මට එකතු කළේ සුන්දර අත්දැකීමක්”‍
ඊළඟට ශාන්තිගේ අම්මත් තමන්ගේ අත්දැකීම විස්තර කළා.

“කඳුකරේ ගත කළ කාලය කඳුකරයේ පුංචි ගමක නිවසකට ගිහිල්ලා ඒ අයත් එක්ක ගත කරපු කාලය මට හරිම සුවිශේෂී. එයාලගේ සංස්කෘතිය අතරින් යන්න අපිට පුළුවන් වුණා”‍

ඉතින් මේගොල්ලෝ ලංකාවේ ලබපු අත්දැකීම් පිළිබඳව සමස්තයක් විදියට තවත් ගොඩක් කාරණා ලෝකෙට කිව්වා. පොදුවේ ලංකාවේදී මේ ගොල්ලන්ට උදව් කරපු චමින්ද කියන මිත්‍ර යවත් මේගොල්ලෝ ගොඩක් සිහිපත් කළා.

ඉතින් මේ විදිහට ලංකාවට සමුදෙන්න සූදානම් වුණු මේ ආදරණීය පවුලේ අය අවසානෙදි කිව්වේ එයාලගේ ඊළඟ ගමනාන්තය කාම්බෝජය කියලා. කාම්බෝජයේ එක්තරා පාසලකට යන්නත් ඒ අයට උදව් කරන්නත් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන බව කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපූරු පවුලක ශ්‍රී ලංකා සංචාරය අවසන් වුණේ.

• චමිඳු නිසල්